කොපර්නිකානු සූර්යකේන්ද්‍රවාදය

කොපර්නිකානු සූර්යකේන්ද්‍රවාදය යනු, නිකොලස් කොපර්නිකස් විසින් 1543 වසරෙහිදී ප්‍රවර්ධනය කොට ප්‍රකාශයට පත් කෙරුණු, තාරකා විද්‍යාත්මක ආකෘතියකට භාවිතා වන නමකි. එය විසින්, අචල සූර්යයා, විශ්වයෙහි කේන්ද්‍රය අසබඩ ස්ථානගත කරන ලද අතර, පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක එය වටා, අපිචක්‍රයන්ගෙන් වෙනස් කෙරෙන වෘත්තාකාර පථයන්හී ඒකාකාර වේගයන්ගෙන් චලනය වන බව දක්වයි. සියවස් ගණනාවක් පුරා, බටහිර සංස්කෘතිය තුල මුල් බැස ගත්, පෘථිවිය විශ්වයෙහි කේන්ද්‍රයෙහි තැබූ, ටොලමීය විධික්‍රමයෙන් බැහැරව යෑමට කොපර්නිකානු ආකෘතියට හැකිවූ අතර, නූතන තාරකා විද්‍යාවෙහි සහ විද්‍යාත්මක විප්ලවයෙහි දියත් කිරීම ලෙසින් සැලකෙයි.[1]

නිකොලස් කොපර්නිකස්ගේ දෙ රොවාලොටියොනිබුස් ඕර්බියුම් කොයෙලේස්තියුම් හී සූර්යකේන්ද්‍ර ආකෘතිය

පුරාතන ග්‍රීකයෙක්වූ ඇරිස්ටාකස් විසින් ඒ වන විටත් සූර්යකේන්ද්‍රීය සිද්ධාන්තයක් යෝජනා කර තිබූ බව කොපර්නිකස් දැන සිටි අතර, ආශ්‍රිතයක් තුල එහි යෝජකයෙක් ලෙසින් ඔහු හුවා දැක්වූ බව සහ එනමුදු එය ප්‍රකාශනය කිරීමට පෙර එම සඳහන මකා දැමූ බවත් පෙනෙන මුත්, ඇරිස්ටාකස්ගේ සිද්ධාන්තය පිළිබඳ විශේෂිත විස්තර හෝ එය පරිශීලනය කිරීමට හැකියාව හෝ කොපර්නිකස් වෙත තිබුණු බවට සාක්ෂි නොමැත.[2] 1514 වසරට පෙරදී, ස්වීය සූර්යකේන්ද්‍රීය සිද්ධාන්තයෙහි සංක්ෂිප්තයක් ඔහු විසින් සිය සහායයන් අතරෙහි සංසරණය කර යැවුවද, සිය ජීවිත කාලයෙහි බොහෝ කල් ඉක්මගිය තන්හී සිය ශිෂ්‍ය රෙටිකස් විසින් පොළඹවන ලබන තුරු, එය ප්‍රකාශයට පත් කිරීමට ඔහු තීරණය නොකලේය. ගණිතමය අනුපිළිවෙළක් සහිත විශ්වලෝකයෙහි පාරභෞතිකවාදාත්මක ගම්‍යාර්ථයන් ආරක්ෂණය කරමින්ම, සූර්ය වසරක දිග වඩාත් මනෝඥ ලෙසින් හා නිරවද්‍ය ලෙසින් නිර්ණය කරමින්, ටොලමීය ආකෘතියට ප්‍රායෝගික විකල්පයක් ඉදිරිපත්කිරීම, කොපර්නිකස් වෙත වූ අභියෝගය විය. එබැවින්, ඔහුගේ මෙම සූර්යකේන්ද්‍ර ආකෘතිය විසින්, ග්‍රහලෝකයන්හී වෘත්තාකාර පථ, අපිචක්‍රයන් සහ, ඒකාකාර වේගයන් වැනි ටොලමික මූලාංග කිහිපයක් රඳවා ගබා ගැනීම නිසා, සාවද්‍යතාවයන් ඇති වුවද, [1] ඒ අතරතුරදීම පහත ආකාර නවෝත්පාදනයන් ඉදිරිපත් කරන ලදි:

  • අචල සූර්යයෙක් වටා නිශ්චිත පිළිවෙළකට පරිභ්‍රමණය වන ග්‍රහලෝක කිහිපයක් අතුරින් පෘථිවිය එකකි
  • පෘථිවිය සතුව චලන තුනක් ඇත: දෛනික භ්‍රමණය, වාර්ෂික පරිභ්‍රමණය සහ, එහි අක්ෂය වාර්ෂිකව ඇලවීම
  • ග්‍රහලෝකයන්ගේ ප්‍රතික්‍රමණ චලිතය, පෘථිවියෙහි චලනය වෙතින් පැහැදිලි කෙරෙයි
  • පෘථිවියෙහි සිට සූර්යයා වෙත ඇති දුර, තාරකා වෙත ඇති දුර හා සමගින් සංසන්දනය කල විට කුඩා වෙයි.

පෘථිවිය චලනය වන බව සැලකූ පැරණි සිද්ධාන්ත

සංස්කරණය

ෆිලලොස් (ක්‍රිපූයු 4වන සියවස) යනු, පෘථිවිය චලනයෙහි යෙදෙන බවට උපන්‍යාසයෙහි යෙදුණු මුල් කිහිපදෙනොගෙන් එක් අයෙක් වන අතර, ගෝලීය පෘථිවියක් පිළිබඳ පයිතගරස්ගේ සිද්ධාන්තවලින් පොළඹවනු ලැබුවා විය හැක. ක්‍රිපූයු 3වන සියවසෙහිදී සැමොස්හී ඇරිස්ටාකස් විසින්, දැනට දන්නා පරිදී, පළමුවන සූර්යකේන්ද්‍රීය සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නට, (තම අක්ෂය වටා පෘථිවියේ භ්‍රමණය ගැන කථා කල) ඉරක්ලීඩිස් පොන්ඩිකොස්ගේ සමහරක් සිද්ධාන්ත ප්‍රවර්ධනය කළේය. ඔහුගේ මුල් පාඨ ග්‍රන්ථය අස්ථානගතවී ඇතත්, ආකිමීඩියස්ගේ ද සෑන්ඩ් රෙකනර් (ආකීමෙඩි සිරාකූසනි ආරෙනරියුස් ඇන්ඩ් ඩිමෙන්සියො සියර්කුලි) පොතෙහි එන ආශ්‍රයක් වෙතින්, සූර්යකේන්ද්‍ර ආකෘතිය වැඩිදියුණු කල ඇරිස්ටාකස්ගේ කෘතියක් පිළිබඳ විස්තර කෙරෙයි.

  1. ^ a b Kuhn 1985
  2. ^ ජින්ගරිච්, ඕ. "ඩිඩ් කොපර්නිකස් ඕව් අ ඩෙට් ටු ඇරිස්ටාකස්?" ජර්නල් ෆෝ ද හිස්ට්‍රි ඔෆ් ඇස්ට්‍රනමි, වෙළුම.16, අංක.1/පෙබ, පිටු.37, 39, 1985

පුස්තක නාමාවලිය

සංස්කරණය
  • කූන්, තෝමස් එස්. (1985). ද කොපර්නිකන් රෙවලූෂන් —ප්ලැනටරි ඇස්ට්‍රනමි ඉන් ඩිවලප්මන්ට් ඔෆ් වෙස්ටර්න් තෝට්. කේම්බ්‍රිජ්, මිසිසිපි: හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-0-674-17103-9. {{cite book}}: Invalid |ref=harv (help)