පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය

සිංහලද්වීපයෙහි සකල කලාවන්ගෙන් පිරිපුන් සුරපුරයක් බඳු වූ බස්නාහිර පළාත්බද රයිගම් පුරවරයට මහත් බෞද්ධාලෝකයක් ගෙන දෙන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය හැඳින්විය හැකි ය. ව්‍යවහාර වර්ෂයෙන් තෙවන සිව්වන ශත වර්ෂයන් දක්වා දිවයන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය කිත්සිරිමෙවන් රාජ්‍ය යුගයට අයත් ශිලා ලිපියකින්ද, විවිධ රාජ්‍ය යුගයන්ට අයත් නටබුන් රාශියකින්ද සමන්විත ය.මෙහි වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන්නේ පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය, පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරය, මාකිලංගමුව පූර්වාරාමය, නාරගල ගංගාරාමය යන සිව්මහා විහාරාධිපති, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පරිවේණාධ්‍යක්ෂ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්මවාගාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී ගොඩගම රතනපාල වනරතනාභිධාන රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේයි. වර්තමානයේ වග විමලරතන හිමි කිත්සිරිමෙවන් රාජමහා විහාරයේ භාරකාරීත්වය දරයි.

පිහිටීම

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම් කෝරළයට අයත් හොරණ පොකුණුවිට නම් ග්‍රාමයෙහි පිහිටා ඇති මෙම විහාරය ඓතිහාසික බවින් මෙන්ම රමණීය වූ පරිසරයකින් යුතු සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානයට පිවිසීමේදී තැනිතලා බිමක් හමු වුවද විහාර මන්දිර, ස්ථූපය, බෝමළුව ආදී විහාරාංග පිහිටා ඇත්තේ අඩි 50 ක් තරම් උස් වූ ගල් තලාවක් මතය. ඊට පිටුපසට වන්නට ඇති වන පෙත විහාරස්ථානයට ගෙන එන්නේ මනරම් දසුනකි. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 07 ක් පමණ වේ. වර්තමානයේ කිත්සිරිමෙවන් රාජමහා විහාරය නමින් පැවසුවද මීට වසර 10 කට පමණ ඉහතදී පවසා ඇත්තේ කොණ්ඩඤ්ඤාරාමය ලෙසයි. එසේම වර්තමානයේ ගලේ පන්සල යන නමද ව්‍යවහාර කෙරේ.


පිවිසිය හැකි මග

රත්නපුර පානදුර මාර්ගය (මාර්ග අංක 450) හා හොරණ කොළඹ මාර්ගය (මාර්ග අංක 120) මුණ ගැසෙන ස්ථානය පොකුණුවිට මංසන්ධියයි. හොරණ සිට මෙම විහාරස්ථානයට පිවිසෙන්නේ නම් 2 ½  km ක් පමණ පැමිණි විට මුණ ගැසෙන පොකුණුවිට මංසන්ධියෙන් වමට හැරී වැළිිකල මාර්ගයේ 50 m ක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට පිවිසිය හැක.


පොකුණුවිට ග්‍රාමය පිළිබද ජනප්‍රවාද

මෙම විහාරස්ථානය පිහිටි පොකුණුවිට ග්‍රාමයට ‘’පොකුණුවිට’’ යන නම නිර්මාණය වීම සම්බන්ධව ජනප්‍රවාද කිහිපයක් පවතී. ඉන් එකක් ලෙස “පොකුණු+අවට’’ යන්නෙන් “පොකුණුවිට’’ යන නම සකස් වීය යන ජනප්‍රවාදය දැක්විය හැකිය. එම ජනප්‍රවාදය ඇති වීමට හේතුව විහාර භූමිය හා ඒ අවට ප්‍රදේශය තුළ විසිරී පැතිරී ඇති පොකුණු සමූහය නිසා විය හැකිය.


ඓතිහාසික පසුබිම

පොකුණුවිට කිත්සිරිමෙවන් රාජමහා විහාරය යනු ලක්දිව ඉතිහාස කතාන්දරයෙහි වැදගත් පිටුවක් පෙරළුෑ රයිගම් පුරවරයෙහි පිහිටි වටිනා පුද බිමකි. කෝට්ටේ යුගයේ රයිගම් බණ්ඩාර රජ දවස ඉතා සශ්‍රීකව දියුණු තත්වයේ පැවති මෙම රයිගම් පුරවරයෙහි රජුන් හා මැති ඇමතීන් විසින් කරවන ලද වෙහෙර විහාර රාශියක් දක්නට ලැබේ. එසේම මෙම පොකුණුවිට  රාජමහා විහාරය පිහිටි රයිගම් පුරවරය වසර 35 000 කට වඩා පැරණි වූ මානව ඉතිහාසයකට උරුමකම් කියයි. එසේම විවිධ රාජ්‍ය යුගයන්ට නෑකම් කියන යම් යම්  ඓතිහාසික කාරණා සහ පුරාවිද්‍යාත්මක නටබුන් මෙම විහාරස්ථානය සතුව පවතී. ඒ අතර,

·       ශිලා ලේඛනය (වසර 1700 කට වඩා පැරණි)

·       ඉපැරණි විහාර මන්දිරය

·       බෝ මළුව

·       ස්ථූපය

·       පොහොය සීමා මන්දිරය

·       ආවාස ගෘහය


ශිලා ලේඛනය

මෙය කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301-328) රජුගේ අමාත්‍යවරයෙකු වූ සිවයගේ පුත් දේව විසින් ක්‍රි.ව. 04 වන සියවසේ දී කරවන ලද්දකි. එහි අර්ථය මෙසේය.

“සිරි මේඝවර්ණ අභය මහ රජතුමා අභිෂේක ලද දසවන වර්ෂයෙහි ශ්‍රී මේඝවර්ණ අභය රජුගේ අමාත්‍ය සිවගේ පුත් දේවගේ ආස්ථානයෙහි තමාගේ පියා සතු කොටසද රබගම කර්ණිකාවේ (ප්‍රදේශයේ) පචරිය විහාරයට දෙන ලදී.”


පැරණි විහාර මන්දිරය

මෙම විහාරගෙයි ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා හා සිතුවම් පරීක්ෂා කිරීමේදී නුවර යුගයේ අග භාගයට අයත් ලක්ෂණ දැකගත හැකි ය. පිළිම ගෙයට ඇතුළුවන දොරටුවට ඉහළින් හා දෙපසින් බිත්තියෙහි ඉතා රමණීය වූ මකර තොරණකි. පිළිම ගෙයට පිවිසුණ විට බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රධානව විෂ්ණු හා සමන් දේව ප්‍රතිමා හා සැරියුත් මුගලන් දෙනම වහන්සේගේ ප්‍රතිමා දැකගත හැකි ය. පිළිම ගෙයින් පිටත බිත්ති තීරු වලට බෙදා එහි ඉහළින් විහාරය වටා සූවිසි විවරණය සිතුවම් කර ඇති අතර පහතින් සිතුවම් කර ඇත්තේ තේලපත්ත ජාතක කතා වස්තුවයි.


ජේතවන විහාරය

ශෛලම වූ ස්ථම්භ මත මෙම විහාර ගෙයි ඉදිකිරීම් සිදුකර ඇති අතර විහාරය අභ්‍යන්තරයෙහි වඩා හිදුවා ඇත්තේ රන් ආලේපිත ශෛලම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙය මෙගම විසූ මතෙස් නයිදේ හෙවත් මත්තො නයිදෙ ගල්වඩු රාළගේ නිර්මාණයකි.


පිරිනිවන් මඤ්චකය සහිත මහා විහාරය

මෙම විහාර මන්දිරයෙහි ඉදිකරවා ඇති පිරිනිවන් මඤ්චකය සහිත වූ දහ අට රියන් ප්‍රතිමාව, ශෛලම ප්‍රතිමාවක් වූ නමුත් වර්තමානයේ මෙහි වර්ණාලේප කර තිබේ.


පොහොය සීමා මන්දිරය

මෙම පොහොය සීමා මන්දිරය වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් මෙරටට උපසම්පදාව නැවත වැඩම වීමෙන් පසු බස්නාහිර පළාතේ ඉදි කළ ප්‍රථම පොහොය සීමා මන්දිරය ලෙස සැලකේ.


කිසිදා නොසිඳ‍ෙන දිය පොකුණ

ශෛලමය වූ පිරිනිවන් මඤ්චකය සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින මහා විහාරය, ජේතවන විහාරය හා දාගැබ පිහිටි ඉහළ මළුවට පිවිසෙන පියගැට පෙළට සමීපව ස්වාභාවික ගලෙහි පිහිටා ඇති දිය පොකුණයි. මෙහි ගැඹුර පිළිබදව  කිසිවෙකුට වැටහීමක් නැති අතර නියං සමයකදී වුව නොසිඳ‍ෙන බව විශ්වාස කරයි.

මෙම පොකුණ හා සම්බන්ධ ජනප්‍රවාදයක් පවතී. එනම් මෙම පොකුණේ සිට රයිගම, පතහවත්ත රාජමහා විහාරයේ ඇති පොකුණ වෙත සම්බන්ධ වූ උමගක් පවතින බවයි. එය තහවුරු කර ගැනීමට හැකි වී තිබෙන්නේ මෙහි විසූ ආඳ‍ෙකු (eel) නිසාවෙනි. එම ආඳා අල්ලා ගෙන කඩුක්කමක් පළන්දා ඇති අතර එවිට එම කඩුක්කම සහිත ආඳා මේ ස්ථාන දෙකෙහිදීම දැක ගැනීමට හැකි වී ඇත. කෙසේ වෙතත් අද වන විට එම ආඳා දැක ගත නොහැකි ය.


ආවාස ගෙය

විහාරස්ථාන භූමියට පිවිසෙන විට ප්‍රථමයෙන්ම දැකගත හැක්කේ විහාරස්ථ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිකර ඇති ආවාස ගෘහයයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම ආවාස ගෘහයට පිවිසෙන දොරටුවෙහි සඳකඩ පහනකි. ආලින්දයක් සහිත වූ ඉදිරිපස කොටුවෙහි කෙටි බිත්තියකට සවිකර ඇති ගල් කණු‍වෙහි මෙය ශ්‍රී බු. ව. 2440 දී ඉදිකර ඇති බව සඳහන්ය. මීට ඉහත දී මෙම ආවාස ගෘහයට සමීපයෙන්  දාන ශාලාවක් තිබී ඇති අතර වර්තමානය වන විට එහි නටබුන් හෝ දැකගත නොහැකි ය.


ධර්ම ශාලාව

සාමාන්‍ය ප්‍රමාණයේ හා ඉතා විශාල වූ ගල් කණු භාවිත කරමින් ගාම්භීර පෙනුමක් ඇති වන ලෙසට ඉදිකර ඇති මෙම ධර්මශාලා මන්දිරය ඉදිකිරීමේදී ගල් කණු 76 ක් පමණ යොදා ගෙන ඇති අතර එම සෑම කණුවකම දායකත්වය ලබා දුන් අයගේ නමද සඳහන් ව ඇත.


විහාරස්ථානය මගින් ශ්‍රී රේවත දහම් පාසල පවත්වාගෙන යන අතර මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරාධිපති, කෝකිලායි සිංහල මහා විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් එහි ප්‍රධානාචාර්ය ධූරය හොබවයි.

දෙරණ නාලිකාව තුළින් විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් පටිගත කිරීමට ද මෙම විහාරස්ථානය යොදා ගෙන ඇත.

මෙවන් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ඓතිහාසික වටිනාකම නූතන පරපුර දැන අවබෝධ කරගෙන තිබීම ඉතා වැදගත් ය.

"https://si.wikipedia.org/w/index.php?title=Kithsirimewan_Raja_maha_viharaya&oldid=449329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි