නෙක්‍රොපොලිසයක් (පුරාතන ග්‍රීක: νεκρόπολις nekropolis, සාහිත්‍යමය අර්ථය "මළවුන්ගේ නගරය") යනු විසිතුරු සොහොන් ස්මාරක සහිත විශාල පුරාතන සුසාන භූමියකි. මෙම වදන මගින් හැඟවෙන්නේ නගරය තුළ වූ සොහොන්ගැබ් මෙන් නොව නගරයෙන් දුරස්ව පිහිටි වෙනම භූමදාන අඩවියකටයි. මේවා ඉතිහාසයේ විවිධ යුගවල විවිධ ස්ථාවලින් හමුවේ. මේවා පොළව මතුපිටට ඉහළින් ඉදිකිරීම් සිදු නොකරන මිනී වළ භූමිවලට වඩා වෙනස් ය. මෙම වදන බහුලව පුරාතන අඩවි සඳහා භාවිතා වුව ද, ග්ලාස්ගෝ නෙක්‍රොපොලිසය වැනි නූතන සුසානභූමි සඳහා ද භාවිතා වන අවස්ථා ඇත.

ඉතිහාසය

සංස්කරණය
 
ගීසා නෙක්‍රොපොලිසයේ ඇති මස්ටාබාවන්; පසුබිමෙහි ඛ‍ෆ්රේගේ පිරමිඩය දැක්වේ.

පුරාතන ඊජිප්තුවේ ගීසා නෙක්‍රොපොලිසය ලොව වඩාත් ප්‍රචලිත සහ පැරණිතම නෙ‍ක්‍රොපොලිසයක් බවට පත්වූයේ ගීසාහි මහා පිරමිඩය පුරාතන ‍ලෝකයේ පුදුම හතට ඇතුළත් කළ සමයේ සිට ය. පාරාවෝවරුන්ගේ භූමදානය සඳහා භාවිතා වූ පිරමිඩ හැරුණුවිට ඊජිප්තු නෙ‍ක්‍රොපොලිසයෙහි මුල්කාලීන රාජවංශික යුගයේ දර්ශීය රාජකීය සොහොන්ගැබ් ලෙස භාවිතා වූ මස්ටාබාවන් ද දක්නට ලැබේ.

 
නක්ෂ්-ඉ රස්ටම්. නක්ෂ්-ඉ රස්ටම් සොහොන්ගැබ් පිළිවෙල වමේ සිට දකුණට: ඩේරියස් II, ආර්ටෂර්ෂස් I, ඩේරියස් I, ෂර්ෂස් I.

නක්ෂ්-ඉ රස්ටම් යනු ඉරානයේ ෆාර්ස් පළාතේ පර්සිපොලිස් සිට 12 km පමණ වයඹදිගින් පිහිටි පුරාතන නෙ‍ක්‍රොපොලිසයකි. නක්ෂ්-ඉ රස්ටම්හි දක්නට ඇති ආදිතම කැටයම් ක්‍රි.පූ. 1000ට පමණ අයත් යැයි සැලකේ. මෙයට දැඩිව හානිවී පැවතුණ ද, එමගින් නිරූපණය වන්නේ අසාමාන්‍ය හිස්වැස්මක් පැළඳි එලමයිට් සම්භවයක් ඇතැයි සිතිය හැකි පුද්ගලයකුගේ රුවකි. මෙය විශාල රූපයක කොටසක් වන අතර IIවන බහ්රම්ගේ නියෝග මත ඉන් වැඩි ප්‍රමාණයක් ඉවත්කොට තිබේ. ගල් මුහුණතේ ඇකිමේනීය රජවරුන් හතර දෙනකුගේ සොහොන්ගැබ් හාරා ඇති අතර, මෙය පොළවට වඩා සැලකිය යුතු උසකින් යුක්ත වීම විශේෂත්වයකි. මෙම සොහොන්ගැබ් ඒවායේ මුහුණත්වල ඇති හැඩය හේතුවෙන් 'පර්සියානු කුරුස' ලෙස හඳුන්වනු ලබයි. පසුව, සැසේනියානු රජවරුන් විසින් සොහොන්ගැබ්වලට පහළින් ගල් කැටයම් මාලාවක් සිදුකරවා ඇත.

මයිසීනියානු ග්‍රීක යුගයේ පූර්ව-දින නිර්ණ පුරාතන ග්‍රීසියේ භූමදානයන් නගරය තුළ සිදුවී ඇත. උදාහරණයක් වශයෙන් මයිසීනිහි රාජකීය සොහොන්ගැබ් පිහිටා ඇත්තේ නගර ප්‍රාකාර පිහිටි සීමාවේ ය. පුරාතන ග්‍රීක යුගයේ දී මෙම සම්ප්‍රදාය වෙනස් වූ අතර, සාමාන්‍යයෙන් නෙක්‍රොපොලිසයන් නගරයෙන් පිටත ඉදි විය. කෙසේනමුත්, පුරාතන ග්‍රීක ලෝකය තුළ මෙම විවිධ ආකාරවලින් පැවතිය හැක. ස්පාර්ටාව නගරය තුළම භූමදානය කිරීමේ චාරිත්‍රය අඛණ්ඩව පවත්වාගෙන ගිය රාජ්‍යයකි.[1]

 
සර්විටෙරිහි බැන්ඩිටෂියා නෙක්‍රොපොලිසයේ සොහොන් ගොඩැලි මාවත දිගේ ස්ථානගත කොට ඇත.

එට්‍රස්කන්වරුන් සාහිත්‍යමය වශයෙන් "මළවුන්ගේ නගරය" සංකල්පය භාවිත කළ බැව් පෙනේ. සර්විටෙරිහි බැන්ඩිටෂියා නෙක්‍රොපොලිසයේ දර්ශීය සොහොන්ගැබක් සොහොන් ගොඩැලිවලින් යුක්ත අතර, එය අධෝභෞම ශෛලමය සොහොන් එකක් හෝ කිහිපයක් ආවරණය කරමින් පිහිටයි. මෙම සොහොන්වල බහුවිධ කුටීර ඇති අතර, මේවා සමකාලීන නිවෙස් සේම බෙහෙවින් අලංකාර කොට ඇත. මෙම සොහොන් ගොඩැලි මාවත් ජාලයක සකසා තිබීම හේතුවෙන් එයට ජීවත්වන්නන්ගේ නගරයක පෙනුමක් ලැබී ඇත.[2] කලා ඉතිහාසඥ නයිජල් ස්පයිවී සලකන්නේ මේ සඳහා සුසාන භූමිය යන වදන නොගැළපෙන බවත්, මෙම විචිත්‍ර භූමදාන අඩවිවලට නෙක්‍රොපොලිසය යන නාමය යෙදීම සාධාරණ බව ය.[3][4] එට්‍රස්කන් නෙක්‍රොපොලිස සාමාන්‍යයෙන් කඳුවල හෝ කඳු බෑවුම්වල පිහිටා තිබිණි.[5]

පුරාතන රෝමයේ පවුල් සිය මියගිය ඥාතීන් සිය නිවෙස් තුළම භූමදානය කළේ මුතුන්මිත්තන් වන්දනාව එකල රෝම සම්ප්‍රදායයක් වූ නිසායි. ක්‍රි.පූ. 449 මේස දොළහේ ප්‍රඥප්තිය මගින් මෙය තහන්ම කෙරුණු අතර, මේ නිසා රෝමවරුනට නෙක්‍රොපොලිසයන්හි භූමදානය කිරීමේ පිළිවෙත ඇරඹීමට සිදු විය.[6]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Erasmo, Mario (2012). Death: Antiquity and Its Legacy. London: I.B. Tauris. p. 74. ISBN 9781848855571.
  2. ^ Gardner, Helen; Kleiner, Fred S. (2010). Gardner's Art Through the Ages: The Western Perspective. Boston, MA: Cengage Learning. p. 148. ISBN 9780495573555.
  3. ^ Worpole, Ken (2003). Last Landscapes: The Architecture of the Cemetery in the West. London: Reaktion Books. pp. 79–84. ISBN 9781861891617.
  4. ^ Spivey, Nigel; Squire, Michael (2004). Panorama of the Classical World. London: Thames & Hudson Ltd. p. 17. ISBN 9781606060568.
  5. ^ Erasmo, Mario (2012). Death: Antiquity and Its Legacy. London: I.B. Tauris. pp. 76–77. ISBN 9781848855571.
  6. ^ Kyle, Donald G. (1998). Spectacles of Death in Ancient Rome. London: Routledge. p. 145. ISBN 9781134862719.
"https://si.wikipedia.org/w/index.php?title=නෙක්‍රොපොලිසය&oldid=405433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි