ජාතික සංවර්ධනයේදී ග්‍රාමීය සංවර්ධයේ ඇති වැදගත්කම ශ්‍රී ලංකාව ආශ්‍රිතව


   ලෝකයේ රටවල් පිළිබද වූ විග්‍රහයන් පැහැදිළි කර ගැනීමේදී සමස්ත ලෝකයේම මුළු ජනගහනයෙන් අඩකටත් වඩා වැඩියෙන් ජීවත් වන්නේ ග්‍රාමීය පෙදෙස්වලය. කාලීනව මෙම ප්‍රතිශතයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, තවමත් සමස්ත ලෝකයේම ග්‍රාමීය පෙදෙසහි ප්‍රතිශතය නාගරික ප්‍රෙද්ශවලට වඩා ඉදිරියෙන් සිටී. 
   ලංකාව පිළිබද විමසීමේදී මේ තත්ත්වය ලෝක පරිමාණයටත් වඩා ඉදිරියෙන් සිටී. ලෝක බැංකු වාර්තාවන්ට අනුව 2011 වර්ෂයේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් ග්‍රාමීය ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය 48% කි. නමුත් ලංකාවේ ප්‍රතිශතය ගත් කළ 2011 වර්ෂයේ දත්ත සටහන් අනුව ලංකාවේ නාගරික ජනගහනය සමස්ත ලාංකීය ජනගහනයට සාපේක්ෂව 15.1% කි.  මේ අනුව ලෝක පරිමාණයටත් වඩා ලාංකීය ග්‍රාමීය ජන ප්‍රතිශතය ඉතා ඉහළින් සිටී. ඒ අනුව ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාදාමයේදී වඩා අවධානය යොමු කළ යුත්තේද, වඩා ඉදිරියෙන් සිටිනුයේද ග්‍රාමීය ජන කොට්ඨාශයයි.
   ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය වූ කලී මේ වන විට මහින්ද චින්තනය නම් වූ ජාතික ක්‍රමවේදයක් පදනම් කොට ගනිමින් ක්‍රියාත්මක වන්නකි. මෙම මහින්ද චින්තනයේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය පිළිබද පැහැදිලි කිරීමේදී දක්වා ඇත්තේ “පවුල ශක්තිමත් කිරීම මඟින් රට සංවර්ධනය කිරීම“ යන්නයි. මෙම පැහැදිලි කිරීමට අනුව ලංකාවේ ජාතික සංවර්ධනය පදනම් වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය මූලික කර ගත් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාමාර්ගය තුළින් බව දක්වා තිබුණ ද මේ පිළිබද විමසුම් ඇස යොමු කිරීමේදී එය කොතරම් ක්‍රියාකාරී දැයි විමසීම වටී.
   ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේදී ලංකාවේ ආර්ථික ව්‍යුහය පිළිබද අවධානය යොමු නොකොට සංවර්ධනය කිරීම අනුවණ ක්‍රියාවකි. මක් නිසාද යත් ලංකාවේ පවතින්නේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාව මුල් කර ගත් ආර්ථික රටාවකි. මෙහිදී ප්‍රධාන වශයෙන් ලංකාවේ කෘෂි ආර්ථික රටාවක් පවතී. වර්තමානය වන විට යම් යම් වෙනස්කම් දක්නට ලැබුණද මීට දශක කිහිපයට පෙර ලංකාවේ ප්‍රධාන අපනයන භෝග ලෙස සලකනු ලැබුවේ තේ, රබර් හා පොල් ය. මෙකී නිෂ්පාදන ක්‍රියාවලිය සැබෑ ලෙසින්ම ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රය කර ගනිමින් නිෂ්පාදනය කරන්නකි. එපමණක් ද නොව ලංකාවේ වී වගාව මුල් කර ගත් කෘෂි ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ග්‍රාමීය පෙදෙස් හා ග්‍රාමීය ජනතාව මුල් කොට ගනිමින් ක්‍රියාත්මක වේ. තත්ත්වය මෙසේ හෙයින් වර්තමානයේද ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී ග්‍රාමීය සංවර්ධනය ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී සැබෑ ලෙසින්ම මූලිකම වන කරුණක් බව පැහැදිලිය. 
   ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දක්වන පරිදි රජයේ ප්‍රධාන කාර්යය ලෙස ඔවුන් විසින් සලකනු ලබන්නේ ප්‍රාදේශිය හා ග්‍රාමීය සංවර්ධනය හා දරිද්‍රතාවය තුරන් කිරීමයි.  මේ වෙනුවෙන් දිළිදු ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ඔවුන්ගේ අභිප්‍රාය ලෙස දක්වා ඇත. මේ අනුව ප්‍රථම කොටම ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් ජාතික ආර්ථිකය නගා සිටුවීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත. 
   න්‍යාය හා ක්‍රමවේදය අතින් ශ්‍රී ලංකාව ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී ඉතා ඉදිරියෙන් සිටින රටකි. නමුත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ දැයි විමසා බැලිය යුතුය. මක් නිසාද යත් සැබැ ලෙසින්ම ශ්‍රී ලංකාව වැනි රටවලට ග්‍රාමීය සංවර්ධනය ජාතික සංවර්ධනය කෙරෙහි අතිශයින්ම බලපාන බැවින්. අප ඉහතින් කි පරිදි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ප්‍රතිශතය 84.9% ක් වන බැවින් ජාතික සංවර්ධනයක් අප අපේක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම ග්‍රාමීය සංවර්ධනයක් ඇති කළ යුතු බැවිනි. 
   ලංකාවේ ආර්ථිකය දෙස විමසුම් ඇස හෙළීමේදී මේ වන විට ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්‍රමෝපාය ලෙසින් මේ වන විට දැක්වෙන්නේ සංචාරක කර්මාන්තයයි. නමුත් ලංකාවේ සාපේක්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යාවක් නියැලී සිටින කර්මාන්තය ලෙස දැක්විය හැක්කේ කෘෂි ආර්ථිකයයි. ඒ අතර ලංකාවේ කෘෂී ආර්ථිකය යැපුම් කෘෂි ආර්ථිකයක් ලෙස දැක්විය හැකිය. ලංකාවේ ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. රටේ ප්‍රධාන ආහාරය මුල් කර ගත් කර්මාන්ත ක්‍රියාවලිය වන සහල් නිෂ්පානය දෙවන ආර්ථික ක්‍රමෝපාය ලෙසින් දක්වා ඇත. එමෙන්ම ලංකාවේ හෙක්ටයාර 807,800 ක පමණ භූමිභාගයක වී වගා කරනු ලබන අතර, ලංකාවේ ජනගහනයෙන් 879,000 ක් පමණ වන පවුල් සංඛ්‍යාවක් මෙම වී නිෂ්පාදන ක්‍රියාවලිය හා බැදී සිටී. මෙම ප්‍රමාණය රටේ සමස්ත ජනගහනයෙන් 20% ක් පමණ වුවද, ජීවනෝපාය අනුව ශ්‍රම බලකාය වර්ගීකරණයේදී 34.7% ක් වන කෘෂිකාර්මික ශ්‍රම බලකාය දෙවැනි වන්නේ සේවා බලකාය (39.2%)ට පමණි. 
   මේ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියේදී කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නා අතර, එය සෘජුවට ග්‍රාමීය පෙදෙස් ඉලක්ක කර ගත් ක්‍රියාවලියකි. මේ තත්වයන් පිළිබද සැලකීමේදී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නා වූ කෘෂි ආර්ථික ක්‍රියාවලිය ජාතික සංවර්ධනය කෙරෙහි අදාල කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ග්‍රාමීය සංවර්ධනය නිසි පරිදි සිදු කළ යුතුය.     මෙහිදී ප්‍රධාන කොටම ජානමය වශයෙන් වැඩිදියුණු කළ බීජ ව්‍යාප්තිය හා ඒ සම්බන්ධයෙන් වූ අවබෝධය ගොවීන්ට ලබාදීම ප්‍රධාන වේ. මෙමගින් වඩා ඵලදායී හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වනු ඇත.
   එසේම ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිතව හදුනා ගත් ගැටළුවලට නිවැරදි විසදුම් ඉදිරිපත් කළ යුතු ය. එසේ හදුනා ගත් ගැටළු අතර 

01. වී වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම. (ජල හිඟයෙන් ,ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇති සිවිල් යුද්ධය නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම, යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ.) 02. වී වගා කරන බිම් ප්‍රමාණයට වඩා අස්වැන්න ලබා ගන්නා බිම් ප්‍රමාණය අඩු වීම (ජල හිගය, ජල ගැලීම් මගින් වගාවන් විනාශ වීම, කෘමි උවදුරු හා වල්පැල හේතුවෙන් වගාවන් විනාශ වී අස්වැන්න අවම වී යයි) 03. දේශගුණික බලපෑම් මගින් වගාවන් විනාශ වීම. (ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් හා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ. වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී නගාව කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම ජලය සිඳීයාම, අනවශ්‍ය කාලයේදී අධික වැසි නිසා ගංගා, ඇල දොල හා වැව් පිටාර ගැලීම ආදිය නිසා වගා විනාශ වේ.) 04. පස ආශ්‍රිත ගැටළු (දීර්ඝ කාලයක් වගා කිරීම, පොහොර භාවිත‍ය යනාදිය හේතුවෙන් පස ආශ්‍රිත ගැටළු රාශියක් මතු වී තිබේ) 05. යෙදවුම් භාවිතය අඩුකම (බීජවල මිල ඉහළ යාම, පොහොර හා පළිබෝධ මිල ඉහළ යාම හේතුවෙන් යෙදවුම් භාවිතය අඩු වී ඇත.) 06. වී නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා (ශ්‍රී ලංකාවේ සහතික මිල ක්‍රමයක් පැවතියත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් වී ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටී) 07. දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම. 08. ගතානුගතික වගා ක්‍රම අනුගමනය කිරීම. 09. දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම. 10. සංවර්ධන යෝජනා ක්‍රම පරිහානියට යාම.

   ආදිය දැක්විය හැකිය. මෙම ගැටළු කෙරෙහි නිවැරදි විසදුම් ලබා දීම අත්‍යවශය වන අතර, මේ සියල්ල ග්‍රාමීය සංවර්ධනයට අදාල වන කරුණුය.
   මෙයට අමතරව කෘෂි කර්මාන්තය කෙරෙහි රජයේ අවධානය නිසි පරිදි යොමු කළ යුතු වන්නේය. එනම් මේ වන විට රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිවි නැගුම - ගෘහ ආර්ථික ඒකක දසලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන න්‍යයාත්මකව ඉතා අගනා වැඩසටහනක් වුව එය ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි ගැටළු දක්නට ලැබේ. මෙය රජයේ වැඩපිළිවෙලක් ලෙසින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලෙකම් කාර්යාල ආදී රාජ්‍ය යාන්ත්‍රණය හරහා ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මෙන්ම  සංවර්ධන නිලධාරී එක් කරගනිමින් සිදු කළද මෙහි ඉලක්කගත කණ්ඩායම් පිළිබද ව වූ පූර්ව නිගමනය නිවැරදි නොවේ. මෙහිදී කෘෂි ආර්ථිකයට කැමැත්ත දක්වන පිරිස් මෙන්ම නොදක්වන පිරිස් වෙත ද අදාල ප්‍රතිපාදන ලබාදීමෙන් මෙම ක්‍රියාවලියේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකී වී ඇති බව අප තේරුම් ගත යුතුය. එපමණක් නොව මෙම ක්‍රියාවලිය ග්‍රාමීය මෙන්ම නාගරික පෙදෙස් කරා ද එක ලෙසින්ම ක්‍රියාත්මක කිරීමට යෑම මෙහි දක්නට ලැබුණු අනෙක් ගැටළුවයි. 
   නමුත් ජාතික ආර්ථිකයේ මර්මස්ථානය ලෙසින් සැලකෙන ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් නිර්මාණය කළේ නම් මෙය මීට වඩා ඉලක්කය සපුරනු ඇත. එනම් ලංකාවේ ආර්ථික ක්‍රියාවලයේ හැඩතලට සේම ග්‍රාමීය ජනතාවගේ ප්‍රමාණාත්මක අගය ද මේ සදහා ඉවහල් වීම අනිවාර්යයෙන්ම සිදු වන බැවිනි. 
   මෙයට අමතරව ග්‍රාමීය සංවර්ධනයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රධාන කොට සැලකිය හැකිය. කෙතරම් හොද අස්වැන්නක් අපේක්ෂා කළ ද ගැමියන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු නොවුණ හොත් මූලික අපේක්ෂාව වන සැබෑ කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි වනු ඇත. ග්‍රාමීය වශයෙන් ගැමියන්ට අවශ්‍ය ජලය, මාර්ග, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී වූ මූලික අවශ්‍යතා සැපීරීම අනිවාර්ය අංගයක් වනු ඇත. 
   ලංකාවේ ප්‍රධාන වශයෙන් දියුණු මාර්ග පද්ධතියක් තිබුණ ද, අධිවේගී මාර්ග තිබුණ ද ග්‍රාමීය වශයෙන් දියුණු වූ මාර්ග පද්ධතියක් නොමැති බව පිළිගත යුතු කරුණකි. ලංකාවේ බොහෝ ප්‍රවාහණ පහසුකම් සපුරාලනුයේ බස් ප්‍රවාහණයෙන් හා දුම්රිය ප්‍රවානහයෙනි. ලංකාවේ බොහෝ නගර යා කරමින් දුම්රිය ප්‍රවාහනය ක්‍රියාත්මක වුවද එය ග්‍රාමීය පෙදෙස් කරා තවමත් ක්‍රියාත්මක වී නොමැත. එමෙන්ම ලංකාවේ මහා මාර්ගවල මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 11,000 ක් පමණය. මෙයින් බහුතර මාර්ග ප්‍රමාණයක් නාගරික ප්‍රෙද්ශ ඉලක්ක කර ගනිමින් ඉදි කර ඇති තර, ග්‍රාමීය ප්‍රවාහණ පද්දතියේ මනා දියුණුවක් තවමත් දක්නට නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. රටේ ආර්ථිකයට හා ප්‍රවාහනයට මහෝපකාරී වන බව පවසමින් අධිවේගී මාර්ග ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරිපත් කර ඇතද, එමගින් නාගරික ප්‍රවාහන පහසුව සැලසෙනවා මිස ග්‍රාමීය ප්‍රවාහනයේ දියුණු අවස්ථාවක් ලෙස දැක්විය නොහැකිය. උදාහරණ ලෙස ගාල්ල-කොළඹ, කොළඹ-කටුනායක, කොළඹ -මහනුවර, කොළඹ-පාදෙණිය, පිටත වෘත්තීය අධිවේගී මාර්ගය ආදී අධිවේගී මාර්ග ව්‍යාපෘති සියල්ල නාගරික ප්‍රවාහණ දියුණුව මිස ග්‍රාමීය ප්‍රවාහන දියුණුව නොවේ. මෙමගින් කොළඹ කොන්ද්‍ර කර ගත් වාහන තදබදය අඩු කරවා මිස ග්‍රාමීය සංවර්ධනයක් හෝ ග්‍රාමීය ආර්ථිකයට රුකුලක් වනු දක්නට නොලැබේ.
   නමුත් ග්‍රාමීය වශයෙන් දියුණු ප්‍රවාහණ පද්දතියක් හා මාර්ග පද්දතියක් සකස් කිරීමෙන් ඉහතින් සදහන් කළ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට එය මනා පිටුබලයක් වේ. නිෂ්පාදන නගරය කරා ගෙන ඒම, ආනයනික නිෂ්පාදන උපකරණ ග්‍රාමීය පෙදෙස් කරා නිසි කලට ප්‍රවාහනය කිරීමට හැකිවීම ආදී ක්‍රියාමාර්ග තුලින් ග්‍රාමීය ආර්ථිකයට මෙය මනා රුකුලක් වේ.
   මෙයට අමතරව ග්‍රාමීය වශයෙන් ජනතාවගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම ප්‍රධාන විය යුතුය. ලංකාවේ ණය බර අතිමහත්ය. ඒ අතරිනුත් ග්‍රාමීය ජනතාවගේ ණය රටේ අපගමනයට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙහිදී ඉදිරිපත් කළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ ණය බර පමණක් නොව ණය සම්බන්ධයෙන් ලංකාවේ ග්‍රාමීය ජනතාව තුළ පවතින අධ්‍යාපනය අඩුබව ද මෙම තත්ත්වයට රුකුලක් වී තිබේ. විශේෂයෙන්ම අධික පොලී මුදලට ණය ගැනීම මෙහිලා සදහන් කළ යුතුය.
   මෙයට ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික සාධකයි. ප්‍රාග්ධන හිඟකම, ආදායම හා ඉතිරි කිරීම පහත් මට්ටමක පැවතීම, ආදායම් ලැබීමට වෙනත් විකල්ප නොමැතිවීම, ගොවි උපකරණ ලබා ගැනීමට හා අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමට විශාල මුදලක් වැයවීම, ශ්‍රමය ලබා ගැනීමේ අපහසුතා ආදිය මෙහිදී ප්‍රධාන වේ. වී ගොවිතැනේ දී අහස් දියෙන් වගා කළත් වාරිමාර්ග ජලයෙන් වගා කළත් කන්න තුළ එක වර වගා කිරීම සිදු කරනු ලබයි. වාරි ජලය මුර ක්‍රමයට ලබා දීමත්, වර්ෂාව සීමාසහිත වීමත් නිසා, ගොවීන් සියලූ දෙනාම මෙම කාලය තුළ තම පෞද්ගලික කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටියි. එබැවින් ශ්‍රමය විකිණීම අපහසු ය. 
   නමුත් කෘෂි ආර්ථිකය මුල් කර ගත් සිය ආර්ථික රටාව වෙනුවෙන් ග්‍රාමීය පෙදෙස්වල ගැමියන් සිය යල හා මහ කන්නයේ වගා කටයුතු සදහා අවශ්‍ය මූලික සම්පත් සකසා ගැනීමට අධික පොලියක් සහිතව ණය ලබා ගැනීමට පුරුව ඇත. ගමේ හෝ නගරයෙන් ගමට සංක්‍රමණය වූ ධනවත් පුද්ගලයෙකුගෙන් සිය අවශ්‍යතාවය දක්වා ණය ගන්නා අතර, මෙම ණය වෙනුවෙන් සිය දෙපල උගසට තැබීම සිදු කරනු ලබයි. නමුත් යම් හෙයකින් සිය ඉලක්කගත අස්වැන්න ලබා ගත නොහැකි වුව හොත් අදාල ණය මුදල හා පොලී මුදල ගෙවා ගත නොහැකි වීමෙන් තමා සන්තක වූ දේපල අදාල ණය ගත් පුද්ගලයාට හිමි වනු ඇත. මෙමගින් ඔහුට නැවතත් සිය කෘෂි කටයුතු සිදු කර ගැනීමට නොහැකි වීමෙන්  තමන් ආර්ථික ලෙසින් අගාධයට පත් වන අතර, මෙට රටේ ආර්ථික සංවර්ධනයට ද බලපානු ඇත.
   නමුත් රජය විසින් පිළිගත් ක්‍රමවේදයක් යටතේ අදාල සහන යටතේ ණය ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වේ. මේ අනුව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට හැකි වන අතර, අයථා කටයුතු වෙනුවෙන් ග්‍රාමීය ජනතාවගේ මුදල් යෙදවුම් අහෝස වී යනු ඇත. එමෙන්ම රජයේ මැදිහත්වීම් මගින් ස්ථිර හා අඛණ්ඩ ඉතුරුම් ක්‍රම ද මෙයට සමගාමීව කළ හැකි අතර, මෙමගින් ආර්ථික සුරක්ෂිතතාවය ඇති කළ හැකිය.
   මෙවැනි ක්‍රමවේදයක් සලකා බැලීමේදී ලංකාවේ ජාතික සංවර්ධනයට අදාල ක්‍රියාමාර්ග සලකා බැලීමේදී ග්‍රාමීය සංවර්ධනය අත්‍යවශය කරුණක් බව තහවුරු කළ හැක. ඒ අනුව ග්‍රාමීය සංවර්ධනයෙන් ඇති වන්නාවූ ග්‍රාමෝදය ප්‍රබල ලෙසින්ම ජාතික සංවර්ධනය කෙරෙහි අදාල කර ගර ගත හැකිය.