අභයගිරි විහාරය යනු ලක්දිව (වත්මන් ශ්‍රී ලංකාවේ) අනුරාධපුරයේ පිහිටා තිබූ මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදුදහමේ ප්‍රධාන ආරාම සහ අධ්‍යාපන භූමියකි. වර්ථමානයේ එය ලෝකයේ වඩාත්ම පුළුල් නටබුන් වලින් එකක් වන අතර ජාතියේ වඩාත්ම පූජනීය බෞද්ධ වන්දනා නගරවලින් එකකි. ඓතිහාසික වශයෙන්, එය විශිෂ්ට ආරාම මධ්‍යස්ථානයක් මෙන්ම, රන්වන් පැහැයෙන් යුත් ලෝකඩ හෝ පිළිස්සුණු මැටි උළු වලින් සෙවිලි කරන ලද විශිෂ්ට ආරාම සහිත රාජකීය අගනුවරකි. නගරයට උතුරින්, විශාල ප්‍රාකාරවලින් වට වූ සහ විස්තීර්ණ නාන පොකුණු, කැටයම් කළ බැලුම් සහ සඳකඩ පහණ් අඩංගු "අභයගිරි" පිහිටා ඇත. එය අනුරාධපුරයේ එවැනි ආගමික ඒකක දාහතකින් එකක් වන අතර එහි ප්‍රධාන විහාර පහෙන් විශාලතම වේ. සංකීර්ණයේ එක් කේන්ද්‍රස්ථානයක් වන්නේ පැරණි ස්තූපයක් වන අභයගිරි දාගැබයි. අභයගිරි විහාරය උතුරු ආරාමයේ හෝ උත්තර විහාරයේ ආසනයක් වූ අතර දිවයිනේ දළදා වහන්සේගේ මුල් භාරකරු විය.

අනුරාධපුරයේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරි දාගැබ (ස්ථූපය)
සමාධි බුදු පිළිමය, කුට්ටම් පොකුණ (නිවුන් පොකුණ) සහ සඳකඩපහණ සහිත අභයගිරිය ආරාම භූමිය

"අභයගිරි විහාරය" යන්නෙන් අදහස් කරන්නේ සංඝාවාස ගොඩනැගිලි සංකීර්ණය පමණක් නොව, තමන්ගේම ඓතිහාසික වාර්තා, සම්ප්‍රදායන් සහ ජීවන රටාව පවත්වාගෙන ගිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ (සංඝයක්) සහෝදරත්වයයි. එය ක්‍රි.පූ. 2 වැනි සියවසේදී පිහිටුවන ලදී. එය ක්‍රිස්තු වර්ෂ පළවන සියවස වන විට ජාත්‍යන්තර ආයතනයක් දක්වා වර්ධනය වී ඇති අතර, ලොව පුරා විද්වතුන් ආකර්ෂණය කර ගනිමින් මෙහි බෞද්ධ දර්ශනයේ සියලු සෙවනැලි ඇතුළත් විය. එහි බලපෑම ලෝකයේ වෙනත් ප්‍රදේශවල, වෙනත් තැන්වල පිහිටුවා ඇති ශාඛා හරහා සොයාගත හැකිය. මේ අනුව, අභයගිරි විහාරය පුරාණ ශ්‍රී ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයේ මහාවිහාරය සහ ජේතවන බෞද්ධ ආරාම නිකාය දෙස බලන විට විශිෂ්ට ආයතනයක් ලෙස වර්ධනය විය.

ඉතිහාසය

සංස්කරණය

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකා‍රාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.

අභයගිරි විහාරයේ අංග

සංස්කරණය

වන්දනීය ස්ථාන

සංස්කරණය

අභයගිරි දාගැබ

සංස්කරණය
 
අභයගිරි ස්තූපය

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්බා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති. පසු කාලීන ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.

අභයගිරියේ කුඩා දාගැබ්

සංස්කරණය

අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත. ජනවහරේ ඉඳිකටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි. මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය. ඇත් පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත. ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.

බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය

සංස්කරණය

මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි. ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත. පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ. මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ. පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත. නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.

භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන

සංස්කරණය

රත්න ප්‍රසාදය

සංස්කරණය

මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි. මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ. දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ. මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ. එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.

ඇත් පොකුණ

සංස්කරණය

භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත. දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි. ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ. වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය. ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත. දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.

කුට්ටම් පොකුණ

සංස්කරණය
 
කුට්ට්ම්පොකුණ

යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ. අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි. පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.

සුදස්සන පඨානඝරය

සංස්කරණය

පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.

සුවිශේෂී කලා නිරිමාණ

සංස්කරණය

අභයගිරි සඳකඩපහණ

සංස්කරණය
 
සඳකඩපහණ

අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය. මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි. මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත. පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.

  • පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
  • සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ
  • ලියවැල-තෘෂ්ණාව
  • හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව
  • පද්මය-නුවණ

මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.

අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය

සංස්කරණය
 
Bronze statue of Avalokiteśvara Bodhisattva. Sri Lanka, ca. ක්‍රි.ව. 750

මුලාශ්‍ර

සංස්කරණය
  • මහාචාර්ය කුලතුංග ටී.ජී. ,(2003), "අටමස්ථානය හා වෙනත් පැරණි ස්ථාන", තරංජි ප්‍රින්ට්ස්, මහරගම.

මේවාද බලන්න

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අභයගිරි_විහාරය&oldid=681675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි