අකලට පරව ගිය මඩේ පිපුන නෙළුම... ලක්ෂ්මන් කදිරගාමර්

සංස්කරණය

2004 සුනාමි ව්‍යසනය මෑත යුගයේ රට මුහුණ දුන් බිහිසුණුම ස්වභාවික ව්‍යසනයයි. සිදුවූ දැවැන්ත විනාශය හරහා රට ගොඩ නැංවීම සඳහා රජය විසින් ස්ථාපිත කල පශ්චාත් සුනාමි මෙහෙයුන් කලමණාකරන ව්‍යුහය (Post-Tsunami Operational Management Structure) හේතුවෙන් එවකට රජයේ පාර්ශ්ව කරුවකු වූ අමාත්‍යාංශ 4ක් දැරූ ජවිපෙය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වූයේ රට තුල දේශපාලන අර්බුදයකට මඟ හෙලි පෙහෙලි කරමිනි. 2005 වසරේ එක්තරා රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ පොදු පෙරමුණ නියෝජනය කල විදේශ ඇමති වරයාගෙන් නැගූ මුල්ම පැනය වූයේ එවකට ජනාධිපතිනිය ප්‍රමුඛ රජයේ ඇමතිවරු හා ජවිපෙය ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කොට ගැනීම පිළිබඳ ඔහු දරණ අදහස කුමක්ද යන්නයි. විදේශ ඇමතිවරයා සිනාසුනේය. "අර්බුදයක් ඇති තැන මත පලකිරීම සදාචාරාත්මක නැහැ." ඒ අපූරු පුද්ගලයා ලක්ෂ්මන් කදිර්ගාමර්ය. ඔහු කිසි දිනෙක පුද්ගලයන් විවේචනය නොකලේය. 1932 කොළඹ ප්‍රභූ ද්‍රවිඩ පවුලක උපන් ලක්ෂ්මන් කදිර්ගාමර් කොළඹ කාන්තා විදුහලේ (CMS Ladies College) ප්‍රාථමික අධ්‍යාපනය ලැබ අනතුරුව මහනුවර ත්‍රිත්ව විදුහලට ඇතුළුවිය. 1950 විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ඔහු කැපී පෙනෙන රග්බි ක්‍රීඩකයකු වූ මෙන්ම විදුහලේ දෙටු සිසු නායකයෙකි. හේ ලංකා සරසවියෙන් තම නීති උපාධිය ලැබූ හේ අධි නීතීඥයකු ලෙස දිවුරුම් දුන්නේ 1955 වසරේ දීය. හිටපු නාවුක හමුදාපති වරයකු වූ රියර්-අද්මිරාල් රාජන් කදිර්ගාමර් ඔහුගේ සොයුරෙකි. 1956 වැඩි දුර අද්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යට ගිය අධි නීතීඥ කදිර්ගාමර් 1959 බැරිස්ටර් වරයෙකු ලෙස ලන්ඩනයේ සේවය කල අතර ඔක්ෆර්ඩ් සංගම් සමාජයේ (Oxford Union Society) දෙවන ලාංකීය සභාපති ලෙස තෝරාපත්කොට ගැනින. පළමුවැන්නා වූයේ හිටපු ඇමති වරයකු වූ ලලිත් ඇතුලත්මුදලිය. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණයේ විත්ති කරුවන් වෙනුවෙන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු 71 කැරැල්ල අවස්ථාවේ යලි බ්‍රිතාන්‍යය බලා ගියේය. 1976දී ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශකයකු ලෙසද තෝරා පත්කර ගන්නා ලදී. 1988 කැරැල්ල අතරතුර යලි ලංකාවට පැමිණි කදිර්ගාමර් කොළඹ 7 තම නිසවට වී වෘත්තියේ නිරත වූ අතර කිසිදු දේශපාලන මතවාදයක් නොදැරීය. එහෙත් ඔහුගේ සමීපතමයන් පැවසූවේ ඔහු පැවති රජයේ සාහසිකත්වය මෙන්ම උතුරේ හා දකුණේ සන්නද්ධ කණ්ඩායම් වල ප්‍රචණ්ඩත්වය ද පෞද්ගලික වශයෙන් දැඩි ලෙස පිළිකුල් කල බවය. 1991දී කදිර්ගාමර් ජනාඬ්ඉපති නීතීඥයකු ලෙස නම් කරන ලදී. භීෂණය හේතුවෙන් අපකීර්තියට පත්ව සිටි පැවති රජය 1994 මැතිවරණයෙන් පරාජය විය. බලයට පත් පොදු පෙරමුණු රජයේ විදේශ ඇමති ලෙස කදිර්ගාමර් පත් කෙරිණ. ඒ වනවිටත් එකදු දේශපාලන රැස්වීමක් හෝ අමතා නොතිබූ ඔහු පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ ජාතික ලැයිස්තුවෙනි. ලංකා දේ ශපාලනය තුල ජාතික ලයිස්තුව යහභාවිතයට ගැනුන විරල අවස්ථාවකි ඒ. එවකට සිටි බොහෝ දමිල උගතුන් මෙන් විදේශ ඇමති කදිර්ගාමර්ගේ ද විශ්වාසය වූයේ එල්. ටී.ටී ඊ සංවිධානය සමඟ සම්මුතියකට එලැඹීමට එමට හැකි වනු ඇති බවයි. ජාතික ගැටළුව විසදීමේදී ඒකීය රටක් තුල යම් පමණකට බලය බෙදිය යුතු බව විශ්වාස කල හේ එය එල්.ටී ටී ඊ යට පමණක් නොව සිංහල මහ ජාතියට හා ඉන්දියාවට පිළිගත හැකි විසඳුමක් විය යුතුබවද විශ්වාස කලේය. කදිර්ගාමර් ඉටු කල විශාලතම මෙහෙය ලෙස සැලකෙන්නේ ඒ වනවිට දේශපාලන ආයතනයක් බවට පත්ව තිබූ විදේශ සේවය පිරිසිදු කොට ජාතික දැක්මකින් යුතුව ප්‍රතිව්‍යුහ ගත කිරීමයි. 1995 දී එල් ටීටී ඊය සටන් විරාමය බිඳ දමමින් යලි යුද්ධයට් පිළිපන් කල වඩාත්ම කෝපයට පත්වූයේද කදිර්ගාමර්ය. එල් ටී ටී ඊයට අනුකම්පා කල ඇතැම් දමිල ප්‍රභූන් සමඟ ඇසුර පවා හේ අත් හිටුවීය. ලෝකයා විස්මයට පත්වූයේ ඇතැම් සිංහල දේශපාලකයන් එල්. ටී ටී ඊය විමුක්ති සංවිධානයක් ලෙස හධුන්වා දෙන අතර ලංකාවේ දමිල විදේශ ඇමති වරයා එය මිනීමරු තස්තවාදී සංවිධානයක් බව කියා සිටීම නිසාය. යුරෝපා සංගමය ඇතුළු දමිල ඩයස්පෝරාව ක්‍රියාකාරී රටවල් රැසක එල් ටී ටී ඊ සංවිධානය තහනම් කිරීම ඔහුගේ වෑයමේ ප්‍රථිඵලයකි. මේ හේතුවෙන් ජනාධිපතිනිය ලඟට වැඩිම ජීවිත තර්ජන එල්ල වූ පුද්ගලයා වූයේ කදිර්ගාමර්ය. 2002 සටන් විරාමය මෙන්ම නෝර්වේ මැදිහත් වීමද කදිර්ගාමර් ගේ දැඩි විවේචනයට ලක්විය. එහෙත් ඔහු දේශපාලන වේදිකාවේ හෝ රූපවාහිනී වැඩසටහන් තුල පුද්ගල විවේචන සිදු කලේ නැත. 2004 බලයට පත්වූ සන්ධාන ආණ්ඩුවේද විදේශ ඇමති පදවිය අගමැති ලෙස කදිර්ගාමර්ගේ නම යෝජනා කෙරිණ. කුමන හෙතුවක් නිසා හෝ එය පිළි ගැනුනෙ නැති. දැඩි ජීවිත තර්ජනයට ලක්ව සිටි කදිර්ගාමර් කොලඹ 7 බුලර්ස් පටුමගෙහි ලර්ස් තම නිවසට නිතර ආවේ ගියේ ආරක්ෂක අංශ විසින් කොට තිබූ අනතුරු ඇඟවීම් නොසලකාය. ඔහුගේ නිල නිවස තරම් එය ආරක්ෂා සහිත නොවීය. එහි එක් පසක් ස්වීඩ්න් තානාපති කාර්යාලය තිබූ අතර අනිත් පස පෞද්ගලික නිවසකි. එහෙත් තම නිල නිවසේ පිහිනුම් තටාකයක් නුවූ බැවින් කදිරගාමර් ස්නානය පිණිස නිතර එහි ආවේ ගියේය. අවාසනාවකට මෙන් මෙ බව එල් ටී ටී ඊයද දැන සිටි බව පෙනේ. 2005 අගෝස්තු 12 දා රැයේ සුපුරුදු පරිදි කදිර්ගාමර් පිහිනුම් තටාකයට බැස්සේ යුද හමුදා කොමාන්ඩෝ භටයන් ඇතුළු ආරක්ෂකයන් 100 දෙනෙකු විසින් අවට රැකවල් කරන අතර තුරදීය. යාබද පෞද්ගලික නිවසේ ජනෙලයකින් ස්නයිපර් වෙඩි උණ්ඩ හතරක් එල්ලවිය. හිසට බෙල්ලට හා පපුවට වැදුන ඇමතිවරයා රෝහල්ගත කරන විට මිය ගියේය. හඬා වැලපුන ජනාධිපතිනිය හදිසි නීතිය ප්‍රකාශයට පත්කොට සැක කරුවන් අත් අඩංගුවට ගැනීමේ පුළුල් බලතල හමුදාවට හා පොලිසියට පැවරුවාය. ඒ වන සියල්ල සිදුවී හමාරය. බුද්ධි සේවා වල දැවැන්ත හිඩැසක් තිබූ බව ආරක්ෂක අංශ පවා පිළි ගත්තේය. කදිර්ගාමර් ගේ වියෝවෙන් වඩාත්ම කම්පාවට පත්වූයේ සිංහල බහුතරයයි. කොළඹ විසූ දමිල වැසියෝ පවා කදිර්ගාමර්ට ගරු කලහ. මෙය බිහිසුනු අපරාධයක් ලෙස හෙලා දුටු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් මහත්මිය වැඩිදුරටත් පැවසුවේ ලංකාවට විශිෂ්ඨතම නායකයකු අහිමි වූ බවයි. මේ කදිර්ගාමර් වැනි මහත්වරු සියගණනක් අවශ්‍ය යුගයකි. පිරිසිදු දේශපාලනයට ඉතිහාසයේ දුටු අගනාම (ඇතැම් විය එකම) උදාහරණය වූ ඒ ශ්‍රේෂ්ඨ ලාංකීය දමිල පුත්‍රයා අකාලයේ මිය යාම රටේ දෛවය මෙන්ම මතු පරපුරේ අවාසනාව විය යුතුය.....

(c) Chamara Siriwardene

"https://si.wikipedia.org/w/index.php?title=කළාකරුවෝ&oldid=719238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි