මෙම ලිපියෙහි අන්තර්ගත වන්නේ දස ප්‍රයාම ඉසව්ව ලෙස හැඳින්වෙන ක්‍රීඩා තරඟය පිළිබඳවයි. මෙම ඉසව්ව හැඳින්වීමට භාවිතා කෙරෙන ඉංග්‍රීසි පදය වූ ‍Decathlon යන නමින්ම හැඳින්වෙන ක්‍රීඩා උපකරණ අලෙවිසැල් සමූහය පිළිබඳ තොරතුරු Decathlon Group නම් ලිපියෙහි අන්තර්ගත වන අතර එම නමින්ම හැඳින්වෙන ගුවන් යානාව පිළිබඳ තොරතුරු American Champion Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ. මෙම නමින්ම යුතු ඇමරිකානු අධ්‍යාපන තරඟාවලිය පිළිබඳ තොරතුරු Academic Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ.

දස ප්‍රයාම ඉසව්ව යනු ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 10ක් එක් කිරීමෙන් නිර්මාණය කෙ‍රුණු මලල ක්‍රීඩා ඉසව්වකි. මෙම ඉසව්ව එක ළඟ දින 2ක් තුළ පැවැත්වෙන අතර තරඟයෙහි දිනුම පැරදුම සියළු ඉසව්වන්හි දක්වන ලද දක්ෂතා ඇසුරෙන් නිර්ණය කෙරේ. එක් එක් තරඟය සඳහා දක්ෂතාවය නිර්ණය කෙරෙනුයේ ලකුණු සංඛ්‍යාවක් මත වේ. මෙම ඉසව්ව පිරිමින් සඳහා විශේෂිත වූවක් වන අතර කාන්තාවන් සඳහා පැවැත්වෙන ඉසව් සත්ප්‍රයාම නම් වේ.

සාම්ප්‍රදායිකව ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා හිමි සම්මානය දස ප්‍රයාම ඉසව්ව ජයගන්නා ක්‍රීඩකයාට හිමි වේ යැයි සැලකේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වසර 1912 දී පැවති ඔලිම්පික් තරඟාවලිය අවසානයේ දී දස ප්‍රයාම ඉසව්වේ ජයග්‍රාහකයා වූ ජිම් තෝප් හට ස්වීඩනයේ රජු වූ පස්වැනි ගුස්ටාව් රජතුමා “You, sir, are the world’s greatest athlete” ලෙස පැවසීමත් සමඟයි. ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ “මහත්මයානෙනි ඔබ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා වේ” යන්නයි. වර්තමානයේ මෙම ඉසව්වෙහි ජයග්‍රාහකයා වන්නේ චෙක් ජාතික රොමෑන් සෙබ්‍රීල් වේ. පසුගිය වසර 7ක කාලය තුළ පස්වතාවක් ඔහු මෙම තරඟයෙහි ජයග්‍රාහකයා වූ අතර ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද උපරිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ද ඔහු සතුය.

දස ප්‍රයාම ඉසව්ව පුද්ගලයකුගේ වේගය, ශක්තිය, දක්ෂතාවය, දරා ගැනීමේ හැකියාව සහ පෞරුෂත්වය පරීක්ෂා කිරීම සඳහා මලල ක්‍රීඩා ඉසව් සමූහයක් එක් කොට නිර්මාණය කරන ලද ඉසව්වක් වේ. මෙම ඉසව්ව හැඳින්වීම සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය Decathlon නම් වන අතර එහි සම්භවය ග්‍රීක භාෂාව ආශ්‍රිතව සිදු වී යැයි සැලකිය හැක. ග්‍රීක බසින් deka යන්නෙහි අරුත 10 නම් වන අතර athlon යන්නෙහි අරුත තරඟය යන්නයි. මෙම ඉසව්ව සඳහා යාබද දින දෙකක් තුළ ක්‍රියාවට නැංවෙන 10ක් පැවැත්වෙන අතර මින් එක් එක් දිනයක් තුළ ඉසව් 5ක් බැඟින් පැවැත්වේ. පළමු දිනයෙහි දී මීටර් 100 දිවීම, දුර පැනීම, යගුලිය විසි කිරීම, උස පැනීම සහ මීටර් 400 දිවීම යන ඉසව් පැවැත්වේ. මේ අනුව පළමු දිනයේ දී වේගවත් චලන හැකියාව, ක්ෂණික ජවය සහ පැනීමේ හැකියාව යන දක්ෂතා පරීක්ෂා කෙරේ. දෙවැනි දිනයේ දී මීටර් 110 කඩුළු මතින් දිවීම, කවපෙත්ත විසි කිරීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 1500 දිවීම යන ඉසව් පැවැත්වේ. දෙවැනි දිනයෙහි දී පරීක්ෂා කෙරෙනුයේ තාක්ෂණික දක්ෂතාවය සහ දරා ගැනීමේ හැකියාවයි.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Decathlon

"https://si.wikipedia.org/w/index.php?title=දස_ප්‍රයාම_ඉසව්ව&oldid=472452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි