The Revenant යනු 2015 ඇමෙරිකානු ඓතිහාසික වික්‍රමාන්විත චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය, සහාය නිෂ්පාදනය සහ සහාය රචනය කරන ලද්දේ අලෙජන්ද්රෝ G. ඉනාරිටු (Alejandro G. Iñárritu) විසිනි. මයිකල් පන්ක්ගේ, එම නාමයම සහිත නවකතාව ඇසුරින් තිරරචනය කරන ලද්දේ ඉනාරිටු සහ මාර්ක් L. ස්මිත් විසිනි. නවකතාව දිවයන්නේ සම් දඩයක්කරුවෙකු වූ හියු ග්ලාස් 1823 දී වත්මන් මොන්ටානා සහ දකුණු ඩකෝටා ප්‍රදේශ වලදී විඳි අත්දැකීම් පිලිබඳවය. චිත්‍රපටයෙහි ග්ලාස් ලෙස ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වන අතර ටොම් හාඩි, ඩොම්නැල් ග්ලීසන් සහ විල් පෝල්ටර් ද රංගනයෙන් දායක වෙති. චිත්‍රපටය දිවයන්නේ ග්ලාස්, දුඹුරු වලසෙකුගේ ප්‍රහාරයට ලක්ව දරුණු ලෙස තුවාල ලබා සිටියදී ඔහුව පාවාදී, ඔහුගේ පුතු මරා දමා, ඔහුව වනයේ හැර දමා යන ඔහුගේම පිරිසේ සිටි මිනිසකුගෙන් පළි ගැනීම උදෙසා ග්ලාස් දරණ උත්සාහය පිළිබඳවයි. 

කතාව සංස්කරණය

1823 දී, හියු ග්ලාස්, කැප්ටන් ඇන්ඩ්රු හෙන්රිගේ දඩයක්කරුවන් කණ්ඩායමක මග පෙන්වන්නෙකු ලෙස, සංවිධානය නොවූ ඇමෙරිකානු භුමි ප්‍රදේශයක් හරහා යමින් සිටියි. ග්ලාස් සහ ඔහුගේ  පුත් හෝක් දඩයම් කරමින් සිටියදී ඔවුන්ගේ කඳවුර විරුද්ධවාදී අරිකාරා කණ්ඩායමේ ප්‍රහාරයට ලක් වෙයි. දඩයක්කරුවන් සියළු දෙනාම පාහේ මරුමුවට පත් වන අතර දිවි රැක ගැනීමට සමත් වූ ස්වල්ප පිරිස බෝට්ටුවකට නැගී පලා යයි. ගංගාව ඔස්සේ ගමන් කිරීම, ඔවුන්ව තවත් අරිකාරා ප්‍රහාරයකට ලක් කිරීමේ අවධානමක් ඇති කළ බැවින් බෝට්ටුව අත්හැර දමා පයින් ගමන් කළ යුතු බව ග්ලාස් යෝජනා කරයි.


කණ්ඩායම පයින් ගමන් කිරීම අරඹයි. කණ්ඩායමේ අන් අයගෙන් වෙන්ව සෝදිසියේ යෙදෙමින් සිටින ග්ලාස්, පැටවුන් සිටින දුඹුරු වැලහින්නකගේ ප්‍රහාරයට ලක්වෙයි. ඔහු වැලහින්නව මරා දැමීමට සමත් වුවද ඔහුගේ තත්ත්වය ඉතා බරපතළ වෙයි. කණ්ඩායමේ අනෙක් පිරිස ඔහුව සොයා ගත් විට, හදිසි වෛද්‍යාධාර කිසිවක් නොමැති නිසා, ග්ලාස්ව මරාදැමිය යුතු බවත් එය ඔහුට සහනය ලබා දීමක් බවත්, කලහකාරී දඩයක්කරුවෙකු වන ජෝන් ෆිට්ස්ජෙරල්ඩ්, හෙන්රිට යෝජනා කරයි. හෙන්රි එකඟ වන නමුත්, ග්ලාස්ව මරාදැමීම සඳහා සිය තුවක්කුවේ කොකාගැස්විමට ඔහුට සිත එකඟ කර ගැනීමට නොහැකි වෙයි. අනතුරුව, ග්ලාස් මරණයට පත්වීම හෝ සුවය ලැබීම සිදුවන තෙක් ඔහු සමඟ නතර වීමට කැමති අයෙකුට මුදල් ලබා දීමට හෙන්රි ඉදිරිපත් වෙයි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ හෝක් සහ බොළඳ ගැටයෙකු වන ජිම් බ්‍රිජර් පමණක් වන අතර අවස්ථාවාදී ලෙස ෆිට්ස්ජෙරල්ඩ් ද නතරවීමට එකඟ වෙයි. එමගින් තම කණ්ඩායමට ප්‍රහාර එල්ල වන අවස්ථාවේ හැර දමා ඒමට සිදු වූ සම් මිටි වල පාඩුව පිරිමසා ගැනීමට ෆිට්ස්ජෙරල්ඩ් බලාපොරොත්තු වෙයි. ග්ලාස් මිය ගියහොත් එම අසරණ මිනිසාව මිහිදන් කරන බවට හෙන්රි, ෆිට්ස්ජෙරල්ඩ්ව පොරොන්දු කරවා ගනී.

අනෙකුත් දඩයක්කරුවන් නික්ම ගිය පසු තමන් සහ ග්ලාස් පමණක් තනි වන තෙක් ෆිට්ස්ජෙරල්ඩ් බලා සිටියි. තුවාල ලැබූ පුද්ගලයා තවදුරටත් බලපෑමක් කළ නොහැකි අයෙකු ලෙස දකින ෆිට්ස්ජෙරල්ඩ්, ග්ලාස්ව හුස්ම හිරකොට මරා දැමීමට උත්සාහ කරයි. නමුත් හෝක් පැමිණ ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කරයි. හෝක් උදව් ඉල්ලා කෑ ගැසීමට තැත් කරන මොහොතේ සන්ත්‍රාසයට පත්වන ෆිට්ස්ජෙරල්ඩ්, කිසිවක් කරකියාගත නොහැකි ඔහුගේ පියා ඉදිරිපිටදීම කොල්ලාට පිහියකින් ඇන මරා දමයි. බ්‍රිජර් ආපසු පැමිණීමට පෙර කඩිනමින් හොක්ගේ සිරුර සඟවා දැමීමට ෆිට්ස්ජෙරල්ඩ් උත්සුක වෙයි. දරුණු ලෙස තුවාල ලබා සිටින ග්ලාස් ට කතා කිරීමට පවා නොහැකි බැවින් මහත් චිත්ත වේදනාවකින් පෙළෙමින් බලා සිටීම හැර අන් කිසිවක් කළ නොහැකි වෙයි. පසුදා උදෑසන බ්‍රිජර්ව අවදි කරවන ෆිට්ස්ජෙරල්ඩ්, අරිකාරා කණ්ඩායමක් ඔවුන් අවට සිටින බවත්, ඔවුන්ට කිසිවකුගේ උදව් නොමැති නිසා ග්ලාස්ව හැර දමා යා යුතු බවත් කියයි.  ඉමහත් කඩිනමින් ග්ලාස්ව නොගැඹුරු වලකට ඇද දමා, පස් වලින් යටකර ඔවුහු නික්ම යති. 

"https://si.wikipedia.org/w/index.php?title=The_Revenant_(2015_film)&oldid=364619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි