කුඹුක්

ශාක විශේෂයකි
කුඹුක්
Terminalia arjuna
කුඹුක් ගසක්
කුඹුක් ගෙඩි
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Myrtales
කුලය: Combretaceae
ගණය: 'Terminalia'
විශේෂය: ''T. arjuna''
ද්වීපද නාමය
Terminalia arjuna
(Roxb.) Wight & Arn.

ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ. කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය. සකු බසින් අර්ජුන නාමයෙන් හැඳින්වෙන කුඹුක් ගස අවට පරිසරය මනා ලෙස ආරක්ෂා කර සුන්දර බව ද රැක දෙන සුවිසල් වෘක්ෂයකි.මෙම ශාකයෙන් දැව ලබා ගැනීම ප්‍රධාන ප්‍රයෝජනයක් ලෙස හැදින්වේ.

කුඹුක් ගස අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී. සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.

ඉන්දියාව, බුරුමය, ලංකාව, මලයාව, සියම ආදී වියළි කලාපීය රටවල කුඹුක් ගස් දැකගත හැක. ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ. කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.මෙය ඉතාම ඓතිහාසික වශයෙන් වැදගත් ශාකයකි

කුඹුක් ගසේ වටිනාකම

සංස්කරණය

අපගේ පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර ඇත. විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබේ. කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය. විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත. පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.

ඖෂධීය වටිනාකම

සංස්කරණය

කුඹුක් මුල් පොතු කොළ, ගෙඩි, මල්, හා දළු ඖෂධ වශයෙන් යොදා ගැනෙති. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතුය. කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි. හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි. පිපාසය සමනය කරයි. එහෙත් වාතය කුපිත කරයි. ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි. එමෙන්ම කුඹුක් යනු ඖෂධමය වටිනාකමක් ඇති ශාකයකි.

පැරැන්නන් විසින් කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීැත.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත.) කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත. කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත. මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.

කුඹුක් වෘක්ෂයේ අන්තර්ගත රසායනික සංයෝග

සංස්කරණය

කුඹුක් ගසේ පොත්තේ ශර්කරා, ටැනින්, කැල්සියම්, සෝඩියම් කාබනෙට්, ග්ලූකොසයිඞ් හා ඇල්කලයින් ක්ලෝරයිඞ් අන්තර්ගත ය. පොතු යුෂ වල කැල්සියම් සහ ලවන 23% ක් අඩංගුය. කුඹුක් පොතු භස්මයෙහි කැල්සියම් කාබනෙට් 34% ක් ඇත. ඝෝෂාල් නම් රසායනික විද්‍යාඥයාගේ පර්යේෂණ අනුව වර්ණ කර පදාර්ථ ග්ලූකොසයිඞ් කොටස් කැල්සියම් කාබනෙට් සෝඩියම් කාබනෙට් අන්තර්ගතය.

ඓතිහාසික ගැට කුඹුක්‌ ගස

සංස්කරණය

අලව්ව, පරමාවුල්ල අම්බලම අසල පිහිටි ඓතිහාසික ගැට කුඹුක්‌ ගස දුර්ලභ ගණයෙහි ශාකයක්‌ ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් නම්කර තිබේ. මෙම ශාකය ක්‍රි. ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි මෙම කුඹුක්‌ ගස පිහිටි බව සැලකේ. අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි වේ.

මූලාශ්‍ර

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=කුඹුක්&oldid=591773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි