දෙවැනි උඩරට යුද්ධය සහ උඩරට ගිවිසුම
1815 දී ඇති වූ යුද්ධයට කෙළින්ම තුඩු දුන් සිදුවීම් පෙළ ආරම්භ වූයේ ඇහැළේපොලට සිදු වූ නින්දාව සමගිණි. ඇහැළේපොල පිළිමතලාවේගේ බෑනා මෙන්ම පළමු අගමැති ලෙස පත් වූ තැනැත්තාය. 1810 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය ප්‍රාප්තියට පත් වූ දා පටන් ඇහැළේපොළ ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කීපයක් කළේය. ඒ වන විට රජතුමා බොහෝ සෙයින් ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටියේය. 1814 දී ඇහැළේපොළගේ ක්‍රියාකාරකම් හෙළි වූ අතර ඔහු බ්‍රිතාන්‍යයන් වෙතට පලා ගියේය. කෝපයෙන් වියරු වූ රජතුමා ඇහැළේපොළ පවුලේ සාමාජිකයින් විවිධ දරුණු ක්‍රම යොදා මරණයට පත් කළ්ය. මෙම ඝාතණ නිසා මහනුවර ජනතාව අතිශයින් කම්පාවට පත් වී රජුට එරෙහිව කැරළි ගැසූහ. රජු මාළිගය අතහැර හඟුරන්කෙත බලකොටුවට පලා ගියේය.
මේ අතර ජෝන් ඩොයිලි ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ට උපදෙස් දෙමින් සිටියේය. ඔහු කියා සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට බ්‍රිතාන්‍යයන් කිසියම් උත්සාහයක් ගන්නේ නම් උඩරට රදළවරුන් උදව් කිරීමට සූදානමින් සිටින බවයි. උඩරට හමුදාව ඇහැළේපොල අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් උඩරට - බ්‍රිතාන්‍ය දේශ සීමාව තරණය කොට ගොස් සීතාවක බ්‍රිතාන්‍ය මුර පොළට පහර දුන්හ. මෙම සිද්ධිය බ්‍රවුන්රිග්ට උඩරටට ඔහුගේ හමුදාවක් යැවීමට සෑහෙන කුපිත කිරීමක් වූයේය. තත්වය වඩාත් නරක අතට හැරුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් උඩරටට පැමිණි බ්‍රිතාන්‍ය වෙළඳ පිරිසකගේ අත් පා සිඳිනු ලැබීම හේතුවෙනි. මෙය සිදු වූයේ හඟුරන්කෙතදී ය. බ්‍රිතාන්‍ය හමුදා සුළු විරෝධතා කීපයකට මුහුණ දෙමින් 1815 පෙබරවාරි 10 වෙනි දින සෙංකඩගලට ඇතුළු වූහ. ජෝන් ඩොයිලි ද මීට එක් වී සිටියේය. "ප්‍රධානීන්ගේ ආරාධනාවෙන් සහ ජනතාව විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබ රාජකීය හමුදාව මහනුවරට ඇතුළු වූහ. දෙවියන් ඔවුන්ගේ උත්සාහයට ආශීර්වාද කර ඇත්තේ සම්පූර්ණ ජයග්‍රහණය ලබාදීමෙනි. අභ්‍යන්තර පළාත්වල පාලකයා ඔවුන් අතට පත් වී ඇත. රජය බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයින්ට මනාපයක් කර ගැනීමට ඉඩ දී ඇත." යනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා නාවුක හමුදා පාලක මණ්ඩලයට දන්වා සිටියේය. ටික දිනකට පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවී සිටි ස්ථානය හෙළිදරව් විය. බලයෙන් පහ කෙරුණු රජු ඔහුගේ අන්ත:පුර ස්ත්‍රීන් සමග ඉන්දියාවේ වෙල්ලෝර් වෙත පිටුවහල් කරනු ලැබීය. අවුරුදු 17 කට පසු එහිදී ඔහු මළේය. ඔහුගේ පුතා, ඊළඟ රාජ්‍ය උරුමය ලැබිය යුතු පුද්ගලයා, දරුවෙකු නොමැතිව 1842 දී මරණයට පත් විය.
බ්‍රිතාන්‍යයන් සෙංකඩගලට පැමිණීමෙන් පසු සිදු වූ වැදගත් සිද්ධිය නම් උඩරට ගිවිසුම අත්සන් කිරීමයි. එය 1815 මාර්තු මාසයේදී ජෝන් ඩොයිලි සහ උඩරට රදළවරු අතර සාකච්ඡාවලින් පසු එකඟ වූ ඉඳූරාම උඩරට යා කර ගැනීමේ ගිවිසුම විය.එම ගිවිසුමේ අඩංගු ප්‍රධාන කරුණු වූයේ.
1. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් මලබාර් රජුට උඩරට සිහසුනට තිබෙන සියලු අයිතිවාසිකම් අහිමි වීම.
2. රජු යුද්ධයෙන් පරාජය වී සිහසුනෙන් පහ කර ඇති බැවින් ඔහුගේ රජ පෙළපතට උරුමය අවලංගු කොට ශූන්‍ය කරන ලදී.
3. ඔහුගේ සියලුම පිරිමි නෑදැයින් රටින් පිටුවහල් කළ යුතුය.
4. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ස්වරාජ්‍යයක් ලෙස පාලනය යටත් විජිත ආණ්ඩුකාරවරුන් විසින් ගෙන යා යුතුය. මෙහිදී අධිකාරම්වරු, දිසාවේ, මොහොට්ටාල, කෝරළේ, විදානේ සහ අනෙකුත් පහළ නිලධාරීන්ගේ බලතල හා ප්‍රසාද ඔවුනට එසේම තිබිය යුතුය.
5. බුද්ධාගම නොකෙළෙසිය යුතුය. එහි අයිතිය පවත්වාගත යුතු මෙන්ම ආරක්ෂා කළ යුතුය. 6. ශාරීරිකවද බන්ධන පැනවීම සහ අංග ඡේදන නොකළ යුතුය.
7. මරණ දඬුවම පැමිණ වීම නියම කළ හැක්කේ ආණ්ඩුකාරයාට පමණි. අනෙකුත් ප්‍රධාන දඬුවම් රජයේ නියෝජිතයෙකු ඉදිරිපිටදී පමණක් විය යුතුය.
8. සියලු සිවිල් සහ අපරාධ නඩු විමසීම උඩරැටියන් සම්බන්ධයෙන් දැනට පවත්නා නියමයන් යටතේ සිදු විය යුතුය. අවශ්‍යතැන්වලදී අවශ්‍ය විටෙක ඊට මැදිහත් වීමේ බලය ආණ්ඩුව වෙත තිබිය යුතුය.
9. උඩරට නොවන අනෙකුත් අය සඳහා බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්විය යුතුය.
10. තුන් කෝරළයේ සහ හතර කෝරළයේ සහ සබරගමුව යාකර ගැනීමේ ප්‍රකාශය අවලංගු වේ.
11. එංගලන්තයේ රජු සහ දිවයිනේ අභ්‍යන්තර ආයතනවල පැවැත්ම සඳහා බදු සහ ආදායම් එකතු කළ යුතුය.
12. වෙළඳාම් සහ වාණිජ කටයුතුවලට පහසුකම් සැපයීම කළ හැක්කේ රජයට පමණි.
ගිවිසුම අත්සන් තබන ලද අය නම් ආණ්ඩුකාර බ්‍රවුන්රිග්, ඇහැළේපොල සහ දිසාවේවරු වන මොල්ලිගොඩ, වැඩිමහල් පිළිමතලාවේ, බාල පිළිමතලාවේ, මොණරවිල, බාල මොල්ලිගොඩ, දුල්ලෑව, රත්වත්තේ, මිල්ලෑව, ගල්ගම සහ ගලේගොඩ යන අයයි. අත්සන් සඳහා සාක්ෂීන් වූයේ ඩොයිලි, සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් යන දෙදෙනාය. ජෝන් ඩොයිලි පසුව ප්‍රදේශයේ නේවාසික ආණ්ඩුකාරයා විය.
ගිවිසුම කීප ආකාරයකින් වැදගත් විය. ස්වේච්ඡාවෙන් පාලන බලය බ්‍රිතාන්‍යයට පවරා දුන් ආකාරයක් පෙන්ණුම් කළේය. පසු කලෙක සිදු වූ සිදුවීම්වලින් ඒත්තු ගියේ තමන් එක නරක පාලකයෙක් ඉවත් කර තවත් නරක පාලකයෙක් පත් කර ගත්තා නොවේද යනුවෙනි. ඇහැළේපොල සිතා සිටියේ නව නායකයා විය යුත්තේ බ්‍රිතාන්‍යයන් නොව තමා බවයි.
රදළවරු සහ ආගමික නායකයන් බුද්ධාගමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගිවිසුමේ 5 වැනි වගන්තිය සම්බන්ධයෙන් දැඩි අදහසක් දැරූහ. 1815 වසරේ අග භාගයේ මල්වතු අස්ගිරි මහ නා හිමිවරු ආණ්ඩුකාර බ්‍රවුන්රිග් හමු වී බුද්ධාගම සහ පැවැත්ම සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා ගත්හ. අන්‍යාගමට හැරවීම සහ මිෂනාරී පාසැල් ඒ නිසා තහනම් කෙරිණි.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Kandian_Wars#The_Second_Kandyan_War_.26_the_Kandyan_Convention.2C_1815