රඹුක්වැල්ල සෝභිත හිමි

(Rambukwelle Sri Sobhitha Mahanayake thero (1946-1955) වෙතින් යළි-යොමු කරන ලදි)

අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත සෝභිතාභිධාන ශ්‍යාමෝපාලි මහා නිකායේ දහනවවැනි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1946-1955)

ක්‍රිස්තු වර්ෂ   1866ක්ව අගෝස්තු මස 17 වැනි දින හිස්සව අලගුවන්න ඒකනායක රාජගුරු පණ්ඩිත වාසල මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර නිලමේ නිසා උඩදුම්බර රඹුක්වැල්ලේ හක්මන වලව්වේ ගලගොඩ ලොකු කුමාරිහාමිට දාව පාතදුම්බර පලිස්පත්තුවේ ගෝනිගොඩ රඹුක්වැල්ලේ හක්මන විල්අමුණ වලව්වේදී උපන් මුන්වහන්සේ ගංගාරාම රජමහ විහාරාධිපතිව වැඩවුසූ අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී සෝනුත්තරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින්  කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහාරාම රජමහ විහාරයේදී ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි යෙදීමෙන් මූලිකාධ්‍යාපනය ලබා ඇත.

ඉන්පසු ක්‍රි.ව.1875 දී රඹුක්වැල්ල කුණ්ඩසාලේ ‍රජමහා විහාරයේදී "රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත " හිමි නමින් පැවිදිබිමට පත්වූයේ මල්වතු මහා විහාරයේ වැඩවුසූ වැරසැර රඹුක්වැල්ලේ ශ්‍රී ධම්මරක්ඛිතාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර නියෝජනය කරමිනි.උගතමනා බණදහම්හි මනා පරිචයක් ලබන්නට උන්වහන්සේට ආචාර්යවරයාණන් නමකවූයේ මල්වතු මහා විහාරාධිවාසී ව වැඩ විසූ වටරක රතනජෝති සෝභිතාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි.

අතිගරු හිප්පොල ධම්මරක්ඛිත සෝභිතාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය ව පූජ්‍ය වැව්ගොන්නේ විපස්සි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පූජ්‍ය වටරක රතනජෝති සෝභිතාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කර්මාචාරීව ක්‍රිස්තු වර්ෂ 1887 දී මල්වතු මහාවිහාරයේ උපසම්පදාව ලැබිය.

තවද මුන්වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශත්වර්ගික ගරුතර කාරක මහා සංඝසභාව වෙතින් තුනේ වියදම් පඩිය නම් වූ කාරක පදවියට ද,වර්ෂ 1925 ඔක්තෝම්බර් මස 14 වැනිදා ගංගාරාම රජමහ විහාරයේ නායක පදවියට ද,වර්ෂ 1934 ජනවාරි මස 7 වැනිදා අපේ මල්වතු මහා විහාරයේ අනුනායක පදවියට ද,වර්ෂ 1946 ජනවාරි මස 6 වැනිදා අතිගරු පහමුණේ ශ්‍රී සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පුරප්පාඩුව පැවැති මහ පදවියට ද පත්වී වදාළහ. 

කුණ්ඩසාලේ රජමහ විහාරය,ගෝනාවත්තේ රජමහ විහාරය,සිද්දාවුල්ලේ රජමහ විහාරය යන විහාරයන්හි විහාරාධිපතිත්වය ද හෙබවූ මුන්වහන්සේ වසර පනහක පමණ කාලයක් උතුම් දළදා තේවාවෙහි යෙදී තිබේ.ගංගාරාම රජමහ විහාරයෙහි එකල ජරාවාසව පැවැති සංඝාවාසය වෙනුවට නව සංඝාවාසයක් ද ඉදිකරවීම උන්වහන්සේගෙන් සැලසුනු පුළුල් සමාජයීය මෙහෙවරෙහි අග්‍රඵලයක් බැව් කිව මනා ය .

මහා විහාරයෙහි සංඝ සාමග්‍රිය අරභයා නිබඳ කටයුතු කළ මුන්වහන්සේ නිර්භීත ය.එමෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත ය.අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්‍යභිධාන විසිපස්වැනි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහාරාම පොත්ගුල් රජමහ විහාරාධිපතිව වැඩවුසූ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත සීලරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුන්වහන්සේගේ ශිෂ්‍යවරයින් වහන්සේලාය. පුරා අසූ නව වසක් ආයු ශ්‍රී වින්දනය කෙරෙමින් සිටි උන්වහන්සේ 1955 ජූලි මස 1 වැනි දින රාත්‍රි 2 ට අපවත් වූ සේක.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රඹුක්වැල්ල_සෝභිත_හිමි&oldid=612507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි