ද ඩිසින්ටිග්‍රේෂන් මෙෂීන්


"ද ඩිසින්ටිග්‍රේෂන් මෙෂීන්" යනු, ආතර් කොනන් ඩොයිල් විසින් ලියැවුනු කෙටිකතාවකි. 1929 ජනවාරි මාසයෙහිදී ද ස්ට්‍රෑන්ඩ් සඟරාවෙහි එය මුලින්ම ප්‍රකාශයට පත් විය. මෙම කතාව ගෙතී ඇත්තේ, වස්තූන් අසමෝධානය කළ හැකි සහ ඒවා පැවති ආකාරයටම ප්‍රතිස්ථාපනය කළ හැකි යන්ත්‍රයක් සොයා ගැනීම වටාය. මෙම කෙටිකතාව, ධනවත් විධිවිරෝධී වික්‍රමිකයෙකු වූ මහාචාර්ය චැලෙන්ජර් පිළිබඳව ලියැවුනු "චැලෙන්ජර් ග්‍රන්ථ මාලාවෙහි" කොටසකි.

"ද ඩිසින්ටිග්‍රේෂන් මෙෂීන්"
කතෘආතර් කොනන් ඩොයිල්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
ග්‍රන්ථ මාලාවමහාචාර්ය චැලෙන්ජර්
ප්‍රභේදය(න්)විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව
ප්‍රකාශන දිනය1929
පූර්වගාමී ග්‍රන්ථය"වෙන් ද වර්ල්ඩ් ස්ක්‍රීම්ඩ්"

කථා වස්තු සාරාංශය සංස්කරණය

තොරතෝංචියක් නොමැතිව දුරකතනයෙන් ඔහු වෙත ඇමතුම් ලබා දෙන පුද්ගලයින් හා මහාචාර්ය චැලෙන්ජර් විවාදයකට පැටලී සිටින අවස්ථාවකදී, ද ඩේලි ගැසට් පුවත්පතෙහි වාර්තාකරුවෙකු වූ සහ ඔහුගේ තරුණ මිතුරා වූ මොලෝන් පැමිණ චැලෙන්ජර්ට ඇවටිලි කරන්නේ, වස්තූන් අසමෝධානය කළ හැකි යන්ත්‍රයක් සොයාගත් බව පවසන තියඩෝර් නෙමෝර්ගේ සොයාගැනීම පරික්ෂාකිරීමට ඔහු සමග පැමිණෙන ලෙසිනි. මෙම සොයැගැනුම සැක සහිත බව සිතන චැලෙන්ජර්, මොලෝන්ගේ යෝජනාවට එකඟවී ඔහු හා නෙමෝර්ගේ නිවෙස බලා යයි.

යන්ත්‍රයේ හැකියාව ප්‍රදර්ශනය කරනු වස්, චැලෙන්ජර් අසමෝධානය කොට ඔහු යළි ප්‍රතිස්ථාපනය කිරීමට නෙමෝර් මුලින්ම යෝජනා කර සිටි නමුත්, කිසියම් අයුරකින් චැලෙන්ජර් ප්‍රතිස්ථාපනය කිරීමට යන්ත්‍රය අසමත් වුවහොත්, ඔහු විසින් සිදු කෙරෙමින් පවතින විද්‍යාත්මක කාර්යයන් නිම කිරීමට නොහැකිව අඩාල වන බව චැලෙන්ජර්ට ඒත්තු ගැන්වීමට මොලෝන් සමත් වන අතර, මොලෝන් විසින් අසමෝධානය සඳහා වස්තුව ලෙසින් තමා නම් කරයි.

මොලෝන් සාර්ථක ලෙසින් අසමෝධානය කොට යළි ප්‍රතිස්ථාපනය කෙරෙන අතර ඉන්පසු චැලෙන්ජර් අරභයාද එම කාර්යයම සිදු කෙරෙයි. සොයාගැනුම පිළිබඳ චැලෙන්ජර්ගේ විශ්වාසය මද බව සහ නෙමෝර් වෙත ගරුත්වය දැක්වීමෙහි මද බවට දඬුවමක් වශයෙන්, නිමැවුම්කරු විසින් මහාචාර්යවරයා යළි ප්‍රතිස්ථාපනය කෙරෙනුයේ හිසකෙස් රහිතවය. කෝපයට පත්වන චැලෙන්ජර්, නෙමෝර් හට පහර දෙන අතර, ඔහු බිම හෙලා තර්ජනය කරනුයේ, මහාචාර්යවරයා යළි පෙර තත්ත්වයට ප්‍රතිස්ථාපනය නොකෙළේ නම් දිවි තොර කරන බවයි. නෙමෝර් විසින් චැලෙන්ජර්ගේ කෙස් යළි ප්‍රතිස්ථාපනය කරන අතර, ඔහුගේ යන්ත්‍රය පිළිබඳව ඔහුට ප්‍රශංසා කරන චැලෙන්ජර් ඔහුගෙන් විමසන්නේ එහි ප්‍රායෝගික උපයෝගයන් මොනවාද යන්නයි. නෙමෝර් විසින් කට මැත දොඩනුයේ, මෙම සොයාගැනීමේ හිමිකම් සඳහා වැඩිම ඉල්ලුම්කරුවන් වන රුසියානුවන් විසින් ලන්ඩනය සහ එහි වැසියන් මිලියන ගණනක් විනාශ කෙරෙනු ඇති බවයි.

යන්ත්‍රය පිළිබඳ රහස වෙනයම් අය දන්නේද යන්න නිර්ණය කරගැනුමෙන් පසු, චැලෙන්ජර් විසින් එය පරික්ෂා කරනු ලබයි. චැලෙන්ජර් තරයේ පවසනුයේ, ඔහු අසමෝධානය කෙරුණු විට වාඩි වුනු යන්ත්‍රයෙහි අසුන වෙතින් කිසියම් සුළු ප්‍රමාණයක විදුලිය කාන්දුවක් සිදුවූ බවයි. නෙමෝර් විසින් මෙය ප්‍රතික්ෂේප කරන අතර ඔහු විසින් මෙම අසුන මත වාඩි වන්නේ මෙලෙස කාන්දුවක් ඇත්දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනුමටය. චැලෙන්ජර් විසින් වහා ඔහු අසමෝධානය කෙරෙන අතර, පොදු යහපත සලකා, ඔහු සහ මොලෝන් පිටව යන්නේ, නොමෝර් යලි ප්‍රතිස්ථාපනය නොකරමය.

බාහිර සබැඳි සංස්කරණය