” ආකල්පයක් යනු විශාල වෙනසක් ඇති කරන කුඩා දෙයකි ” යන ප්‍රසිද්ධ කියමන ඔබත් අසා ඇති.සැබවින්ම ආකල්පයක් යනු ඔබේ ජීවිතය තුළ ඉතාමත් විශාල ලෙස පැහැදිලි වෙනසක් ඇති කරන ඉතාම කුඩා දෙයකි.එය යම් ක්‍රියාවක් හෝ ඔබ තුළ ඇති සිතිවිල්ලක් ක්‍රියාත්මක කිරීමක් විය හැකිය.ඔබේ අරමුණ ජීවිතය සාර්ථක කරගැනීමට නම් ආකල්ප සංවර්ධනය කරගැනීම පිළිබඳව ඔබට යම් අවබෝධයක් තිබිය යුතුය. ආකල්පයක් යනු :ආකල්ප ගොඩනැගී ඇත්තේ අප තුළම වේ.ඒවා සෘණාත්මක ආකල්ප මෙන්ම ධනාත්මක ආකල්ප ලෙස ද ක්‍රියාත්මක වේ.සාමාන්‍යයෙන් පුද්ගලයා තුළ ආකල්ප ගොඩනැගීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.එනම් ,


1) අදහස් – Ideas

2) අතීත අත්දැකීම් – Past  experience 

3) ස්ව සංකල්ප – Self concept 

4) යුතුකම් සහ වගකීම් – Obligations 

5) අරමුණු – Objectives 

6) මනෝභාව – Sentiments 

යනාදියයි.මේවා අතුරින් ආකල්පයක් ගොඩනැගීම කෙරෙහි බලපාන ඉතාම කුඩා ඒකකය ලෙස පුද්ගල අතීත අත්දැකීම් දැක්විය හැකිය.ඒ අනුව ගොඩනැගී ඇති පුද්ගල විශ්වාස ,මතකයන් හා අගයන් මත ආකල්ප ගොඩනැගීම සිදු වේ. උපතේ සිටම පුද්ගලයින් තුළ ආකල්ප වර්ධනය වීම සිදු වේ.එය තමන් වෙසෙන පරිසරයට ද සාපේක්ෂව සිදුවන්නකි.කුඩා කල සිටම අපට ඇහුණු දැනුනු කියවූ නැරඹූ ඇසූ මෙන්ම අපි ඇසුරු කළ පුද්ගලයින් ද මෙම ආකල්ප වර්ධනය වීම සදහා බලපෑම් කරයි.

නීති රීති :අප විසින්ම හදාගත් නීතිරීති නිසාවෙන් අප තුළ ගොඩනැගුණු ආකල්ප දැකිය හැකිය.උදාහරණ ලෙස සල්ලි ගොඩක් තිබුණොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ,ආදරේ කරන්න කෙනෙක් හිටියොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ,ලොකු විවාහ උත්සවයක් ගන්න පුළුවන් වුණොත් විතරයි මට සතුටින් ඉන්න පුළුවන් ….යනාදි වශයෙන් ඔබ ඔබ තුළම නිර්මාණය කරගත් නීතිරීති නිසාවෙන් ඔබේ ආකල්ප වෙනස් විය හැකිය. පරම ධනය සතුට ලෙස අපි අසා කියවා ඇති නිසාවෙන් මේ සියල්ලටම පෙර අපි සතුටින් සිටීමට හේතු සෙවීම යෝග්‍ය වේ.ඒ අනුව ඉහත දැක්වූ ආකාරයට ඔබ තුළ ඇති ඔබ වෙනුවෙන් ඔබ විසින්ම නිර්මාණය කරගත් නීතිරීති මොනවාදැයි අවබෝධ කරගන්න.එවන් නීතිරීති ඔබෙන් දුරස් වූ විට ඔබට සතුටින් සිටිය හැකිය.


මුදල් අවශ්‍ය බව සිතමින් සෘණාත්මක ආකල්පවලින් වැසුණු ඔබේ මනසට මුදල් නැතත් ලැබෙන හැටියට උත්සාහය මත ඔබ සාර්ථක වන බවට ආකල්පයක් ඇති කරගන්න.සතුට ඇත්තේ මුදල් මතම නොවන බවත් ඔබ තුළ ඇති සතුටු විය හැකි වෙනත් විකල්පයන් ගැනත් අවධානය යොමු කරන්න.ඔබට ලැබී ඇති දේවල් පිළිබඳව සතුටු වීමට උත්සාහ කරන්න.එකවර විශාල මුදලක් නොලැබුණත් ඔබට ලැබෙන රුපියල පිළිබඳව හෝ සතුටුවීමට හොඳ ආකල්පයක් මනස තුළ නිර්මාණය කරගන්න.

සරලවම කිවහොත් සතුට රැදී ඇත්තේ මුදල් ,යානවාහන ,විවාහය මතම නොවේ.එය රැදී ඇත්තේ ඔබ දරන ආකල්ප මතයි.සුළග ,මල් ,ගහකොළ යනාදිය තුළ ද ගැබ්ව ඇත්තේ සතුටයි.ඉතාමත් කුඩා දෙයින් සතුටුවීමට ඔබ උත්සාහ කරන්න.එවිට ඔබට සාර්ථකත්වය කරා යන ගමන අනවශ්‍ය වෙහෙසකින් තොරව යාමට හැකිය.

දවසක් නිමා වී දවසක් උදා වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක් දුර ගොසින්ය. අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්ට් ෆෝන්, න්‍යෂ්ටික අවි ආදී නොයෙක් ක්‍ෂේත‍්‍රයන් සංවර්ධනයේ ඉහළම ඵල නෙලා ගනිමින් ඇත. එහෙත් මිනිසාගේ සිිතුම් පැතුම්, ආකල්ප මෙම භෞතික සංවර්ධනයන් සමඟ බැදී සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇද්දැයි විමසා බලනු වටී.

සිතුම් පැතුම්, ආකල්ප පුද්ගල සමාජය තුල පුද්ගල කාර්ය භාරයක් හිමි වන්නා සේම අතිශය වැදගත් ම අංගයකි. ආකල්ප මිනිසා මිිනිසෙකු ලෙස ජීවත් කරනවා යැයි කීම වඩාත් නිවැරදි ය. ආකල්ප මිනිස් පෞරුෂය කෙරෙහි ද විවිධ අයුරින් බලපෑම් ඇති කරයි. පුද්ගලයාගෙන්, පුද්ගලයාට මුහුණ දෙන අවස්ථා හා එහි ස්වභාවය, සමාජ වටපිටාව මත ආකල්ප වෙනස් වන්නකි. අප නොදැනුවත්ව ම මේ ආකල්ප මගින් අපගේ ජීවිතය පාලනය කරයි.

මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුත්තේ කුඩා අවදියේ පටන් ය. මෙයට දිය හැකි සරල නිදසුනක් එක්වර ම මතකයට නැගුණි. ජපානයේ සියලුම පාසල් දූ දරුවන් ඔවුන් එදිනෙදා භාවිතා කරන වැසිකිළිය මසකට වරක් හෝ දෙවරක් පිරිසිදු කළ යුතුය. මෙය පළමු ශ්‍රේණියේ පාසල් දරුවන් ද කිසිදු පැකිලීමකින් තොරව සිදු කරන කටයුත්තකි. ඒ සඳහා ඔවුන් සමඟ පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය සහභාගී වේ. පන්ති කාමර සංස්කෘතිය තුල තිබෙන එක් වටිනා පාඩමකි. මෙය ජපානය වැනි රටක පිරිසිදු කරන්නන් නොමැති නිසා හෝ ගෙවීම් සිදු කිරීම අපහසු නිසා හෝ පාසල් සිසුන් ලවා සිදු කරන කටයුත්තක් නොවන බව ඉඳුරාම පැහැදිලි ය. රැකියාව මත හෝ උගත් කම මත හෝ මිනිසුන් වර්ග නොකළ යුතු බවත් සියල්ලන්ම සමාන බවත් ඔවුන් පොතෙන් පමණක් නොව ප‍්‍රායෝගිකව ද ඉගෙන ගනී. ජපානයේ පිරිසිදුකරන්නන් හදුන්වන්නේ පවිත‍්‍රකාරක ඉංජිනේරුවන් ලෙසය. මේ සිදුවිම ශ‍්‍රී ලංකාවේ සිදු වූයේ නම් පසුදින උදෑසන දෙමව්පියන් විසින් පාසල වටලා උපවාස උද්ඝෝෂණ පවත්වනවා නිසැකය. පුද්ගල ආකල්ප සංවර්ධනය ආරම්භ විය යුත්තේ පන්ති කාමරයෙනි.

වර්තමානයේ පවුලේ, පාසලේ, සමාජයේ රැකියා ස්ථානයේ මෙන්ම රටේ දියුණුව සඳහා ද යහපත් ආකල්ප වර්ධනයේ අවශ්‍යතාව මතුවෙමින් පවතී. කිසියම් සමාජ ආකල්පයක් සෘණාත්මක හෝ ධනාත්මක වීමට බලපාන සාධක රාශියකි. කිසියම් පුද්ගලයෙකු සතු මනෝභාවය, ඒ පුද්ගලයා සමාජයෙහි සෙසු පුද්ගලයන් හා කටයුතු කරන, හැසිරෙන ආකාරය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපානු ලබන්නේ සෘණාත්මක හෝ ධණාත්මක ආකල්පයි. කිසියම් සමාජ ආකල්පයක් ගොඩනැගීම සඳහා පුද්ගල ආකල්ප හේතු සාධක වේ. මෙම හේතුව නිසා පුද්ගල ආකල්ප වල බලපෑම සමාජ ආකල්ප සකස් වී කෙරෙහි සෘජු බලපෑමක් සිදු කරන බව පිළිගැනීමට සිදු වේ. අප වර්තමානයේ සමාජය, ආකල්පමය වශයෙන් දූෂිත යැයි පවසන්නේ වර්තමාන සමාජ ආකල්පමය වශයෙන් දුර්වලව ඇති හෙයිනි.

තවත් සරල උදාහරණයක් ගෙනහැර දදක්වන්නේ නම්, තම දරුවා පාසලේ විභාග ප‍්‍රතිඵල රැුගෙන ආ විට දෙමව්පියන්, තම දරුවා අගය කිරීම, වර්ණනා කිරීම, දිරිමත් කිරීම පසෙක ලා අසන්නේ අහවලාගේ ලකුණු කීය ද?, අහවලාගේ ලකුණු කීය ද? යන්නයිි. එවිට දරුවාට ඇතිවන්නේ ඔහුගේ යහළුවන් පිළිබඳ වෛරයකි. ඊර්ෂ්‍යාවකිි, කුහක කමකි. ඉන් දරුවාට සිදු වන මානසික ව්‍යකූලත්වය නිසා ආකල්ප සංවර්ධනයට කුමක් සිදුවේ දැයි දෙමාපියන් සිතන්නේ නැත.

ජාති, ආගම්, කුල ආදි පන්ති පරතර නිර්මාණය කිරීම තුළ මිනිසුන්ගේ සෘණාත්මක ආකල්ප බලපෑ බව අතීතයේ සිට වර්තමානය දක්වා වූ සිද්ධිදාමයන් සාක්‍ෂි ගෙනෙයි. විශ්ව විද්‍යාල ආදී උසස් අධ්‍යාපන අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආදි රැුකියා පරිසරය තුළ ප‍්‍රධානීන්ගේ ඔවුන් ‘ප‍්‍රධානීන් ’ යැයි සිතන අධි මානසික ආකල්ප ක‍්‍රියාත්මක වීම තුලද, ඇති වන පීඩනය පහර ස්ථරවලට නිරන්තර බලපෑම් සිදුකරයි. දේශපාලන, සංස්කෘතික වටපිටාවට ආකල්ප වලින් වන බලපෑම අප ලාංකික සමාජයේ දැකිය හැකි සුලබ දසුනකි.

ජපන් ජාතිකයන් පිළිබඳ තවත් නිදසුනක් ගෙන ඒමට සිත්වූයේ, ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳ ඇති ගෞරවය නිසාය. ජපන් ජාතිකයන් සමාජය පිළිබඳ එකිනෙකා පිළිබඳ ඇති ගෞරවය හා ආචාරශීලි බව ඉතාමත් ඉහළ මට්ටමකට එසවී පෙනෙන්නකි. ජපානයේ දුම්රිය තුළ හෝ බස් රථ තුළ, ආපනශාලා වල, දුරකතන ඇමතුම් භාවිතා නොකරයි. දුරකතන නාද වීම, ඇමතුම් ලබා ගැනීම දුරකතන සංවාද නිසා අවට සිිටින්නන්ට සිදු වන අපහසුතාවය නිසා ඔවුන් දුරකථන ඇමතුම් ලබා ගැනීමක් සිදු නොකරයිි. මෙය නීතීයක් නොව, සදාචාරාත්මක රීතිියකි. මෙය ඉතා සුළුකොට තැකිය නැති යැයි සිතිය මුත් ඔවුන්ගේ සංවර්ධිත ආකල්පමය සිතුවිලි සුළු කොට තැකිය හැකි ද?

ඍණාත්මක ආකල්පවලින් යුත් සමාජයේ යම් යම් සමාජාකල්ප ඇතැම් විට රට විනාශ මුඛයට ඇද දැමීමට සමත් වූ අවස්ථා එමටය. මතුපිටින් භෞතිකව නොපෙනුණත්, ඇතැම් අවස්ථාවල දී සොර සතුරන් කරන හානියට වඩා වැඩිි හානියක් ඍණාත්මක සමාජාකල්ප සිදු නොවන බව පැහැදිලිව දැකිය හැකි කරුණකි. ඍණාත්මක සාමාජාකල්ප වලින් යුතු මිනිසුන් සමූහයක් එක්වී එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ සමාජ ස්ථරයකට මානසිික හා සාමාජික මට්ටම් බිඳ දැමීම ක‍්‍රියාත්මක වේ. මින් සිදුවන සමාජ හානිය පිළිබඳව බොහෝ පුද්ගලයන්ට හෝ පුද්ගල සමාජයට නිසි අවබෝධයක් නොමැති බැවින් සමාජය පුරා වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝදය, පළිගැනීම, කුහක කම, එකිනෙකා කෙටවීම, දැඩි ආශාව වැනි විවිධ ඍණාත්මක ආකල්ප හට ගැනීමට ඉවහල් වන වටපිටාවක් නිර්මාණය වීමට පසුබිම සැකසේ. වර්තමාන සමාජයේ සමාජ සම්බන්ධතා තුල පවතින අසහනය හා කළකිරීම මිනිස් ආකල්ප සංංවර්ධනය නොවීමේ අහිතකර ප‍්‍රතිඵලයකි. සුභවාදී ආකල්ප වර්ධනය පන්ති කාමරයෙන් පටන්ගත යුතු අතර, එය ප‍්‍රායෝගිකව අත්විඳීමට ද ඉඩ සැලැස්විය යුතු කරුණක් වන අතර, එය නූතන පුද්ගල සමාජ කෙරෙහි ද ව්‍යාප්ත කළ යුතු බීජයකි. මන්ද නිමිසකුගේ ජීවිත වෙනස් කිරීමට පළමුව ඔහුගේ ආකල්ප වෙනස් කළ යුතුය. ඒ ඔහුගේ ආකල්ප ඔහුගේ ජීවීතය බවට පත්වන නිසාවෙන්ය. ආකල්ප ඉගැන්විය හැකිද?

නූතන මනෝවිද්‍යාව අනුව ඉගෙනුම යනු චර්යාව වෙනස්‌ කිරීමට සමත්වූ පෙළඹවීමක්‌ ලෙස සැලකේ. එසේම මෙකී චර්යාව වෙනස්‌ විය යුත්තේ ධනාත්මකව බවට පොදු පිළිගැනීමක්‌ ඇත. ධනාත්මකව නොවන චර්යාවේ වෙනස්‌ අගය තිබිය හැක. නමුදු ඒවා යහපත් ඉගෙනීම් ලෙස නොසැලකේ. පංතිකාමර අධ්‍යාපනේදී වඩා උසස්‌කොට සලකන ලද්දේ උපස්‌ථම්භන ලබාදීම මගින් සිදුවන ධනාත්මක චර්යා සංස්‌කරණයයි. බොහෝවිට අධ්‍යාපන මූලධර්ම ලෙස භාවිතාවන විවිධ න්‍යාය හා සිද්ධාන්ත මගින් සිදු කරනුයේ මානව චර්යාව උපස්‌ථම්භන ඇසුරෙන් නිශ්චිත දිශාවකට යොමු කිරීමයි. කුඩා දරුවකුගේ මානසික වටාපිටාවට සරිලන අයුරින් අධ්‍යාපනය ලබාදිය යුතු බව මේ මූලධර්මවලදී පැහැදිලි කර තිබේ. විෂය කරුණු ඉගැන්වීමට වඩා ආකල්ප පිළිබඳ ඉගැන්වීම අසීරුය. වඩා ප්‍රශස්‌ත ගුරුවරයකු ලෙස සැලකෙනුයේ එසේ ආකල්ප ඉගැන්වීමට හැකි ගුරුවරයා ය.

ආකල්ප ඉගැන්වීමේ අගය අධ්‍යාපනයේදී වැදගත් කර සැලකීමට බොහෝ හේතු තිබේ. ආකල්ප නිසා ඉගෙනීම පිණිස ඉගෙන ගැනීමට දරුවා යොමු වේ. මන්ද යම්කිසි දෙයක්‌ පිළිබඳ ඇතිවූ වැටහීමක්‌ සහිත අයෙකුට එබඳු වැටහීමක්‌ නොමැති අයෙකුට වඩා එකම කරුණක්‌ වඩා හොඳින් සංජානනය කර ගත හැකි බැවිනි. ඒ අනුව කිසියම් විෂය කරුණක්‌ පිළිබඳ ගැඹුරු වැටහීමක්‌ ඇතිවීමට පවා ආකල්ප ඉගෙනීම වැදගත්ය. ආකල්ප ඉගෙනීම නිසා අනතුරුව සිදුකරන විෂය කරුණු ඉගෙනීම වඩා පහසු වේ. ඕනෑම දෙයක්‌ පිළිබඳව විචාර පූර්වක බව ඇතිවනුයේ ආකල්ප ඉගෙනීම නිසාය. බුද්ධිය ඉගැන්වීම ලෙස ආකල්ප ඉගැන්වීම හැඳින්වෙනුයේද ඒ නිසාය. එසේම යම්කිසි විෂය කරුණක්‌ ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී ඇතිවන සංජානනය නිසා පසුකාලීනව යම් දැනුමක්‌ ලැබීමේදී මුලින් ලැබූ දැනුම සමඟ සන්සන්දනාත්මකව විග්‍රහ කළ හැක. මේ හේතුව විශේෂ වූ ඉගෙනීමට අවස්‌ථාව ලැබීමකි. එකම කරුණක්‌ පිළිබඳ වුවද ගැඹුරින් සිතීමට කල්පනා කිරීමට යම් අයෙකුට පුහුණුව හා හැකියාව ඇතිවනුයේ එම ක්‍ෂේත්‍රයට අදාළව කරන විශේෂ ඉගෙනීම නිසාය. ඉගෙනීම යනුවෙන් අදහස්‌ කරනුයේ සංජානනය අර්ථවත්ව භාවිත කිරීමකි.


හොඳ නරක හා සදාචාරාත්මක ආකල්ප

කෙනකු හොඳ හෝ නරක දෙයක්‌ ඉගෙනීමට හැක. නමුදු සමාජය විසින් නරක දේ සඳහා සෘණාත්මක පෙළැඹවීම් හා හොඳ දේ සඳහා ධනාත්මක පෙළැඹවීම් ලබාදෙන බැවින් නරක අත්හැර හොඳ දේ කිරීමට අයෙකු තුළ කිසියම් නැඹුරුවක්‌ ඇති වේ. නමුදු මේ තත්ත්වය පොදු නැත. ඇතැම් සමාජ හා සංස්‌කෘතිවල උපසංස්‌කෘතික ව්‍යුහ දක්‌නට ඇත. මෙබඳු උපසංස්‌කෘතික පසුබිම් තුළ ඇතැම් විට නරක චර්යා සඳහා ද ධනාත්මක උපස්‌ථම්භන ලැබිය හැක. එබඳු අවස්‌ථාවලදී බොහෝ අය පෙළැඹවීම් නිසා අයහපත් දෑ ඉගෙන ගනී. තමන්ට හා අනුන්ට අවැඩදායක වූ එබඳු ඉගෙනීම් සමස්‌ත සමාජය තුළදී ප්‍රතික්‍ෂේප වූ දේවල් විය හැක. මේ නිසා එබඳු වැරැදි ඉගෙනීමක්‌ කරා යොමු වූ අයට සමස්‌ත සමාජයේදී ඇතිවන ඉහත කී ප්‍රතික්‍ෂේපය ඇතැම්විටකදී සමාජයට එරෙහිව යාමක්‌ බවට පවා පරිවර්තනය විය හැක.

ප්‍රතිජානනාත්මක ස්‌ථම්භන ලබාදීම මගින් යම්යම් අයහපත් මනෝභාවයන්ද යහපත් යෑයි පුද්ගලයකුට ඒත්තු ගැන්විය හැක. මෙහිදී එබඳු ඉගැන්වීමක්‌ අයහපත් යෑයි සැලකේ. සමාජ එකඟ බවට ප්‍රතිවිරුද්ධ ලක්‍ෂණ මෙබඳු ඉගෙනීමක්‌ මගින් පුද්ගලයන් තුළ රෝපණය කළ හැක. මෙබඳු වූ අවස්‌ථාවලදී ඒ ඉගෙනීම ලබන පුද්ගලයන්ගේ ආකල්ප හා චර්යා පවා ඉගෙනීමට අදාළව වෙනස්‌ කෙරේ. අනුන්ද නසාගෙන සිය දිවි නසාගත හැකි දරුණු ගණයේ අපරාධකරුවකු තනනුයේ මේ ආකාරයේ ඉගෙනීමක්‌ තුළිනි. මෙබඳු පුද්ගලයකුට පොදු සම්මත පිළිගැනීම් වැරැදි බව අවබෝධ කර දෙන අතර සමාජ විරෝධී ලක්‍ෂණ යහපත් බව ප්‍රතිජානනාත්මක ස්‌ථම්භන මගින් ඉගැන්වේ.

සමාජ විරෝධී දේ යහපත් ලෙස ද, සමාජ සම්මත අයහපත් ලෙසද සංජානන කිරීම මෙහි ලක්‍ෂණ වේ. මේ ආකාරයේ ඉගෙනීම් තුළින් සිදුවනුයේ යහපත තහවුරු වීම නොවේ. එසේම අයහපත පිටු දැකීමද නොවේ. දරුණු මිනීමරුවකු වූ අංගුලිමාල නමැති පුද්ගලයා බිහිවීමට සමාජ විරෝධී ගති ලක්‍ෂණ ඉගෙනීම ඉවහල් විය. අංගුලිමාල උත්පත්තියෙන් නරක අයෙකු නොවේ. උපතින් ඔහු අහිංසකයකු විය. අහිංසක දරුණු මිනීමරුවකු බවට පත් කිරීම පසුකලක සිය ගුරුවරයා ඔහුගෙන් පළිගැනීම සඳහා භාවිත කළ කූඨඋපාය මාර්ගය විය. එසේ උපදෙස්‌ දෙන ලද්දේ ගුරුවරයාට සෘජුවම විනාශ කළ නොහැකි වූ අංගුලිමාලව මිනිසුන් ලවා මැරවීමට උපායක්‌ වශයෙනි. එහි පළමු පියවර ලෙස අංගුලිමාලට මිනිසුන් මැරීමට අදාළ පැවරුම ලබාදෙන ලද්දේ සමාජ විරෝධී ලක්‍ෂණ සහිත වූ අයෙකු බවට ඔහු පත් කරවීමේ දුෂ්ට අරමුණ පෙරදැරි කොටගෙනය. අංගුලිමාලගේ හෘද සාක්‍ෂිය පවා තමා කරන කාර්යය නිවැරැදිය යන තත්ත්වයකට පත් කරවූයේ වැරැදි පෙළැඹවීමක්‌ මගින් ලබා දුන් ඉගෙනීම හේතුවෙනි. පසු කාලයකදී බුදුරදුන් මුණගැසීමේදී මේ තත්ත්වය වෙනස්‌ විය. තමා කරනුයේ වැරැදි ක්‍රියාවක්‌ බව අංගුලිමාලට දයාබරව වටහා දුන් එකම පුද්ගලයා බුදුරදුන්ම පමණි. පසුව අංගුලිමාල යළිත් නිවැරැදි මඟට ප්‍රවේශව අර්හත්වය සාක්‍ෂාත් කර ගැනීමට පවා භාග්‍යවන්ත විය.

හෘද සාක්‍ෂිය පවා ඉගැන්විය හැකි යෑයි මනෝවිද්‍යාවේ සඳහන්ය. මින් පැහැදිලි වනුයේ සදාචාරාත්මක ක්‍රියා ඉගැන්විය හැකි බවයි. සමහරු තර්ක කරනුයේ සදාචාරය ඉගැන්විය නොහැකි දෙයක්‌ බවයි. මොවුන්ගේ අදහස මිනිසුන් සදාචාරය පිළිගනු ලබන්නේ සමාජ පරිසරය ඇසුරින් බවයි. සමාජ සම්මත හා සමාජය විසින් විවිධ ක්‍රියාවන්ට ලබාදෙන ධනාත්මක උපස්‌ථම්භන නිසා පුද්ගලයන් සදාචාරාත්මක ක්‍රියා යහපත් බව පිළිගැනීමට පෙළැඹෙන බව මොවුහු දක්‌වති. එක්‌ අංශයකින් මේ පිළිගැනීමේ ද එතරම් දෝෂයක්‌ නැත. නමුදු ඇතැම් අය සමාජ සම්මත වූ නරක ක්‍රියා වෙනුවට සමාජ අසම්මත වූ හොඳ ක්‍රියාවන්ට පෙළැඹෙන බව ද පෙනේ. මෙසේ වීමට සමාජ උපස්‌ථම්භනවලට වඩා වෙනස්‌ වූ යම් දෙයක්‌ තිබිය යුතු බව චර්යාවාදීන්ට වෙනස්‌ව යන්නන්ගේ ආකල්පයයි.

හෘද සාක්‍ෂිය හා ලක්‍ෂණ ප්‍රතිග්‍රහණය

හෘද සාක්‍ෂිය පිළිබඳ ආකල්ප කුඩා දරුවකුට ඇති වනුයේ ඉතා කුඩා කල පටන් ලබන යම් යම් සමාජ සම්මත නිසාය. මේ සම්මත තමා ඇතුළත සදාචාරය බවට දරුවා පත් කර ගනු ලබයි. පසුව වයසින් වැඩීමේදී එය ආකල්ප බවට පරිවර්තනය වේ. පසුව එය ඔහුගේ පෞරුෂය බවට පත්වේ. මේ නිසා අධ්‍යාපන මනෝ විද්‍යාවේදී හෘද සාක්‍ෂිය පවා සකස්‌ වනුයේ කුඩා කල සිට ලබන ඉගෙනීම ඇසුරෙන් බව පිළිගැනේ. මෙය හෘද සාක්‍ෂිය ඉගැන්වීම යන නමින් හැඳින්වේ. එය කුඩා කල පටන්ම දරුවකු ලබන ස්‌වීයත්වය පිළිබඳ ආකල්ප පුහුණුවට අයත්ය. සමහර අය හරිදේ යෑයි සිතා වැරැදි දේ කරන බව මේ අනුව පෙනේ. යමෙකුට හරි වැරැද්ද පෙන්වා දෙනුයේ පුද්ගලයා තුළ ඇති හෘද සාක්‍ෂිය මගිනි. නමුදු ඇතැම් අය හරිදේ යෑයි කියා සිදුකරනුයේ කලක පටන් ස්‌වීය හෘද සාක්‍ෂිය සකස්‌වී තිබුණු පිළිවෙළට අනුවය. මේ අනුව හෘද සාක්‍ෂිය සකස්‌වීමේදී පවා වැරැදි දේ හරිදේ ලෙස වරදවා පිළිගැනෙන පරිදි එය වර්ධනය විය හැකි බව වටහා ගැනීම වැදගත්ය. බොහෝ විට කුඩා දරුවකු වැරැදි දෙයක්‌ කරන විට තරවටු කිරීමට වඩා එය වරදක්‌ බව ඒ දරුවාට හොඳින් වටහාදීම වඩා ප්‍රතිඵලදායක වනුයේ මේ නිසාය.

සමාජ විරෝධී අදහස්‌ හා ආකල්ප සහිත විවිධ පුද්ගලයන් බිහිවීමට ජීවිතයේ එක්‌ කලකදී ලැබූ වැරැදි ආකල්ප හා චර්යා පුහුණුවක්‌ ඉවහල් විය හැක. පුනරුත්ථාපනය මගින් සිදු කරනුයේ මේ අයුරින් වැරැදි ඉගෙනුමක්‌ ලැබූ අයගේ එකී අයහපත් ආකල්ප හා චර්යා සමාජ සම්මත ආකල්ප හා චර්යා බවට පරිවර්තනය කිරීමකි. අයහපත් චර්යා හා ආකල්ප නිසා කෙනකු නරක යෑයි සම්මත පුද්ගලයකු බවටත්, යහපත් චර්යා හා ආකල්ප නිසා කෙනකු හොඳ යෑයි සම්මත පුද්ගලයකු බවටත් පත්වේ. මේ හොඳ බව හා නරක බව නම් ඒ යුගයට සාපේක්‍ෂව පවත්නා සමාජ පිළිගැනීමයි. මේ හේතුව නිසා ඉගෙනීම, සංජානනය හා සමාජ සම්මතය නිසා පුද්ගලයකු හොඳ හෝ නරක බවට පත්වන බව පැහැදිලිය. කෙනකු උපතින් හොඳ හෝ නරක අයෙකු නොවේ.

කුඩා කල පටන් ලබන ඉගෙනුම හා ජීවත් වන පරිසරය ආදී සාධක නිසා පුද්ගලයා හොඳ හෝ නරක බවට සලකනු ලබයි. මේ නිසා හොඳ පුද්ගලයකු නරක පුද්ගලයකුගෙන් වෙන්කර ගන්නා මිම්ම ඒ පුද්ගලයා ලැබූ ඉගෙනීම, සංජානනය හා සමාජ පරිසරය බව පෙනේ. මේ නිසා මෙබඳු සෘණාත්මක සාධක වෙනස්‌ කිරීම මගින් නරක හෝ අයහපත් යෑයි සම්මත අය වෙනස්‌ කළ හැකි යෑයි පිළිගැනේ. මේවා ඕනෑම අයකු නරක පුද්ගලයකු බවට පරිවර්තනය කිරීමට ඒකාන්ත ලෙස අදාළ වන්නේ යෑයි පැවසීමට අපහසුය. ඇතැම්විටකදී සෘණාත්මක අභිප්‍රේරණ ලැබීම නිසා ඒවා ජීවිත අත්දැකීම් බවට පත් කරගෙන එ මඟින් හොඳ පුද්ගලයකු බවටද පත්විය හැක. එය පුද්ගලයකුගේ පෞරුෂත්වය මත තීරණය වන කරුණකි. මේ හේතුව නිසා ඉගෙනීමේදී පුද්ගල පෞරුෂය සංවර්ධනය කිරීමටද මූලිකත්වය ලබාදේ. ශක්‌තිමත් පෞරුෂයක්‌ හිමි තැනැත්තාට බාහිර පරිසර සාධකය එතරම් අදාළ නැත. සමාජ ඇසුරින් ලබන අත්දැකීම් හොඳ වුවද, නරක වුවද, මානසික පෞරුෂය තුළින් ප්‍රේරණය කර ගැනීම නිසා නරක යෑයි සම්මත අත්දැකීම්වලින් පවා හොඳ දේවල් වෙන් කර ගැනීමට හැක.

ඉගෙනීමේදී ඉගෙන ගනු දෙය සමග පවත්නා යම් යම් ලක්‍ෂණය ද ප්‍රතිග්‍රහණය කරනු ලැබේ. මෙය පසුකලකදී ඉගෙනීම තුළින් ලැබූ අනුභූතියක්‌ බවට පත්කර ගනී. මෙහිදී ප්‍රතිජානන ලක්‍ෂණ මෙන්ම ප්‍රතිශේධන ලක්‍ෂණ ද ග්‍රහණය කර ගනී. මෙය සෘජු ඉගෙනීමක්‌ නොවේ. ඉගෙනීම සමග ඒ සමග බැඳී පවතින යම් යම් සංජානන ලක්‍ෂණ අදාළ ඉගෙනීමේම කොටසකැයි උපකල්පනය කිරීම මෙයට හේතුවයි. මේ නිසා ඇතැම් විට ප්‍රතිජානන ඉගෙනීමක්‌ සමග සෘණාත්මක ලක්‍ෂණ ද, ප්‍රතිsශේධන ඉගෙනීමක්‌ සමඟ ධනාත්මක ලක්‍ෂණ ද සංජානනය වේ. කෙසේ වුවද මෙය සංජානනය සමඟ සම්බන්ධ වී පවතී. නිදසුනක්‌ වශයෙන් කුඩා කාලයේදී උඩු රැවුල සහිත වැඩිහිටි පිරිමියකු අතින් දූෂණයට ලක්‌ වූ කුඩා ගැහැනු දරුවකු වැඩිහිටි වියට පත් වීමේදී උඩු රැවුල සහිත සියලුම පිරිමි නරක ස්‌ත්‍රී දූෂකයන් බවට තීරණයක්‌ යටි සිතේ ඇතිවිය හැක. ඊට හේතු වූයේ කුඩා කල ලැබූ උඩු රැවුල සහිත වැඩිහිටි පිරිමියකු වෙතින් ලැබූ අමිහිරි අත්දැකීමයි. මීට වඩා වෙනස්‌ ආකාරයේ වූ ඉගෙනීමක්‌ද ලැබිය හැක. අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අපේ ඥති හිතමිත්‍රාදීන්ගෙන් සමන්විත අපේ සමාජ වටපිටාවෙන් අපේ ජීවිතවලට හිමිවන බොහෝ දෑ අතරින් “ආකල්ප” විශේෂයි.

අප ළදරුවන් කාලෙ සිට අපට බැහැරින් එකතු වන ආකල්ප අප සමඟම වැඩෙනවා. කාලයත් සමග අපටම අනන්‍ය වූ ආකල්ප රාශියක්‌ ජීවිතයට බද්ධ වෙනවා. අපට නොදැනීම මේ “ආකල්ප” මගින් අපේ ජීවිත පාලනය කරනවා. ඒ නිසාම ආකල්පමය රාමුවක්‌ තුළ අපේ ජීවිතය සිරවෙනවා. ඒ අතරින් සමහර ආකල්ප මගින් ජීවිතය මන්දගාමී බවට පත් කරනවා. නමුත් ධනාත්මක, ශුභවාදී ආකල්ප ජීවිතය ජය ටැඹ කරා රැගෙන යනවා.

“ජීවිතය දිනන්න” මොන තරම් ඕනෑකමක්‌ ඔබ තුළ තිබුණත්, සමහර අශුභවාදී ආකල්ප ඔබට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ.

“මේ තමයි මම ලබා උපන් හැටි”, “කරුමය තමයි උරුමය”, “ඉන්න ටික කාලෙට ඔය තරම් දේ මොකටද?”, “වාසනාව නැතිනම් කිසි දෙයක්‌ හරියන්නේ නැහැ”

මේ වගේ පරාජිත ආකල්ප නිසා ඔබ සිටින තැනින් අඩියක්‌වත් ඉදිරියට යන්නට ඔබට බැහැ. ඔබගෙ “දෛවය” පාලනය කරන්නෙ ඔබ තුළ කි¹ බැසගත් එවැනි ආකල්ප. ඔබ තුළ ඇති තවත් සමහර ආකල්පවලට තිබෙන්නේ අසීමාන්තික බවක්‌.

“කනවනම් ඇතිවෙන්න කන්න ඕනේ”, “සල්ලි කොපමණ තිබුණත් මදි”

මේ වගේ ආකල්ප තිබුණොත් ඔබ කොතරම් ඉදිරියට ගියත්, මොන තරම් දෙ අත්පත් කර ගත්තත් ඔබට සෑහීමක්‌ නෑ. මොන තරම් ජයග්‍රහණයක්‌ ලබාදී වුණත් සෑහීමක්‌ නෑ. මොන ජයග්‍රහණයක්‌ ළඟඳී වුණත් ඔබ ඉන්නේ අතෘප්තියෙන්, අසතුටින්. ජීවිතය දිනනවා කියන්නේ මුදල්වලින් ආඩ්‍ය වීම පමණක්‌ නොවෙයි. සතුට, ආදරය, සැනසිල්ල, නිරෝගිකම මේ සෑම දෙයක්‌ම ජයග්‍රාහී ජීවිතයකට අයිති දේවල්. මොනතරම් ධනවත් බවක්‌ තිබුණත්, ආකල්පවලින් ඔබ දුගී නම් ඔබ අසාර්ථකයි. ඒ නිසා ලද දෙයින් සතුටු විය හැකි ආකල්ප ඔබ ඇති කරගත යුතුමයි. එහෙම නොවුණොත් ජීවිත කාලය පුරාවටම ඔබ වෙහෙස මහන්සි වේවි. ඒත් ඔබට ඉතිරි වන්නේ වෙහෙසක්‌ම පමණයි.

ජයග්‍රාහී ජීවිතයක්‌ පතන ඔබ ඔබේ පරාජිත ආකල්ප ජයග්‍රාහී ආකල්ප බවට පත් කරගත යුතුයි. ඔබේ අතෘප්තිමත් ආකල්ප තෘප්තිමත් ආකල්ප බවට පත් කර ගත යුතුයි. නිතරම නැහැ – බැහැ කියන සෘණාත්මක ආකල්ප වෙනුවට “ඔව් මට පුළුවන් මට ශක්‌තිය තිබෙනවා” වැනි ධනාත්මක ආකල්ප ඇති කර ගත යුතුයි. හුදු ආකල්ප වෙනස්‌ කරගත් පමණින්ම ජීවිතය වෙනස්‌ කරගත් මිනිසුන් ගැන ඕනෑ තරම් සාක්‍ෂි අතීතයෙන් වගේම, වර්තමානයෙන් ද සොයාගත හැකියි.

මිනිසාට කිසි දිනක ඉගිලෙන්නට බැහැයි ආකල්පයක්‌ තිබූ යුගයක රයිට්‌ සොහොයුරන් “ගුවන් යානය” නිර්මාණය කළේ ඔවුන් තුළ වූ ආකල්පමය වෙනස නිසාමයි. “හෙන්රි ෆොඩ් මහතා පළමු “ෆොඩ්” රථය නිර්මාණය කරන විට ඔහු වටා සිටියවුන්ගේ ආකල්පය වූයේ සතුන්ගේ උදව් නොමැතිව කිසිදින රථය පදවාගෙන යා නොහැකි බවයි. ලෝකය මවිත කළ ශේ්‍රෂ්ඨ නිර්මාණයන්ගේ හිමිකරුවන්, නව ආකල්ප නිර්මාණකරුවන් වූ නිසාමයි. ලොව දිනූ නිර්මාණ බිහි කළේ.

ඔබේ බාහිර පෙනුමට, ඔබේ පෝෂණ රටාවට, ඔබේ රැකියාවේ ස්‌වභාවයට පවා ආකල්ප දැඩි බලපෑමක්‌ ඇති කරනවා.

කාලයක්‌ තිස්‌සේ මුල් බැසගත් ආකල්ප එක්‌වරම වෙනස්‌ කරන්නට බැහැ. ඒත් දැඩි උවමනාවෙන් කැපවීමෙන් ක්‍රියා කළොත් පැරැණි සෘණාත්මක ආකල්පවලින් මිදී නව ධනාත්මක සුබවාදී ආකල්ප ඇති කරගන්නට පුළුවනි. ඒ සඳහා අවැසි පොතපත කියෑවීමෙන්, සරුසාර මතයක්‌ ඇති නිවැරැදි කතා බහ ඇති මිනිසුන් ඇසුරු කිරීමෙන් ආකල්ප වෙනස්‌ කරගන්නට පුළුවනි.

“ජීවිතය” වෙනස්‌ කරන්නට පළමුව ඔබේ ආකල්ප වෙනස්‌ කළ යුතුයි. මන්ද ඔබේ ආකල්ප ඔබේ ජීවිතය බවට පත් වන බැවිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ආකල්ප&oldid=489528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි