WT:Articles for creation/දකුණු ඉන්දියාවේ සංගම් සාහිත්‍ය

== දකුණු ඉන්දියාවේ සංගම් සාහිත්‍ය ==


සංගම් සාහිත්‍ය සම්බන්ධයෙන් විමසා බලන විට සංගම් යනු සංස්කෘත භාෂාවෙන් දෙමළ භාෂාවට පැමිණි වචනයකි. සංගම් යනු එකමුතු කම, සමාගම, සංගමය,රැස්වීම, විද්වද් පර්ෂදය යන අර්ථ ‍ගෙන දේ. මේ සංගම් සාහිත්‍ය, බිහිවුණේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේය. මේ සම්මේලනය දකුණේ කවීන්ගේ ඒකරාශී වීමකින් පැවති අතර එහිදී ඔවුන් සාකච්ඡා කළ දේවල් පොතක් ලෙස සකස් කිරීම නිසා සංගම් සාහිත්‍ය බිහිවිය. මේ සංගම් සාහිත්‍ය දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රාරම්භක අවධිය වේ. මේ සංගම් සාහිත්‍ය ඇතිවූ කාල වකවානුව සංගම් යුගය ලෙස හැදින්වේ. සංගම් යුගය සම්බන්ධයෙන් මත කිහිපයක් පවතී. ක්‍රි.පූ. 3වන සියවසේ සිට ක්‍රි.ව. 2වන සියවස දක්වා කාලය සංගම් යුගය ලෙස ඇතැම් විද්වතුන් විස්වාස කරන ලදි.

තවත් මතයක් මේ සම්බන්ධව පවතී. ක්‍රි.ව 2 සිට ක්‍රි.ව. 3 දක්වා යනුවෙන් මේ මතය තිබේ. මේ මත දෙකෙන් නිවැරදි මතය ක්‍රි.පූ. 3වන සියවස සිට ක්‍රි .පූ 2වන සියවස දක්වා කාලයයි. දකුණේ තිබූ කේරළ , චෝළ හා පාණ්ඩ්‍ය යන රාජ්‍ය තුනේ පාලකයන් අතරින් පාණ්ඩ්‍ය රාජ්‍යයේ රජතුමා විසින් සාහිත්‍ය සංගම් තුනක් පැවැත්විය. මේ සංගම් තුන සම්බන්ධයෙන් විමසා බලන විට පළවන සංගමයේ රචනා කරන ලද පොත වූයේ අගස්තියම් කෘතිය වේ. එහි කතෘවරයා වූයේ අගස්ති ඍෂිවරයායි. අගස්තියම් ග්රනන්ථය ව්‍යාකරණ /ග්‍රන්ථයක් වේ.

පළවෙනි සංගමයෙන් පසු දෙවැනි සංගමය පිහිටවීය. දෙවැනි සංගමය පිහිටුවීමෙන් බිහිවුණු කෘතිය වූයේ තෝල්කාප්පියම් කෘතිය වේ. මෙහි කතුවරයා වූයේ තෝල්කාප්පියර් නැමැත්තායි. මේ ග්‍රන්ථයෙහි සූත්‍ර 1500කට වැඩියෙන් ඇත. දෙමළ සාහිත්‍යයේ කාව්‍ය සම්ප්‍රදායන් දෙකකට අනුව මෙම කෘතිය රචනා වී තිබේ. මේ සම්ප්‍රදායන් දෙක වූයේ මිනිස් ජීවිතේ අභ්‍යන්තර තත්වය සහ බාහිර ක්‍රියාකලාපයයි. මේ මිනිස් ජීවිතයේ අභ්‍යන්තර තත්වය ගැන සාකච්ඡා කිරීමේදී දකුණේ භූ විෂමතාවට අනුව කරුණු ගොනුකර තිබේ. එනම් කදුකර ප්‍රදේශ අනුව, වනගත ප්‍රදේශ අනුව, කෘෂිකාර්මික ප්‍රදේශ,මුහුදුබඩ ප්‍රදේශ, වියළි ප්‍රදේශ අනුව මෙය රචනා වී තිබේ. මේ කරුණුවල තේමාවන් වී ඇත්තේ මිනිස් ජීවිතයේ තිබෙන අභ්‍යන්තර ස්වභාවය පෙන්නුම් කිරීමයි. ආදරය , ප්‍රේමය, දුක, සතුට පිළිබදව සඳහන් වේ. උදාහරණ ලෙස කෘෂිකාර්මික ප්‍රදේශවල කරුණු සඳහන් කරන විට සැමියා සහ බිරිඳ දුක් මහන්සි වී වගා කටයුතු කරන අතර ඒ අවස්ථාවලදී දෙදෙනා අතර තිබෙන හැඟීම් පෙන්නුම් කිරීමයි. වනගත ප්‍රදේශ සඳහන් කරන විට ඔවුන් තුළ දරාගැනීමේ ශක්තිය කොතෙක් දුරට තිබුණා දැයි පෙන්නුම් කිරීමයි. ඒවාගේම මේ තොරතුරුවලින් ඔවුන්ගේ ජීවනෝපාය රටාවල් අතර දඩයම, කෘෂිකර්මාන්තය, ආදිය සඳහන් වන අතර පැණි එකතු කිරීම වැනි ආර්ථික රටාවක් මේ ප්‍රදේශ තුළ පැවතුණි.ඒ වගේම ඍතු පිළිබඳවත් කියැවේ. උණුසුම් කාල සීත කාලවල ඔවුන් වැඩකළ ආකාරය දවසේ වැඩ අවසන් කර ඔවුන් ඉන්පසු කාලය ගෙවන ආකාරය ස්නානය කරන අයුරු ජල අවශ්‍යතාවය සපුරාගත් ආකාරය දිය ඇළි උල්පත් පොකුණු පිළිබඳව තොරතුරු සඳහන් වේ. විනෝදාංශ හැටියට නාට්‍ය සංගීත පවත්වා තිබේ.ආගම සම්බන්ධයෙන් මුරුගන් දෙවියන් ඇදහීම එකළ ප්‍රධාන වන්දනය වී තිබේ.

දකුණේ ඉතිහාසය හැදෑරීමේදී තෝල්කාප්පියම් තුළ අන්තර්ගත වුණු අනික් කරුණ වූයේ මිනිස් ජීවිතයේ බාහිර පැත්තයි. එහිදී ප්‍රධාන අරමුණ වූයේ යුද්ධය, ජයග්‍රහණය, වීර ක්‍රියා ,පරිත්‍යාගශීලීබව, ශ්‍රේෂ්ඨත්වය වැනි කරුණු ගෙනහැර දක්වනු ලැබේ. දකුණේ දේශපාලනය පිළිබඳවද මෙහිදී අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නිරන්තරයෙන්ම ගෝත්‍ර අතර සටන් පැවතුණි. එම සටන් මේ පොතේ සංග්‍රාම යනුවෙන් සඳහන් වේ.සංග්‍රාමයන් ඇති වීමට හේතුවූයේ මොනවාද යන කාරණයන් ද සඳහන් වේ. ගෝත්‍ර දෙකක් අතර බලවත් වීම බොහෝදුරට මේ යුද්ධයට හේතු විය. බලවත් ගොත්‍රයේ නායකයාගේ අනු දැනුම මත අනෙක් පිලේ ගවයන් පැහැරගන්නා ලදි. එය යුද්ධයේ ආරම්භය සලකුණු කිරීමයි. එහි තවත් සංඛේතයක් වූයේ යුද්ධ භටයන් මල් පැලද සිටීමයි. මේ යුද්ධය ආරම්භ වීමෙන් පසු දෙපස කඳවුරු බැදගෙන මුහුණට මුහුණලා සටන් ගෙන යන ලදී. යුද්ධය පවතින අවස්ථා වලදී කඳවුරු අභ්‍යන්තරයේ පවතින ස්වභාවය මේ කෘතිය තුළින් දැනුවත් කෙරේ. ගෝත්‍ර නායකයන්ද බලකොටුව තුළ සිටී. ඔහුගේ ආරක්ෂාවට තවත් පිරිසක් බලකොටුව තුළ සිටී. මේ අවස්ථාවේ දී යුද්ධයේ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබුණු කණ්ඩායම එම ජයග්‍රහණය සැමරීම සිදුකරන්නේ පරාජයට පත්වුණු පාලකයාගේ ඔටුන්න හා සලඹ වැනි දෑ ලබා ගැනීමෙන්ය. යටත් වුණු පුද්ගලයා ඒවා ජයගත් පුද්ගලයාට ලබාදිය යුතුය. මෙවැනි යුද්ධ පිළිබඳව තෝල්කාප්පියම් කෘතියේ විස්තර සදහන් වේ.

සංගම් සාහිත්‍යයේ තුන්වන සංගමයෙන් බිහිවූ ග්‍රන්ථ දෙකක් පවතී. එනම්, එත්තුත්තෝකෛ හා පට්තුප්පාට්ටුප්. මෙහි පළවන කෘතිය සකස් වී තිබෙන්නේ කාණ්ඩ 8 එකතුවකිනි. දෙවැන්න කාණ්ඩ 10කින් සමන්විත වේ. මේ ග්‍රන්ථයන්ගේ තේමාව ගත්විට සෑම එකකම පාහේ කියැවෙන්නේ ප්‍රේමය සහ ශෝකය පිළිබඳවයි. එත්තුත්තෝකෛ කෘතියේ එක් කාණ්ඩයක කතාව ගෙතී තිබෙන්නේ දියණියක් තරුණ වියට එළිඹි පසු දුගී තරුණයෙකු හා විවාහ වීමයි. එහිදී මෙම දියණිය අප්‍රමාණ දුක් විදී. ඒ දුක් දරාගනිමින් ධෛර්ය ඇතිව ජීවිතයට මුහුණ දීමට ඇය ක්‍රියා කරන ලදි. ඇගේ මේ ක්‍රියාකලාපය දකින මව පුදුමයට පත්වේ. ඇය ඒ නිසා දියණියගේ කුඩා අවධිය සහ දැන් තත්වය සන්සන්දනාත්මකව සිතයි. මේ කතාව එම ග්‍රන්ථයේ තේමාව වී තිබේ. එවැනි තේමා හැම කාණ්ඩයකම දක්නට ලැබේ. තවත් එවැනි කාණ්ඩයක ස්වභාදහම දේවත්වයට නගා ඇත. ඒ වගේම යුද්ධය පිළිබඳවද මෙම කෘතිවල සඳහන් වේ. පට්තුප්පාට්ටුප් ග්‍රන්ථයේ වැදගත්කම වන්නේ දකු‍ණේ පාලකයන් පිළිබඳව විස්තර ලැබෙන්නේ මෙම ග්‍රන්ථයෙනි. මුරුගන් දෙවියන් පිළිබඳව, දුගීබව පිළිබඳව, සෞන්දර්ය, ප්‍රේයමය, රණ බිමට ගිය සෙබළුන් පිළිබඳව, සෙබළුන්ගේ බිරින්දෑවරුන් ගැන සඳහන් වේ. සමස්තයක් ලෙස මෙම සංගම් සාහිත්‍යයේ තොරතුරු ගොනු කිරීමේදී දේශපාලනික, ආගමික. ආර්ථික අවබෝධයක් ලබාගැනීමට හැකිවේ.

දේශපාලන පසුබිම පිළිබඳව අවධානය යොමුකරන විට රාජ්‍යත්වයේ සම්ප්‍රදාය පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකියාව ලැබේ. රාජ්‍යත්වය හිමි වුණේ උරුමය මතයි. යුද්ධයේ නායකයා රජතුමායි. ඔහු සමාජයේද ප්‍රමුඛයා විය. රජුට ඒකාධිපති බලයක් තිබුණත් එම බලය සීමා කිරීමට සමාජයේ සම්මත ක්‍රමයක් පැවතුණි. සීමාකිරීමේ දී පඬිවරු, ඇමතිවරු, කවීන්, මිතුරන් මඟින් ඒකාධිපතීත්වය සීමා කරන ලදි. රජු ඒකාධිපතියෙකු වුවත් පාරම්පරික සිරිත්විරිත් වලින් ඔහුගේ බලය සීමා විය. රටවැසියන් රජුට පක්ෂපාතීව ජීවත් විය. ඒ නිසා රජු ඔහුගේ පෞද්ගලික ජීවිතය උසස් ගුණාංගයන්ගෙන් සකස්කරගත යුතුයැයි යන වගකීමට අනුව නිතරම ක්‍රියා කරන ලදි. හොඳින් රට පාලනය කිරීම සඳහා රජු තමාගේ පෞද්ගලික හැඟීම්වලට මුල්තැනක් නොදී රටවැසියාගේ යහපත සඳහා මුල්තැනක් දිය යුතුය යන අවබෝධය කවීන් විසින් මේ ග්‍රන්ථ තුළින් ප්‍රකාශ කරන ලදි. රජු පිළිබඳව සංගම් සාහිත්‍යයේ දැක්වෙන එක් අදහසක් වූයේ රජතුමා ලුණු පුරවාගත් කරත්තයක් වෙරළේ සිට කඳුකරයට ඇදගෙන යන ගොනෙකුට සමාන කරන ලදී. මේ ප්‍රකාශය තුළින් රජකු සතු වගකීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන. රජුගේ උපදේශකයා වූයේ බ්‍රාහ්මණයෙකි. ඒ නිසා බ්‍රාහ්මණයන්ට සමාජයේ ඉහළ තැනක් හිමි විය. ඔහුට හිංසා කිරීමෙන් වැසියා වැළකී සිටින ලදි. නඩු විසඳීම සඳහා සභාවක් තිබුණි. ඒ සභාව හැඳින්වූයේ මන්රම් ලෙසිනි. මේ සභාවේ විනිශ්චයකාර මඩුල්ලක් රජුගේ සහයට සිටියේය. බොහෝදුරට මෙම සභාව එක්රැස්වූයේ ගමේ පැවති විශාල ගස් සෙවනකය. ගොවිතැන පිළිබඳව බොහෝ නඩු රජවරුන්ට විසඳීමට තිබුණි. රාජ්‍ය සීමාවේ ආරක්ෂාව පිළිබඳ වගකීමද රජට පැවරුණි. සෑම පාලකයෙක්ම යුධ සේනාවක් තබාගෙන සිටියේය. එනම්, ඇත් අස් රිය පාබල යන චතුරංගනී සේනාවන්ගෙන් සමන්විත විය. ඔවුන් භාවිත කළ ආයුධ ලෙස කඩුව, දුන්න, හෙල්ල, ඊතල ප්‍රධාන විය. රාජ කකුධ භාණ්ඩ අතර ප්‍රධාන සංඛේතය වූයේ බෙරයයි. රජුගේ වගකීම වූයේ මෙම බෙරය ආරක්ෂා කිරීමයි. මෙයට පූජා පවත්වා ඇත. මේ කාලයේ පැවති යුද්ධ ගෝත්‍රික සටන් වේ. ප්‍රධාන රාජ්‍යයන් තුනක් පිළිබඳව සංගම් සාහිත්‍යයේ සඳහන් වේ. ඒ රාජ්‍ය තුන වුයේ චේර, පාණ්ඩ්‍ය, චෝළ යන රාජ්‍යයන්ය.

මේ චේර රාජ්‍යයේ පාලකයන් පිළිබඳව සඳහන් වේ.එම පාලකයන් අතර ප්‍රසිද්ධ පාලකයන් කිහිප දෙනෙක් සිටිති. උටියන්ජරල් සහ ඔහුගේ පුතා නෙඩුන්ජරල් ය. මොහු වෙළදාමේ දක්ෂ පාලකයෙක් හැටියට සඳහන් වෙයි. මොහු මලබාර් වෙරළේදී මුහුදු සටන් කර ඔටුනු පළන් රජවරු 7 දෙනෙකු පරාජයට පත් කරන ලදී. එමෙන්ම මොහු හිමාලයේ චේර ලාංඡනය පිහිටවූ පාලකයා ලෙස හැඳින්වේ. ඔහුගේ පුත් ඇතුන් හිමි තුට්ටුවන් ලෙස හැඳින්වේ. පියා මෙන්ම දක්ෂ රණශූර පාලකයෙක් හැටියට මොහුව හැඳින්වේ. බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වා චේර බලය ව්‍යාප්ත කළ පාලකයා ලෙස සඳහන්වේ.

පාණ්ඩ්‍ය දේශයේ සිටි පාලකයන් පිළිබඳවද සංගම් සාහිත්යෙයේ සඳහන් වේ. පාණ්ඩ්‍ය දේශයේ වැදගත් පාලකයෙක් ලෙස තොණ්ඩෛමාන් හැඳින්වේ. ඔහු සංගම් සාහිත්‍යයේ රචිත කවියෙක් ද වූයේය. රජු රචනා කරන ලද එක් කවියක සතුටු දායකයන් බිහිකිරීමෙහිලා රජතුමාගේ පෞද්ගලික චරිතය වැදගත් වන බව සඳහන් කර තිබේ. තවත් පාණ්ඩ්‍ය පාලකයෙක් වූයේ නෙඩියොන් ය. ඔහු දක්ෂ පාණ්ඩ්‍ය පාලකයෙක් ලෙස හැඳින්වේ. ඔහුගෙන් පසු තවත් ශක්තිමත් පාලකයෙකු ලෙස සඳහන් වන්නේ මුදුකූඩම් යන පාලකයාය. චෝළ දේශය සම්බන්ධයෙන් සඳහන් කරන විට වැදගත් පාලකයෙක් වන කරිකාලචෝළ පිළිබඳව වැදගත් තොරතුරු ගණනාවක්ම පට්තුප්පාට්ටුප් ග්‍රන්ථයේ රචනා වී තිබේ. ඔහුගේ පියා නිර්භීත පුද්ගලයෙකු ලෙස සඳහන් වේ. ඔහු සුළඟ පවා අවනත කර ගනිමින් මහ සමුද්‍රයේ නැව් යාත්‍රා කරවූ රජ කෙනෙකුගේ පරපුරකින් පැවත එන්නකු ලෙස සඳහන්වේ. කරිකාලචෝළ ක්‍රි.ව. 2වන සියවසේ පමණ ජීවත් වූ බව මේ මූලාශ්‍රවලට අනුව නිගමනය කළ හැකිය. කරිකාල යනු පිළිස්සුණු කකුලක් ඇති තැනැත්තා යන්නයි. කුඩා අවධියේදී ගින්නකට හසු වී මෙම අනතුර ඔහුට සිදුවී ඇත. ‍කරිකාලචෝළ කුඩා අවධියේදීම පාලකයෙක් බවට පත්විය. ඒකාලයේදී ඔහුට රජකම අහිමි වී සිර ගතව සිටියේය. එයින් මිදී ධෛර්ය සම්පන්නව රාජ්‍ය ලබාගත් අයුරු පට්තුප්පාට්ටුප් ග්‍රරන්ථයේ සඳහන් වේ. කරිකාලගේ ජීවිතයේ වැදගත් මෙන්ම තීරණාත්මක සටනක් වූයේ කෝවිල්වෙන්නි සටනයි. මේ සටන පැවතුනේ තංජෝරයෙන් සැතපුම් 15ක් පමණ නැගෙනහිරින් පිහිටි කෝවිල්වෙන්නි නම් ස්ථානයේය. මෙම සටන මොහු ජයගත්තේය. සංගම් කවීන් ගණනාවක්ම මේ ජයග්‍රහණය පිළිබඳව සඳහන් කර තිබේ. එම කවිවල කියැවුණු අර්ථය වූයේ මේ සටනේදී රජුන් 11 දෙනෙකුගේ වෙර විනාශකළ බවයි. පාණ්ඩ්‍ය හා චේර පාලකයන්ගේ කීර්තිය විනාශ කරන ලදි. ඒ නිසා චෝළ කවීන් මේ ජයග්‍රහණය පිළිබඳව මහත් උනන්දුවෙන් කාව්ය රචනා කරන ලදහ.

මොහුගේ දෙවැනි යුද්ධය වූයේ වාහයිගස්පිටිය සටනයි. මෙහිදී සුළු සතුරු අධිපතීන් 9 දෙනෙකු පරාජයට පත්කරන ලදී. එම යුද්ධයෙන් පරාජයට පත්වූ සේනාව පිළිබඳව කවීන් විසින් වර්ණනා කර තිබේ. එක් කවියෙකුගේ ප්‍රකාශය වූයේ විශාල ඔලියර් සේනාවක් ඔහුට යටත් වූ බවයි. ඉතා පැරණි ජන කණ්ඩායමක් වූ අරුවාලර්වරු පරාජයට පත්වුණි. උතුරු වැසියන්ගේ ශ්‍රී විභූතිය විනාශයට පත්විය. බටහිර වැසියන්ගේ ධෛර්යය බිඳී ගියේය. බලකොටු විනාශ විය. පාණ්ඩ්‍යයන්ගේ ශක්තිය බිඳ දැම්මේය. එඩේර ඇතුළු තවත් වංශ ගණනාවක්ම පරාජයට පත්විය. මේ අනුව ඔටුණු පළන් රජවරු අතර නායකත්වය කරිකාලට හිමි විය.

කරිකාල පිළිබඳව සඳහන් වූ තවත් කරුණක් වූයේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට ක්‍රියා කළ බවයි. වනගත ප්‍රදේශ අස්වද්දවා වැව් ඉඳිකරමින් රටේ සමෘද්ධිය ඇති කරන ලදි. ඒවාගේම කාවේරි නදිය පිටාර ගැලීම වැළැක්වීමට ක්‍රියාකර තිබේ. සාහිත්‍ය කවීන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ පාලකයෙක් ලෙස සඳහන් වේ. ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දුන්නේය. පට්තුප්පාට්ටුප් ග්‍රන්ථයේ එක් කොටසක් රචනා කළ කවියෙකුට රන්කාසි 16000ක් දුන් බව සඳහන් වේ. පට්තුප්පාට්ටුප් ග්‍රන්ථයේ එක් කවියෙකු විසින් පේළි 248කින් කරිකාල පිළිබඳව වර්ණනා කර තිබේ. මෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ කරිකාලටය. ද්‍රවිඩ රජුන් හා අනෙක් රාජ්‍යවල පාලකයන් අතරට සමකාලීනව බලය සඳහා තරඟ වැදුණු බව මේ සාහිතළ්‍ය මූලාශ්‍ර මඟින් හෙළිදරව්වේ. මෙම සංගම් සාහිත්‍යයේ සඳහන් වන චෝළ, චේර, පාණ්ඩ්‍ය වංශිකයන් පිළිබඳව විමසා බලන විට නෙඩුන්ජරල් චේර පාලක සෙන්ගුප්ටුවන් හා චෝළ පාලක කරිකාලචෝළ යන පාලකයන්ගේ අවධි දකුණේ සාමකාමී දේශපාලන පසුබිමක් සැලසුණු කාල වකවානු හැටියට සඳහන් කළ හැකිය. මෙවැනි දේශපාලන තොරතුරු ගණනාවක්ම සංගම් සාහිත්‍ය මඟින් හෙළිදරව් කරගැනීමට හැකිවූ නිසා දකුණේ මුල් කාල ඉතිහාසය ගොඩනගා ගැනීමේදී මෙම සංගම් සාහිත්‍ය වැදගත් මූලාශ්‍රයක් වේ.

සටහන:- සමන් ඉන්දික ජයසිංහ, ශාස්ත්‍රව්දී (විශේෂ)දෙවන වසර, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.