ඔසිරිස් (/oʊˈsaɪərɪs/ නැතහොත් ඕසිර්, අසිරි හෝ ඕසර් වෙනත් උච්චාරණ අතර වේ) යනු ඊජිප්තු දෙවි කෙනෙකි. සාමාන්‍යයෙන් ඔහු මරනින් මතු ජීවිතය, පාතාලය සහ මළවුන්ට අධිපති දෙවියන් ලෙස සැලකුණ ද, ඔහු සංක්‍රාන්තියේ, පුනරුත්ථානයේ සහ පුනර්ජනනයේ දෙවියා ලෙස සැලකීම වඩාත් උචිත ය. සම්ප්‍රදායිකව ඔහුව පාරාවෝ රැවුලක් සහිත කොළ-පැහැ සමක් ඇති මිනිසකු ලෙස නිරූපණය කෙරෙන අතර, අර්ධව මමී-වෙළූ පාද සහිත මොහු දෙපස විශාල පැස්බර පිහාටු දෙකක් සහිත විශේෂ කිරුළක් පැළඳ සංකේතාත්මක හෙණ්ඩුව සහ කසය දරා සිටියි. අතීතයේ ඔසිරිස් යනු පෘථිවි දේවතාවා වන ගෙබ්ගේ වැඩිමහල්ම පුත්‍රයා ලෙස සැලකිණි. නමුත් ඇතැම් මූලාශ්‍රවල ඔහුගේ දෙමාපියන් හිරු-දෙවි රා[1] සහ ආකාශයට අධිපති නුට් බව දැක්වේ. අයිසිස් ඔහුගේ සොහොයුරිය මෙන්ම භාර්යාව ද වූ අතර, හොරස් යනු ඔහුගේ මරණාපර පුත්‍රයා වේ.[1] ඔහු ඛෙන්ටි-අමෙන්ටියු යන විරුදය සමග ද සම්බන්ධ අතර, එහි අර්ථය "බටහිර වැසියන්ගේ පුරෝගාමියා" යන්නයි. මෙය මළවුන්ගේ දේශයේ ඔහු රජු බව හැඟවෙන පදයකි.[2] මළවුන්ගේ පාලකයා ලෙස, ඔසිරිස් ඇතැම්විට "ජීවත් වන්නන්ගේ රජ" ලෙස ද හඳුන්වා ඇත. එයට හේතුව පුරාතන ඊජිප්තුවරුන් විසින් ආශිර්වාද ලද මළවුන් "ජීවත් වන්නන්" ලෙස සලකා තිබීමයි.[3]
ඔසිරිස් |
---|
මරනින් මතු දිවියේ, මරණයේ, ජීවිතයේ සහ පුනරුත්ථානයට අධිපති දෙවියා |
 ඔසිරිස්, මළවුන්ගේ අධිපති. ඔහුගේ කළු-කොළ පැහැ සම මගින් නැවත උපත සංකේතවත් කෙරේ. |
නාමය රූපාක්ෂරවලින් | |
---|
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | ඇබයිඩොස් |
---|
සංකේතය | හෙණ්ඩුව සහ කසය, අටෙෆ් කිරුළ, පැස්බර පිහාටු, මත්ස්‍යයික්, මමී වස්ත්‍රය |
---|
පෞද්ගලික තොරතුරු |
---|
වල්ලභයා | අයිසිස් |
---|
දෙමාපියන් | ගෙබ් සහ නුට් |
---|
සොයුරු/සොයුරියන් | අයිසිස්, සෙට්, නෙෆ්තිස්, හාරෝඑරිස් |
---|
පැවතෙන්නා | හොරස් |
---|
ඔසිරිස් අයිසිස්, සෙට්, නෙෆ්තිස්, සහ වැඩිමහල් හොරස් යන දෙවිවරුන්ගේ සොහොයුරා වන අතර, ලාබාල හොරස්ගේ පියා වේ.[4] ඔසිරිස් පළමු වරට දක්නට ලැබෙන්නේ ඊජිප්තවේ පස්වන රාජවංශයේ මැද කාලයේ වන නමුත්, ඔහු ඊට බොහෝ කලකට පෙර වන්දනයට ලක් වන්නට ඇතැයි සිතිය හැක;[5] ඛෙන්ටි-අමෙන්ටියු විරුදය අවම වශයෙන් පළමු රාජවංශ සමයට කාලනිර්ණය කළ හැක. එය පාරාවෝ පදවි නාමයක් ලෙස ද භාවිතා කොට ඇත. ඔසිරිස්ගේ පුරාණෝක්ති පිළිබඳ බොහෝමයක් තොරතුරු හමුවන්නේ පස්වන රාජවංශයේ අග කාලයේ පිරමීඩ පාඨග්‍රන්ථවලින්, පසුව නව රාජධානි මූලාශ්‍ර ලේඛන වන ෂබාකා පාෂාණය සහ හොරස් සහ සෙත් පිළිබඳ වාදය තුළිනි. එසේම වඩාත් පසුකාලීනව, ප්ලූටාර්ක්[6] සහ ඩියඩෝරස් සිකියුලස් වැනි ග්‍රීක ලේඛකයන්ගේ මූලාශ්‍රවලිනි.[7]