1818 හෙළයේ විමුක්ති අරගලයේ මර්මස්ථානයයි, ඌව “උඩුකිඳ”


1818 හෙළයේ විමුක්ති අරගලයේ මර්මස්ථානයයි, ඌව “උඩුකිඳ”


මෙම නිබන්ධනය ඉදිරිපත් කරන මම වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ වාසය කරන විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වෙමි. වයස අවුරුදු 82ක් පුරාවට විවිධ මුලාශ්‍ර වලින් මෙම ඓතිහාසික තොරතුරු උකහා ගත්තෙමි. ඒවා අන්තර්ගත කර ජාතියේ අභිමානය අනාගත පරපුරටත් ජනිත කරවනු වස් මෙම කෙටි නිබන්ධනය ඉදිරිපත් කරමි.


හෙළයේ විමුක්ති අරගලයට දෙසීය වසරක් පිරීම නිමිති කරගෙන එම තොරතුරු යළි ඉස්මතු කිරීමට කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන සංවර්ධන අංශය මගින් සිදුකළ අධ්‍යයනය සඳහා දූරකථනයෙන් හා ලිපි මගින් ඒ වන විට මා දැන සිට තොරතුරු ලබා දුනිමි. ඊට අමතරව 2018 නොවැම්බර් මස 30 වන දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අදාල පර්යේෂණ නිබන්ධනය සමාජගත කිරීමේ උත්සවයේ දී පවත්වන ලද දේශනයේ දී ද තවත් කරුණු ඉදිරිපත් කළෙමි. එයිනුත් සෑහීමකට පත් නො වී උඩුකිඳ ජනතාවගේ කැපකිරීම පිළිබඳ ව සොයා ගන්නා ලද අවශේෂ කරුණු කිහිපයක් අලුතින් එකතු කිරීමට මෙම ප්‍රකාශනයෙන් උත්සාහ කෙරේ.


විටින් විට විවිධ මුද්‍රිත සහ විද්‍යූත් ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණු ප්‍රකාශණ සහ මා ඇසූ හා මා දුටු සංසිද්ධි ආශ්‍රයෙන් මෙම නව නිබන්ධනය ලීවෙමි. ඒවා සොයාගත් ආකාරයටම ඉදිරිපත් කර ඇති අතර එම සංසිද්ධි අතර එකිනෙක ගැලපීමක් හඳුනාගත නොහැක. ඒවා එකිනෙක ගලපා කතන්දරානු ස්වරූපයෙන් ඉදිරිපත් නො කලේ එයින් ඉතිහාසයේ අදාල සිද්ධියට හානියක් සිදු කිරීමට ඇති අකමැත්ත නිසා ය. 2020 පෙබරවාරි මස ඉරිදා ලංකාදීපය මගින් ප්‍රකාශ කෙරුණු ලිපි තුනකින් වාගොල්ල සහ බෝමුරේ සටන් ගැන ශ්‍රි වික්‍රමරාජසිංහ රජු අත් අඩංගුවට පත්වීම ගැනත් තොරතුරු ඇතුලත් කලේ, අප හදාරන ඉතිහාසයේ ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් නොවන නිසාය.


ඌව උඩුකිඳ ප්‍රදේශය හරහා පුරාතනයේ සිටම මහනුවර රාජධානියත්, බදුල්ල ප්‍රාදේශීය යුව රාජධානියත් හා කෙරුණු මාවතක් තිබී ඇත. වතමනේ රජ මාවත නමින් වහරනු ලැබේ. මහානර්ඝ පුරා විද්‍යාස්ථානයක් හා ස්මාරයකයක් වන බෝගොඩ දැවමය පාලම ඉදිකර ඇත්තේ ද මෙම මාර්ගයේ ය. ක්‍රි.ව. 1600 දී ලියැ වී ඇතැ යි විශ්වාස කෙරෙන “මඟසළකුණ” නම් සන්දේශ කාව්‍ය කෘතිය මගින් ද මෙම මග යහමින් හෙළි කර ඇත. එංගලන්තයේ ඉහළ විශ්ව විද්‍යාලයක් වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෞතුකාගාරයේ දී (ඉංග්‍රීසීන් විසින් ගෙන යනු ලැබූ මුල් පිටපත) අහම්බයෙන් දැකගත් එඩ්මන්ඩ් පීරිස් නම් ප්‍රඥාවන්ත ක්‍රිස්තියානි පූජකතුමා විසින් එය පිටපත් කරගෙන, නැවත සිංහල බසට පරිවර්තනය කර තිබෙන බවට සාක්ෂි ඇත. ඒ අනුව කෙරුණු ගවේෂණයකින් මෙම තොරතුරු හෙළි වේ.


1991 දී මෙම දෙවන පිටපත අනුව ඉරිදා “දිවයින” පුවත්පත අභාවප්‍රාප්ත කරුණාදාස සූරියආරච්චි (කසුරි) මහතා ප්‍රමුඛ මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින් කරන ලද ගවේෂණ සංචාරයක් මගින් මේ ඓතිහාසික පුරාවෘතය යළිත් හෙළදරව් කර ඇත. බදුල්ලේ කුමාරදාස නම් යුවරජෙකු ගැනත් කියැවෙන අතර ම මානාඅමුණ, මානාවෙල, උණපාන කුඹුරුයාය හා ඌමා ඇළ සමග කුඹුරු යායක් අස් වැද්දූ බවට විශ්වාස කළ හැකි, පොළොන්නරුව සුගලා බිසවගේ හෝ ලීලවතී රැජිණගේ සමයේ මානාභරණ නම් යුවරජෙක් ගැනත් ජනප්‍රවාදයේ සඳහන් වේ. වි.වි.ස. ගුණරත්න මහතා පවසන ලෙස තුප්පිටියේ රජ මාලිගාවක් හා ඇටම්පිටියේ රජ මාලිගාවක් ගැනත් කියැවෙන අතර ගල්කුළුණු මත මාළිගය ඉදිකර තිබුණු බවට කෞතුක සළකුණු අදත් දකින්නට  ඇත. ඒ හා බැඳුණු මාළිගා පිටිය, මාළිගැතැන්න, තුප්පිටිය ඇත්ගාල, කඩදොරගම අසළ සහල්තොට, බීජ ගබඩා කළ බිත්තර අමුණ, ගබඩා ගම, ලුණු අටුගම, තවලම්පොළ, පරණගම, රන්හවඩිගම යනා දී දනවු වල බඩු හුවමාරු මධ්‍යස්ථාන තබී ඇත. මේ ගම්මාන පිහිටා තිබෙන්නේ ඌව උබුකිඳ කලාපයේ ය.


රජ මාවත ගවේෂණයයට එක්වුණු රජරට විශ්ව විද්‍යාලයේ ඇඳුරු, තිස්ස වීරසේකරයන් විසින් එළි දක්වා ඇති “මඟ සළකුණු ඔස්සේ ගිය පාගමනක්” කෘතියේ සඳහන් වන කවි පද පෙළක පද කිහිපයක් මෙහි දී මා ඉදිරිපත් කරන සිද්ධි සනාථ කිරීමට සාක්ෂි වශයෙනු යි.

  1. හාල් තොටින් යා කර සබඳ සිත                               තුටින්
  2. එසඳ සබඳ වදු ඉඩමට පරණ                                        ගම
  3. තවම්පොල යොනුන් දැක යව ඉටු                             වතුර
  4. ඇතුන් බඳින ඇත්පළ බල ඔය                                     අසළ
  5. මඟා යව සබඳ තුප්පිටියේ                                           උයන
  6. දොඩම් වතු කපොල්ලෙන් යාකර                               මිතුර
  7. පෙනෙයි ඌව තුන්කිඳ අතැඹුල                                ලෙසට


බ්‍රිතාන්‍ය සුද්දන් මේ ගම් ප්‍රදේශයේ යුද බලකොටු තුනක් ඉදිකර රැකවල් කර ඇත. පෘතුගීසීන් ඇටම්පිටිය ගම් දනවුවේත් ලන්දේසීන් බදුලු පුරයේත් බලකොටු ඉදිකර තිබී ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බදුලු ලන්දේසි බලකොටුව සංරක්ෂණය කර ඇත. හටන් පිටිය ඇටන් පිටිය ද පසුව ඇටම්පිටිය ද වී ඇතැයි ජන මතයකි.


ඌව උඩුකිඳ ප්‍රදේශයේ පරණගම, පාළුගම හා ඇටම්පිටිය (එදා හටන් පිටිය) යන පෞරාණික ගම් දනවුවල බ්‍රිතාන්‍ය සුද්දන් බලකොටු තනා රැකවල් ලා ඇත. පරණගම මැක්ඩොනල්ඩ් සෙ‍ෙනවියා ද, පාළගම විල්සන් සෙනෙවියා ද, ඇටම්පිටියේ  තවත් සෙනෙවියකු ද (නම අප්‍රකාශිත) පත් කොට ක්‍රෑර භිෂණයකට ස්වදේශිකයින් පත් කර තිබූ බව පැහැදිල වේ.  නා උල්ලේ ධම්මාන්ද ගරු හිමිපානන් වහන්සේ විසින් රචින “ඌව ඉතිහාසය” කෘතියේ ක්‍රි.ව. 1896 දී බදුල්ල දිසාපති එෆ්. සී. ෆිෂර් මයා නිකුත් කරන ලද වාර්තාවක හෙළිදරවු වූ කරුණු කිහිපයක් දක්වා ඇත.

  1. ඌවේ උඩුකිඳ වැසියන් ගේ විනාශ වූ කුඹුරු ගණන 8140 කි.
  2. අමුණු ලෙස 694 කි.
  3. ඉන් අමුණක් රුපියල් 7.63 ගණනේ විකිණී ඇත.
  4. ඒ හේතුවෙන් පවුල් 2930 ක් ඔවුන්ගේ සියලු වත්කම් වලින් පිරිහී ඇත.
  5. 450 දෙනෙකු මිය ගිය බවත්, 20000 ක පමණ ස්වදේශිකයින් පිරිසක් කුලිකරුවන් වූ බවට පත් වූ බවත්, 127 දෙනෙක් හිඟන්නන් බවට පත් වු බවත් දැක්වේ.


වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර දිවිතොටවෙල ගම් පියසේ උඩුකිඳ ආදායම් පාලක කාර්යාලය නමින් රාජ්‍ය ආයතනයක් ද තිබිණි.  මෙහි උඩුකිඳ ආදායම් පාලක බදු ප්‍රදේශය ඇටම්පිටිය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය යන විශාල භූගොලීය කලාපයක් ආවරණය වී තිබී ඇත. එකළ වැලිමඩ නමින් නගරයක් නො තිබූ අතර වැලි අලෙවි කළ වැලිමඩු කිහිපයක් තිබුණු බවත්, පසු ව වැලිමඩ නමින් වෙළඳ මධ්‍යස්ථානයක් නිර්මාණය වූ බවත් කියවේ. එකල වැලිමඩ නගර මධ්‍යයේ පිදුරු සෙවිලි කළ වහලක් සහිත පාළමක් තිබුණු බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. එම පාලම1915 දී පමණ ගංවතුරට අසු ව ගසාගෙන ගිය බවත් පැරැන්නෝ කියති. එමෙන් ම  එකල ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය ලෙස භාවිත වූයේ පාළුගම නගරයයි. පැරැණ්නන් ප්‍රකාශ කරන ආකාරයට මෙම වෙළඳ මධ්‍යස්ථානයේ ගණු දෙනු කිරා මැනීමකින් තොර ව ගණන් කර දුන් බවද සඳහන් වේ.


තවද උඩුකිඳ මැදපළාත කෝරලේ හිටපු ලේකම්තුමාගේ රාජකාරි දින පොතෙන් උපුටා ගත් තොරතුරු අනුව 1896 දී ආණ්ඩුවේ හිඟ බදු මුදල් වෙනුවෙන් රාජ සන්තක කළ කුඹුරු සඳහා ශත 37, රුපියල, රුපියල් 02 වටිනාකම් වලින් වෙන්දේසි කර ඇත. මෙම බලකොටු ආණ්ඩුවේ පාලන මධ්‍යස්ථාන ලෙස ද භාවිතා කර ඇත. මැක්ඩොනල්ඩ් කොටුව අසළ ම ඔප්පු ලිවීමට නොතාරිස් කාර්යාලයක් ද අරඹා පවත්වාගෙන ගොස් ඇත. වැලිමඩ නගරය කේන්ද්‍ර කර “උඩුකිඳ ප්‍රාදේශීය ආදායම් පාලක කාර්යාලය” නමින් රාජ්‍ය ආයතනයක් ද  තිබී ඇත.



මේ ද ජන කවියකි.


“ඉදිරි දොරෙන් අගහිගකම් ගෙව                             දින්නේ


පෑල දොරෙන් ගෙයි සාමය පහ                                වන්නේ


වාල් වැඩට නොකැමතිමුත් බඩ                               ගින්නේ


ඉන්නනට බැරි නිසා අපි කුලියට                               යන්නේ”


1815 ඉංග්‍රීසීන්ට ලංකාව යටත් කර ගැනීමට ස්වදේශිකයින්ගේ නො මද සහය ලබා දී , ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඌරෙකු මෙන් කුදලාගෙන බෝමුරේ දී සිංහලයින් විසින් ජෝන් ඩොයිලි වෙත භාර දුන්නේ යැයි ඉතිහාසයේ සඳහන් කථාව ය. වර්තමානයේ වගේ ම එදත් තනතුරු ප්‍රසාද ඔස්සේ සිංහල රජු පාවා දීමට කටයුතු කළ මහා කුමන්ත්‍රණ කරුවන් ද සිටියා විය යුතු ය. එහෙත් අප්‍රකට ඉතිහාසයේ තොරතුරකට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට පක්ෂ ව ඉදිරිපත් වූ සිංහල ජනතාවගෙන් කුසපත් ඇද තේරුණු හෙළ විරුවන්ගෙන් පමණක් මහනුවර “වා ගොල්ලේ සටන” මෙහෙයවා (එකම එක ඉංග්‍රීසි සොල්දාදුවෙකු පමණක් මළ කඳන් අතර වැටී සිට දිවි ගලවාගෙන ඇත.) බ්‍රිතාන්‍යයන්ට අන්ත පරාජයක් අත්කර  දී ඇත. සිංහල රදල නායක පවුල් වල පිරිමි සටනට ස්වකැමැත්තෙන් ම ඉදිරිපත් වී ඇති අතර පුතුන් නො සිටි උඩුකිඳ කැටකෑල වලව්වේ දියණිය වූ කැටකෑලේ කුමාරිහාමි ද සහයෝගය දීමට ඉදිරිපත් ව ඇත. ඌවේ සේනාව මෙහෙයවා ඇත්තේ ද අසකු පිට නැගි කැටකෑලේ කුමාරිහාමි විසිනි. ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් “කැට කෑලේ බණ්ඩාර තරුව” යන නම්බු නාමය සහිතව රන් ආලේපිත නලල් පටයකින් ද ඇයට සම්මාන ලබා දී ඇත. (පුරා විද්‍යාඥ අයි.ජේ.එම්. විජේබණ්ඩාර, පු.වි.කා. මහනුවර) අභාග්‍යයට තම බිසව හා දරුවන් නිරපරාදේ මැරුම් කෑමට ලක්වීම නිසා රජු පලවා හැර රජ වීමට උත්සාහ දෑරූ ඇහැලේපොල අදිකාරම් තුමා ද මුලාකර අත් අඩංගුවට ගෙන සිරකර 1818 දී ඉංග්‍රීසි සේනාව ලංකාවේ කන්ද උඩරට රාජධානිය යටත් කර ගත්හ. ඇහැලේපොළ අදිකාරම් පසු කලෙක මුරුසි දිවයිනට පිටුවහල් කර, එහි දී ම 1829.06.27 දින මිය ගොස් ඇත. ඒ වෙනුවෙන් මුරුසි දිවයිනේ ස්මාරකයක් ඉදිකර ඇති බව ද සඳහන් වේ.


බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම නම් වූ එංගලන්ත කොල්ලකාරී අධිරාජ්‍යයට එරෙහි ව ලෝකයේ පළමුවෙන් ම ප්‍රහාරයක් එල්ල කළ ස්වදේශිකයින් වන්නේ ඌව වෙල්ලස්ස ජනතාවයි. මේ වන විට ඌව දිසාපති ලෙස කටයුතු කළේ කැප්පෙටිපොළ මහ අදිකාරම්තුමා ය. සබරගමුවේ සිට බ්‍රිතාන්‍ය යුද හමුදාවක් තුවක්කු බෙහෙත් ආදියත් රැගෙන මෙම කැරැල්ල මැඩලීමට බ්‍රිතාන්‍ය ජාතික මහනුවර ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් තැනගේ නියෝගය මත මොනරවිල කැප්පෙටිපොල නිලමේ ඌවට පැමිණියේ ය. එහෙත් කිවුලේ ගෙදර මොහොට්ටාලගේ නායකත්වයෙන් යුත් උඩරට කැරලි හමුදාවේ කොහු කුඹුරේ රාළ, බූටෑවේ රාළ, හිටිහාමි විදානේ ඇතුළු පිරිසක් පස්සර උණගොල්ලේ දී  කැප්පෙටිපොල නිලමේතුමා මුණ ගැසී “ඔබ සේවය කළ යුත්තේ සුද්දන්ට නො ව සිංහලයින්ට” යැයි පවසා කැරලි හමුදාවේ නායකයත්වය ගන්නා මෙන් ඉල්ලා සිට ඇත. මනා ප්‍රඥාවකින් හෙබි කැප්පෙටිපොණ වීරයා කැරලි නායකයින්ගේ ඉල්ලීමට අවනත වී සටන මෙහෙය වීමට පෙරමුණ ගෙන ඇත. එහෙත් සතුරන්ගේ ආයුධ වලින් සතුරාට පහර දීමට නිහීන බියගුළු ක්‍රියාවකැයි සිතා ඉංග්‍රීසීන්ගේ ආවි ආයුධ ඉංග්‍රීසි හමුදාව මගින් ම ආණ්ඩුකාර වරයා වෙත භාර දීමට හරවා යවා ඇත. සුදු හේවායින් එම ආයුධ බලංගොඩ බගවන්තලාව, නානුඔය, අඹේවෙල ඔස්සේ පාළුගම හමුදා කඳවුරට පැමිණ භාර දී ඇත.



මෙම ඓතිහාසික නිදහස් අරගලයේ මෙතෙක් මෙහෙයුම් කළ වෙල්ලස්ස නායකයින් කැප්පෙටිපොල වීරයාගේ නායකත්වයෙන් නව ජවයකින් යුක්ත ව සටන මෙහෙය වූහ. කැටකෑලේ බණ්ඩාර කුමාරිහාමි, දංගමුවේ මොහොට්ටාල, උඩුකිඳ මුහන්දිරම්, බුස්දුල්ලේ විදානේ, තුප්පිටියේ උයනේ රාළ සහ බෝඹුරේ සුද්දනා ආදීන්ගේ ගම්බද නායකත්වයන් යටතේ ජන සහයෝගය ලබා හෙළයේ නිදහස් අරගලයේ ඌව උඩුකිඳ දායකත්ව නො මඳ ව සටහන් කොට ඇත.


මේ අතර ම මරක්කල ජනතාව සුද්දන්ට සහය ලබා දී තම වෙළඳාම සරු කර ගැනීමට මාන බලමින් සිටින ලදි. මේ බව වටහා ගත් සුද්දන් මුහම්දිරම් තනතුරු පවා මුස්ලිමුන්ට ලබා දී ඇත. කොටබෝවේ තම්බි මුහන්දිරම් එවැනෙකි. මොවුන් භාවිත කරමින් බ්‍රිතාන්‍යයන් කැරලි නායකයන්ගේ තොරතුරු හා නායකයන් සැඟ වී සිටින හෝඩුවාවල් දැන ගත්හ. ජන ප්‍රවාදයේ සඳහන් වන ආකාරයට පරණගම, පාළුගම, ඇටම්පිටිය යන බලකොටු තුන ස්වදේශීය සෙබළුන් 8000ක සේනාවකින් වට කර එකිනෙකින් සම්බන්ධතා නොලැබෙන්නට හුදකලා කර ඇත. 1818 අග භාගය වන විට ඉංග්‍රීසීන් විසින් උඩරට ප්‍රදේශය උග්‍ර ආහාර හා ජල හිඟයකට ගොදුරු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.  බල ලෝභී සිංහලයින්ගෙන් මෙන් ම කපටි සමහර මුස්ලිමුන්ගෙන් ද සමන්විත චර පුරුෂ සේවා මගින් ජෝන් ඩොයිලි රෙසිඩන්ට් වරයා අරගලයේ සංවිධාන කටයුතු පිළිබඳ ව ඔත්තු ලබා ගෙන ඇත. ඔවුනට විවිධ මුලාදෑනිකම්, වෙළඳ පහසුකම්  සහ විවිධ වරදාන වරප්‍රසාද ලබා දී ලබා දී ඇති බවට ද සාක්ෂි ඇත. කැප්පෙටිපොළ මහ නිළමේතුමා කැරලිකරුවන්ගේ පාර්ශවය ගත් නිසා විල්සන් සෙනවියා ව පාළුගම සේනාධිපති තනතුරට අමතර ව ඌව බදුලු දිසාපති ලෙස ද පත් කර තිබූ අතර, මොහු මොනරාගල ඊතණ වත්තේ දී හිටිහාමිගේ හී ප්‍රහාරයකින් මරුමුවට පත් වි ඇත. සටන ඉතා තීව්‍ර වීමෙන් උඩරට අතැර කොළඹට පසු බැසීමටත්, බ්‍රවුන්රිග් ආණ්ඩුකරුගේ බිරිඳ පවා ඉංග්‍රීසි බල ඇණියක් සමග ආපසු කොළඹට යැවීමටත් කටයුතු කර තිබුණු බව ඉතිහාසයේ සටහන් ව ඇත. දේශීය කම්හල්වල කඩු හී වැනි ආයුධ මෙන් ම තුවක්කු කාල තුවක්කු වැනි ආයුධ ද තනමින් සටන කෙරුණත්, ප්‍රබල ආර්ථික ශක්තියකුත්, ගෝව, ජාවා, ඉංදියාව, සුමාත්‍රා සහ මුරුසි ආදී යටත් විජිත වලින් හමුදා පිරිස් බලයකුත් ඉංග්‍රීසීන්ට හිමි ව තිබු නිසා ස්වදේශිකයින්ට ක්‍රම ක්‍රමයෙන් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇත. එමෙන් ම කැප්පෙටිපොල වීරයා අවිවේකී ව සනීපාරක්ෂාවෙන් තොර ව කටයුතුවල නිරත වීම  නිසා සටන අතරමග රෝගාතුර වී ඇත. එම නිසා ඔහුගේ සටන සගයන් ඔහු ව සටන් බිමෙන් තාවකාලික ව ඉවත් කර ඇත. නායකයකු නොමැති කමින් සහ අහාර සහ පිරිස් බලය හීන වීමෙන් කැරලිකරුවන් ක්‍රමයෙන් ශාරීරිකව මෙන් ම මානසිකව ද දුර්වල වන්නට ඇත. කැරලි නායකයින් අත් අඩංගුවට පත් විය. විශාල කැරලිකරුවන් මෙන්ම සාමාන්‍ය ස්වදේශීකයින් පිරිසක් මැක්ඩොනල්ඩ් කොටුවට ගෙනවිත් අමානුෂික ලෙස ඝාතනය කර ඇත. කොටුව අසළ භූමිය “පෝරකේ වත්ත” නමින් ජන වහරට එක් වූ මේ හේතුව නිසා ය. පෝරකේ වත්තේ අද ද දැකිය හැකි සියඹලා ගසේ ස්වදේශිකයින් දෙපයින් එල්ලා යටින් ගිනි දල්වා ඝාතනය කළ බව ප්‍රාදේශීය ජනශ්‍රැති වල සඳහන් වේ.  සිංහලයේ මහා නිදහස් සටන එසේ අවාසනාවන්ත ලෙස පරාජය පත් විය.


ඓතිහාසික ග්‍රන්ථ කතුවරයෙකු වූ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා සිය උඩරට කැරැල්ල කෘතියේ දක්වා ඇති ආකාරයට  දංගමුවේ මොහොට්ටාල නම් සටන් කරුවාගේ මූලිකත්වයෙන් කාලතුවක්කු බලකායක් මහනුවර බදුල්ල යා කෙරුන මාර්ගයේ දොඩම්වතු කපොල්ල අසන්නයේ ස්ථානගත කර තිබී ඇත. දංගමුව ගම්පියස පිහිටා ඇත්තේ පාළුගම විල්සන් බලකොටුව ආසන්නයේ ය. දංගමුවේ මොහෝට්ටාල සටන පරාජයෙන් පසු ව වලපනේ වතුමුල්ලේ රහසිගත ව සැඟවී සිට නැවත සටන සංවිධානයට උත්සාහ දරා ඇත. නමුත් පිරිස් බලය ක්‍රමයෙන් පිරිහී යාමත් සමග ඔහු හුදකලා වන්නට ඇත. අවසානයේ ඉංග්‍රීසි හමුදාව තම ඔත්තුකරුවන්ගේ ද සහයෝගයෙන් දංගමුවේ මොහොට්ටාල ව ගම්පහ මස්පන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් එතුමා ව එම ස්ථානයේ දී ම ඝතනය කළා ද, වෙනත් ස්ථානයක සිරගත කළාද, දේපළ රාජසන්තක කළා ද ආදී තොරතුරු කොහේ හෝ ලෙඛන ගතව තිබේ දැ යි මම නොදනිමි. (“උඩරට කැරැල්ල” කෘතිය ඇසුරිනි.) දංගමුවේ වලව්වේ වර්තමාන හිමිකරුගේ සහෝදරයෙකුගෙන් ලද තොරතුරකට අනුව දංගමුව මහ මුදලිවරයා විශාල කුඹුරු යායක් හිමි මී හරක් බාන් සීයකින් පමණ එක ම දවසක සී සෑම සිදු කළ හැකි ගොවි නායකයෙකි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය සහ පිරිස් බලය ගම්මට්ටමෙන් ඔහු සතු ව තිබී ඇත. එයින් ගම්‍ය වන්නේ සටන් සංවිධානයේදී ද ඔහුට විශාල හැකියාවක් තිබු බවයි. දඹවින්න වලව්ව ද එසේ ම වන්නට ඇත. සටන් පැවතී කාලයේ දී දඹවින්න පන්සල මුල් වී ගම්මු එක් රැස් කර ආහාර පාන ලබා දී ස්වදේශීකයින් බේරා ගෙන ඇති බව සඳහන් වේ. ග්‍රාමීය නායකත්වයට අවනත වීමේ පිළිවෙත අනුව 8000 ක සේනාවක් රැස්කර ගැනීමට ප්‍රාදේශීය නායකයින්ට හැකියාව තිබෙන්නට ඇති බව මෙම තොරතුරු වලින් නිගමනය කළ හැකි ය.


ඉංග්‍රීසි හමුදාවට ඔත්තු ලබා දී වෙළඳාමේ අයිතිය ලබා ගැනීමට මාන බැලූ පරණගම මුස්ලිම් ගමක් වූ තවලම්පොල ග්‍රාමයට මහනුවර මාහාධිකාරම් ඇහැලේපොල විසින් හමුදාවක් එවා පහර දීමක් ද සිදු වී ඇත. (ඌව පළාත් සංස්කෘතික අංශයේ ප්‍රකාශනයක් අනුව) උඩරට ආක්‍රමණයේ දී ඇහැළේපොළ නිලමේතුමා ඉංග්‍රීසීන්ට උදවු කරන ලද්දේ තම බිරිඳ හා දරුවන් තිදෙනා මරා දැමීමට එරෙහි ව සිංහල රජුගෙන් පළි ගැනීමේ චේතනාවෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම දඬුවම පැනවීමට කටයුතු කර ඇත්තේ එවකට පැවති සම්ප්‍රදායට අනුව ය. උඩරට රදළ පවුල්වල තිබූ බලතණ්හාව නිසා කුමන්ත්‍රණ කර ඇහැළේපොළ නිලමේතුමා කෙරෙහි සැකයක් ඇති කර තිබීම නිසා ය. ඉංග්‍රීසීන් ඇහැළේපොළ  නිලමේට මහනුවර රජකම ලබා දීමට කටයුතු කරන බවට ප්‍රයෝගකාරී ව පොරොන්දුවක් දී තිබූ බවද සඳහන් වේ. ඉංග්‍රීසි ආණ්ඩුකරු ප්‍රමුඛ හමුදා නිළධාරීන්ගේ අණට යටත් කරමින් මහාධිකාරම් යන බල රහිත පදවියක් ද ඇහැළේපොළ නිළමේතුමාට ලබා දී ඇත. ඇහැළේපොළ මහාධිකාරම් තම බලය පාවිච්චි කරමින් කරන ලද සමහර ක්‍රියාකාරකම් නිසා ඉංග්‍රීසීන් විසින් අත් අඩංගුවට ගෙන සිරගත කර ඇත.


දේශවාත්ශල්‍යයෙන් ඔද වැඩුණු සිංහල පිරිමි කාන්තා දෙපිරිස ම එකා වන් ව අත්වැල් බැඳගෙන හෙළයේ විමුක්ති අරගලයට කර දී උර දී දිවි පිදුවෝ ය. එහෙත් තම වර්‍ගයා පවා දී හෝ තාන්න මාන්න ලබා ගැන්මට මාන බලමින් තම පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමටත් සමහරු නොයෙකුත් කූට උපක්‍රම යෙදූ හ. මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ නිලමේවරුන් ඉන් සමහරකි.( පි. රාජපක්ෂ, සමාජ විද්‍යා පීඨයේ අංශාධිපති,  කැළණිය වි.වි.) කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු ව කන්ද උඩරට රාජ්‍යත්වයට උරුමකම් කීමට පුත්‍රයෙකු නො සිටියෙන්, එවකට දකුණු ඉන්දියානු මලබාර් දේශයේ නායක්කාර් වංශික බිසවකගේ ඥාතිවරයෙකු රාජාධි රාජසිංහ නමින් කන්ද උඩරට සිහසුන අල්ලා ගත්තේ ය. එසේ වුව ද ඔහු බෞද්ධාගම වැළඳගෙන බෞද්ධාගමේ උන්නතියට සහයෝගය දුන් නිසා සිංහල ජනතාවගේ හොඳහිත දිනා ගැනීමට සමත් විය. ඉන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසානය දක්වා ම (1815 මාර්තු දක්වා ම) කන්ද උඩරට රාජධානිය පාලනය කළේ මලබාර් වඩුග නායක්කාර් වංශික රජවරුන් ය. මෙම විජාතික පාලකයින්ගෙන් නැවත සිංහල කුමරෙකුට රජකම ලබා දිය යුතු යැයි මතයක් සිංහල ජනතාව අතර රහසේ ක්‍රියත්මක විය. මේ සඳහා පිළිමතලාවේ මහා ආධිකාරම්තුමා නායකත්වය ගෙන ඇත. මෙම සංසිද්ධිය ද රජුට එරෙහි කුමන්ත්‍රණ කරුවන්ට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට රුකුලක්ම විය.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල නිලමේ සමග උරණ වීමට මඟ සැලසුවේ ද උඩරට වලව් දෙකක රදලයෝ ය. ඇහැළේපොළ නිලමේගේ බිසව හා මද්දුම බංඩාර පුතු ඇතුළු දරු තිදෙනාට රජු නියම කළ ක්‍රෑර දඬුවම (මෙය ද චූදිතයාට දඬුවම දිය නො හැකි වූ විට ඥාතීන්ට දඬුවම් කිරීමත් එකල පැවති සම්ප්‍රදායකි.) නිසා රජු රාජ්‍යත්වයෙන් නෙපීමට සංවිධානය වන්නට ඇහැළේපොළ නිලමේතුමා සිතුවා විය හැකි ය. මොහුගේ සහෝදරියක විවාහ කරගෙන සිටි කැප්පෙටිපොල නිලමේතුමා ද සිය සහෝදරියගේ (ඇහැළේපොළ කුමාරිහාමිගේ) ජීවිතය වෙනුවෙන් කම්පාවට පත් වන්නට ඇත. එහෙත් එම කම්පාව නො අඟවා අවස්ථාවක් එනතුරු බලා සිටින්නට ද ඇත.


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි ද සිංහල වැසියක් බොහෝ දෙනෙකුගේ සහයෝගය තිබුණ බවට සාක්ෂි සැපයෙන්නේ ඉංග්‍රීසීන්ට එරෙ හිව වාගොල්ලේ සටනට කුසපත් ඇද හේවායන් තෝරා ගැනීමට සිදුවූවා යැයි පැවසෙන කාරණයෙනි. මේ අතර කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දකුණු ඉන්දියානු ඥාතිවරුන්ගෙන් සැදුම් ලත් හේවා පන්නයක් ද රජුගේ ආරක්ෂාවට සිටියහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට රාජ මාලිගය අතැර වෙස්වලාගෙන මහනුවර පෙදෙසෙන් ඉවත් වූයේ බ්‍රිතාන්‍යයන් මහනුවර රාජධානිය ආක්‍රමණය කළ පසු ව ය. මේ පැනයාමේ දී මැද මහනුවර බොමුරේ ආරච්චිලාගේ නිවසේ රැකවරණය ලැබුණු බව සඳහන් වේ. ඔත්තුකරුවන්ගෙන් ලත් තොරතුරු මත සබරගමුවෙන් පැමිණි සිංහල හේවා පන්නයක් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ වෙංකඩ රන්ගම්මා ඇතුළු සිංහල බිසෝවරුන් ද අල්ලා කුද බැඳ ලූහ. මේ වන විටත් කර්නල් හුක් යටතේ බ්‍රිතාන්‍ය හමුදාවක් ද මේ ප්‍රදේශයට ළඟා වෙමින් සිටියහ. මලබාර් හමුදාවෙන් බ්‍රිතාන්‍ය හමුදාවට ප්‍රහාරයක් එල්ල වුවත් ඔවුන් පරාජය වී මරණයට පත් වූහ. සබරගමුවෙන් පැමිණි සිංහල හමුදාව, බෝමුරේ රජු සිටි නිවස අසළට පැමිණි කර්නල් හුක් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය හේවායින්ට, සිරභාරයට ලක් ව සිටි ශ්‍රී වික්‍රම රජු සහ පිරිවර භාරදුන් බව සඳහන් වේ. හුක් සෙනෙවියා සිංහල රජු ව රැහැන්පටවලින් නිදහස් කොට දැඩි රැකවල් මැද කොළඹට ගෙන යන ලදී. හුක් සෙනෙවි තැන සිංහල රජුට වධහිංසා කළ සබරගමුව සිංහල හමුදාවට කස පහර දුන් බවට ද තොරතුරු ඇත. 1900 මුල භාගයේදී සබරගමුවේ දිසා විනිසුරුවෙකුගේ මූලිකත්වයෙන් බොමුරේ නිවස තිබූ ස්ථානයේ ස්මාරයක් ද තනා ඇත.


කැප්පෙටිපොල විරුවා උපත ලබා ඇත්තේ සතර කෝරළයේ ගොලහැල (කෑගල්ලේ විය යුතුය.) හෙවත් කැප්පෙටිපොල ග්‍රාමයේ ය. මාතලේ හිඟුරුකඩුව හෙවත් මොනරවිල ග්‍රාමයෙන් ඇහැළේපොළ කුමාරිහාමි සමග විවාහ වීමෙන් පසු ව මොනරවිල කැප්පෙටිපොළ යන නාමය භාවිතයට ගෙන ඇත. ඌව මහා දිසාවේ යන තනතුරු නාමය සහිත ව උඩරට සිංහල රජතුමාගෙන් පදවියක් ලබා ඇත්තේ තම ජීවිත පුජාවට (එනම් 1818.11.28) වසර 50කට පමණ පෙර ය. එතුමාගේ රාජ කාර්යයන් පිළිබඳ ව තිබෙන සන්නසක මෙලෙස සටහන් ව ඇත. “ශකරාජ වර්‍ෂ 1700 උඳුවප් මස අව අවසකවක්තිථිය ලත් ගුරු දින උඩුකිඳ වද මල්පොත විදානගමට අඩුක්කු රංහවඩිගමට ගංගා විෂ්ණු අවුල් සටකපට කරනවා කියා රංහවඩිගම මැද්දමා ඇවිත් සබ පැමිණ වාපුවා මෙම නඩුව අහ බලපු තැන රංහවඩියාට අයිති තිබෙන නිසාත්, පරම්පාරා ගණනක් භුක්ති විඳ‍ගෙන එන නිසාත් රංහවඩියාට මෙම ගම සේන්දුකර ශක වර්‍ෂ එක්දහස් සත්සියයට පැමිණි මෙම වර්ෂයෙහි උඳුවප් මස අවසත වක් නම් තිථිය ලත් ගුරු දින මෙදවස මෙම සීට්ටුව දුන්සේදීන්.”


“ඒ වගත් මෙසේ ම සුලුවඩන නිලමේද බදුලු ගබඩා ගමද බුත්තල ගබඩා ගමද ඇකිරිය කෝමාරිකේ ගබඩා ගමද, උල්පැන්ගේ තුනම්මඩුවේ මුල්තැනගේ ගාම අයද රුහුණු මහ කතරගම් දේවාලයේ බස්නායක නිලමේද ඌව මහා දිසාව කරවන මොණරාවිල දිසා රාළහාමි වම්හ.” (ඌව ඉතිහාසය කෘතියේ) මේ අනුව රංහවඩිගම පිහිටා තිබෙන්නේ පාළුගම දිවුරුම්වෙල සිට දංගමුව හරහා මහනුවර මාර්ගයේ (සඟුන් නාන තොට සහිත ගම හඟුන්නාව හරහා) දොඩම්වතු කපොල්ලට යා කෙරුණ රජ මාවතට සම්බන්ධ රංහවඩිගම ගමේ අයිතිය පිළිබඳව ද තහවුරු වේ. ඌවේ හෙළ විරුවන්ගේ ඉල්ලීම අනුව කැරලි කරුවන්ගේ පාර්ශවයට නායකත්වය දී සටන මෙහෙයවීම බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව කළ රජද්‍රෝහී ක්‍රියාවකැයි තීන්දු කර 1818 නොවැම්බර් මස 28 දින හිස ගැසුම් ලබා රට වෙනුවෙන් දිවි පිදුවේය. හිස සුන් කවන්ධ දේහය සෘජුව සිටගත් බවක් ජනප්‍රවාදයේ සඳහන් වේ.


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අප රට නිදහස 1948 දී ලබා ගත් පසු 1954 දී පමණ (ජෝන් කොතලාවල අගමැතිතුමාගේ කාලයේ විය යුතු ය.) එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෞතුකාගාරයේ තිබුණු වීර කැප්පෙටිපොල ශීර්‍ෂය මෙ රටට ගෙන්වා පාළුගම විද්‍යාලයේ දී මහජන ප්‍රදර්ශනයක් පැවැත්වූයේ ය. මේ ලියන මම ද බ/මැදවෙල විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙස මෙම ප්‍රතාපවත් අභීත රණවිරුවාගේ හිස නැරුඹුවෙමි. පසු කලෙක මහනුවර බෝගම්බර පිටියේ එම සදානුස්මරණීය ශීර්‍ෂය තැන්පත් කර සිහිවටන ස්මාරකයක් ඉදිකර ඇත. එවකට පැවැති උඩ පළාත ගම්කාර්ය සභාවේ යෝජනා සම්මතයක් අනුව පාළුගම විල්සන් බල කොටුව වටලා කෙරුණු බිම කැප්පෙටිපොල නමින් භාවිත වීම අරම්භ විය. ඉන් පසු ව මාතලේ මොනරවිල හිඟුරුකඩුව ගමේ ඇහැළේපොළ පරපුරේ නිවසකින් කැප්පෙටිපොළ විරුවාගේ ඡායාරූපයක් ලබා ගෙන විද්‍යාල භූමියේ වීරාභිවාදන පිළිරුවක් ද නිර්මාණය කර ඇත. (තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ ශිෂ්‍ය ටී.කේ.එම්. කීර්තිසිංහ තරුණයා ඡායාරූපය ලබා දීමට කටයුතු කර ඇත.) මින් පසු ව විද්‍යාලය කැප්පෙටිපොළ විදුහල විය. තැපැල්හල කැප්පෙටිපොළ තැපැල්හල විය. ගම ද කැප්පෙටිපොල නම් විය. එංලන්ත සභාව මගින් පාලනය වූ මිෂනාරී පාසලක් ද එදා පාළුගම තිබී ඇති අතර 1962 පාසල් රජයට පවරා ගැනීමෙන් රජයේ පාසලක් බවට පත් විය. බුස්දුල්ල ගමේ ද බුස්දුල්ල මෙතෝදිස්ත විද්‍යාලය නමින් මිෂනාරි පාසලක් තිබී ඇත.


මේ ආකාරයේ සමකාලීන සිදුවීමක් තවත් හඳුනා ගත හැකි ය. පරණගම මැක්ඩොනල්ඩ් කොටුවේ උප තැපැල්හල මැද පලාත ගම් කාර්ය සභාවේ යෝජනා සම්මතයක් අනුව ඌව පරණගම උප තැපැල් හල ලෙසින් නම් කෙරුණි. (අපවත් වී වදාල ඌවපරණගම කොටුව ශ්‍රී සුදර්ශනාධිපති මතුගම ඉංදසාර නාහිමිගේ ප්‍රකාශයකින් උපුටා ගන්නා ලදි.) 1957 දී අරඹන ලද ඌව පරණගම විද්‍යාලයත් 1964 දී මැක්ඩොනල්ඩ් කොටුව අසබඩ භූමියට ගෙනවිත් රජයේ ගොඩනැගිලි තනා ස්ථාපිත කර ඇත. මැක්ඩොනල්ඩ් කොටු භූමියේ ඌව පරණගම විද්‍යාලය ස්ථාපිත වී තිබෙන නිසා වර්තමානයේ ජනප්‍රිය වී පවතින්නේ “කොටුවේ ඉස්කෝලය” නමිනි.


ඌව ප්‍රදේශයට ම අතීතයේ දීත් සියලුම විජාතික ආක්‍රමණ පැවති වකවානුවල දී ආරක්ෂිත ප්‍රදේශයක් වී ඇත. පෞරාණික රජමාවත් කීපයක් ද තිබී ඇත. මෙම මාර්ග අසබඩ කොඩිගහ හින්න, දබරගල, අටුබැඳි ඇල්ල, ස්ත්‍රීපුර ආදී නම්වලින් කඳු පංතිය නම් කර තිබිමෙන් මේ බව වඩාත් තහවුරු වේ. ළඳුගස් යටින් රහසින් ගමන් කළ දබරගල පාමුල තිබුණ ලඳු උමග වත්මන් හී ලද්දුම ගම වත්මනේ නමින් භාවිතාවේ.



වී.ඒ. පොඩිඅප්පුහාමි වීරආරච්චි,


“පුබුදුව”,


සූරියගොල්ල, ලද්දුම.


ඌව පරණගම.


දුරකථනය :- 077 605 0867