ෆ්‍රෙන්ඩ්ස් (රූපවාහිනී කතාමාලාව)
ෆ්‍රෙන්ඩ්ස් යනු 1994 සැප්තැම්බර් 22 සිට 2004 මැයි 6 දක්වා අමෙරිකාවේ NBC නාලිකාවේ විකාශය වූ රූපවාහිනී කාලානුරුප ප්රහසනයකි. එය ඩේවිඩ් ක්‍රේන් සහ මාර්තා කෆ්මන් විසින් නිර්මාණය කරන ලද්දකි. එය කතා සමයයන් 10ක් ඔස්සේ දිග හැරුණු කතා මාලාවකි. මෑන්හැට්න් නගරයේ ජීවත් වන මිතුරන් පිරිසක් වටා කතාමාලාව දිග හැරේ. බ්‍රයිට්/කෆ්මන්/ක්රෙන් නිෂ්පාදකයන්, වෝනර් බ්‍රදර්ස් රූපවාහිනිය සමඟ එකතුව කතාමාලාව නිෂ්පාදනය කරන ලදී. මූලික විධායක නිෂ්පාදකයන් වුයේ කෙවින් එස්. බ්‍රයිට්, මාර්තා කෆ්මන්, සහ ඩේවිඩ් ක්රෙන් යන පිරිසයි.
Friends | |
---|---|
ප්‍රභේදය | කාලානුරූප ප්‍රහසන |
තැනුවේ | ඩේවිඩ් ක්‍රේන් මාර්තා කෆ්මන් |
රඟපෑම | ජෙනිෆර් ඇනිස්ටන් කර්ට්නි කොක්ස් ලීසා කුඩ්රෝව් මැට් ලෙබ්ලැන්ක් මැතිව් පෙරී ඩේවිඩ් ශ්විමර් |
තේමා සංගීත නිර්මාණකරු | මයිකල් ස්කොල්ෆ් ඇලී විලිස් |
ඇරඹුම් තේමාව | "අයි'ල් බි දෙය ෆෝ යූ" ද රෙම්බ්රන්ඩ්ට්ස් විසින් |
සම්භව රට | එක්සත් ජනපද |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 10 |
කථාංග ගණන | 236 (කථාංග ලැයිස්තුව) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ඩේවිඩ් ක්රෙන් මාර්තා කෆ්මන් කෙවින් එස්. බ්‍රයිට් මයිකල් බොර්කොව් (season 4) මයිකල් කර්ටිස් (season 5) ඇඩම් චේස්(season 5–6) ග්‍රෙග් මලින්ස් (season 5–7) විල් කල්හවුන් (season 7) ස්කොට් සිල්වරි (season 8–10) සැකිල්ල:J Andrew Reich (season 8–10) ටෙඩ් කොහෙන් (season 8–10) |
ස්ථානය(න්) | වෝනර් බ්‍රදර්ස් කලාගාර බර්බෑන්ක්, කැලිෆෝර්නියා |
කැමරා සැලැස්ම | Film; බහුවිධ-කැමරා |
ධාවන කාලය | 20–22 මිනිත්තු (per episode) 22–65 minutes (extended DVD episodes) |
නිෂ්පාදන සමාගම | බ්‍රයිට්/කෆ්මන්/ක්රෙන් නිෂ්පාදන වෝනර් බ්‍රොස් රූපවාහිනිය |
බෙදාහරින්නා | NBC වෝනර් බ්‍රදර්ස් රූපවාහිනී බෙදාහරින්නෝ (worldwide) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | NBC |
Kauffman සහ Crane 1993 නොවැම්බර් සහ දෙසැම්බර් අතර Insomnia Cafe යන මුල් කතා නාමය යටතේ ෆ්‍රෙන්ඩ්ස් රචනා කිරීම ආරම්භ කළහ. ඔවුන් බ්‍රයිට් වෙත අදහස ඉදිරිපත් කළ අතර, ඔවුන් එක්ව NBC වෙත කතා මාලාවේ පිටු හතක නිදර්ශකයක් ඉදිරිපත් කළහ. Six of One සහ Friends Like Us ආදී මාතෘකා වෙනස් කිරීම් ඇතුළුව පිටපත් නැවත ලිවීම් සහ වෙනස් කිරීම් කිහිපයකින් පසුව , කතා මාලාව අවසානයේ ෆ්‍රෙන්ඩ්ස් ලෙස නම් කරන ලදී.
කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයේ රූගත කිරීම් සිදු විය. එය විකාශනය වන අවදියේ රූපවාහිනී කතා මාලා ශ්‍රේණිගත කිරීම්වල මුල් දහය තුළ සම්පූර්ණ කතා මාලාවම ශ්‍රේණිගත විය; එහි අටවැනි කතා සමය ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ස්ථානයට පත්විය. කතා මාලාවේ අවසාන කොටස 2004 මැයි 6 වන දින විකාශය වූ අතර මිලියන 52.5 ක් පමණ ඇමරිකානු ප්‍රේක්ෂකයින් විසින් නරඹන ලද එය රූපවාහිනී ඉතිහාසයේ පස්වන වැඩිම නැරඹුම් සහිත කතා මාලා අවසාන කොටස සහ 2000 ගණන්වල වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී කථාංගය බවට පත් විය.
ෆ්‍රෙන්ඩ්ස් එහි විකාශන කාලය පුරාවටම ප්‍රශංසාවට ලක් වූ අතර, එය එතෙක් මෙතෙක් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන් වලින් එකක් බවට පත් විය. මෙම කතා මාලාව ප්‍රයිම් ටයිම් එමී සම්මාන 62 ක් සඳහා නාමයෝජනා ලද අතර, එහි අටවන වාරය සඳහා 2002 දී විශිෂ්ටතම ප්‍රහසන කතා මාලාව සඳහා සම්මානය දිනා ගත්තේය. TV Guide හි එතෙක් මෙතෙක් විශිෂ්ටතම රූපවාහිනී කතා මාලා 50 හි 21 වන ස්ථානයේත්, එම්පයර් සඟරාවේ එතෙක්මෙතෙක් විශිෂ්ටතම රූපවාහිනී වැඩසටහන් 50 හි 7 වන ස්ථානයේත් ෆ්‍රෙන්ඩ්ස් රැඳී සිටියි. 1997 දී, "The One with the Prom Video" කථාංගය TV Guide හි එතෙක් මෙතෙක් විශිෂ්ටතම රූපවාහිනී කථාංග 100 හි 100 වන ස්ථානය ලබා සිටියි. 2013 Writers Guild of America හි එතෙක් මෙතෙක් හොඳම රචනය සහිත රුපවාහිනි කතාමාලා අතර 24 වන ස්ථානයේත්, TV Guide හි එතෙක් මෙතෙක් විශිෂ්ටතම රූපවාහිනී කතා මාලා 60හි 28 වන ස්ථානයේත් කතාමාලාව රැඳී සිටියි. 2021 මැයි 27 දින HBO Max හි විශේෂ නැවත හමුවක් සඳහා මෙම ප්‍රහසන කතා මාලාවේ නළුනිළි කැළ එක්වූහ.
පසුබිම, ආරම්භය සහ ගලායාම
සංස්කරණයරේචල් ග්‍රීන්, තම විවාහ මංගල උත්සවය දිනයේ ඉන් පලායන, ධනවත් නමුත් තම ජීවිත අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වූ මිත්‍රශීලි කාන්තාවකි. මංගල ඇඳුම පිටින් දිවයන ඇයට සෙන්ට්‍රල් පර්ක් නම් අවන් හලේදී තම කුඩා කල මිතුරියක වන මොනිකා ගෙලර් හමුවෙයි. වෘත්තියෙන් සූපවේදිනියක වන මොනිකා සුපරික්ෂාකාරී, සියල්ල පිළිවෙලට කිරීමට තැත් කරන තරමක් දැඩි ගතිගුණ ඇති කාන්තාවකි. මොනිකා සිය නවාතැනෙහි රේචල්ට නවාතැන් ලබාදීමට කාරුණික වෙයි. පසුව රේචල් සෙන්ට්‍රල් පර්ක් හි වේටර්වරියක ලෙස සේවයට බැඳෙන අතර මොනිකාගේ මිතුරු මිතුරියන් පිරිස සමඟ වඩාත් මිත්‍රශීලි ලෙස සබඳතාවය වර්ධනය කරගන්නට ද ඇයට අවස්ථාව සැලසෙයි. එම මිතුරු මිතුරියන් වන්නේ වයස විසි ගණන්වල මැද හරියේ පසුවන ජෝයි ට්රිබියානි, ෆීබි බුෆේ, චැන්ඩ්ලර් බිං සහ රොස් ගෙලර් ය. ෆීබි, මොනිකාගේ කලින් කාමර සගයෙකි. ඇය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන අතර අමතර රැකියාවක් ලෙස ගීත ගායනය ද කරයි. ජෝයි, මොනිකාගේ නවාතැනට ඉදිරිපස නවාතැනේ හිමිකරු වන අතර කාන්තාවන් බොහෝමයක් ඇසුරු කරන තරමක මෝඩ පහේ පුද්ගලයෙකු වන ඔහු නළුවෙක් වශයෙන් ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා වෙහෙසෙන පුද්ගලයෙකි. චැන්ඩ්ලර්, ජෝයි ගේ කාමර සගයා ය. ඔහු උපහාසයට ලැදි, නිරහංකාර දත්ත සකසන්නෙකි. රොස්, මොනිකාගේ සහෝදරයා ය. චැන්ඩ්ලර්ගේ පාසල් කාලීන නේවාසික කාමර සගයෙකු වන, මිහිරි එහෙත් කලබලකාරී ගතිගුණ ඇති ඔහු ප්රාග් ඓතිහාසික යුගය පිලිබඳ පාෂාණ විද්‍යාඥයෙකි.
නළු නිළියන් සහ චරිත
සංස්කරණයපළමු කතා වාරය සඳහා ඔවුන්ගේ මුල් කොන්ත්‍රාත්තුවේ පරිදි, එක් කථාංගයකට රංගන ශිල්පීන්ට ඩොලර් 22,500 බැගින් ගෙවන ලදී. දෙවන කතා සමයේදී එක් කථාංගයකට ඩොලර් 20,000 සිට ඩොලර් 40,000 දක්වා විවිධ වැටුප් ලැබුණි. තුන්වන වාරය සඳහා ඔවුන්ගේ වැටුප් සාකච්ඡාවලට පෙර, වෝනර් බ්‍රදර්ස් සමාගමේ තනි පුද්ගල ගනුදෙනු සඳහා මනාපය නොතකා, සාමූහික ගනුදෙනු සාකච්ඡාවලට පිවිසීමට නළු නිළියන් තීරණය කළහ.ඒ අනුව නළු නිළියන්ට දුන්නේ අඩුම වැටුපක් ලබන නළුවාගේ වැටුපයි. තුන්වන වාරයේ කථාංගයකට ඩොලර් 75,000 ක් ද, හතරවන වාරයේ දී ඩොලර් 85,000 ක් ද, පස්වන වාරයේ දී ඩොලර් 100,000 ක් ද, හයවන වාරයේ දී ඩොලර් 125,000 ක් ද, හත සහ අට වාරවලදී දී ඩොලර් 750,000 ක් ද, සීසන් නවය සහ දහයේ දී එක් කතාංගයකට ඩොලර් මිලියනයක් බැගින් ද ගෙවනු ලැබිණි. ඒ අනුව ඇනිස්ටන්, කොක්ස් සහ කුඩ්රෝ එතෙක් මෙතෙක් වැඩිම වැටුප් ලද රූපවාහිනී නිළියන් බවට පත් විය. 2000 සිට නැවත සාකච්ඡාවලින් පසුව නළු නිළියන්ට සින්ඩිකේෂන් විකාශනයන් හි මුදල් ද ලැබුණි. එකල, ප්‍රදර්ශනයේ ලාභදායි පසුපෙළ ලාභයේ එම මූල්‍ය ප්‍රතිලාභය ලබා දී තිබුණේ ජෙරී සයින්ෆෙල්ඩ් සහ බිල් කොස්බි වැනි වැඩසටහනක හිමිකාරීත්වය හිමි තරුවලට පමණි.
කතා මාලාවේ නිර්මාතෘ ඩේවිඩ් ක්‍රේන්ට අවශ්‍ය වූයේ නළුවන් හය දෙනාම එක හා සමානව කැපී පෙනෙන ලෙස සිටීමයි. මෙම කතා මාලාව පළමු සැබෑ 'සමූහය' අරුත් නංවන ප්‍රසංගය ලෙස පැසසුමට ලක් විය. රංගන ශිල්පීන් 'සමූහය' ලෙස පෙනී සිටීමට සෑම විටම තැත් දැරූ අතර එක් සාමාජිකයෙකු අනෙකා පරයා යාම වළක්වා ගැනීමට උත්සාහ කළහ. ඔවුන් සම්මාන සඳහා එකම රංගන කාණ්ඩවලට ඇතුළත් වූවාක් මෙන්ම සාමූහික වැටුප් සාකච්ඡා වලට ද එකඟ වූ ඔවුන් පළමු වාරයේ, සඟරා කවර ඡායාරූපවලට එකට පෙනී සිටින ලෙස ඉල්ලා සිටියහ. නළු නිළියන් තිරයෙන් පිටත හොඳම මිතුරන් බවට පත් විය; කෙතරම්ද යත්, පුනරාවර්තන ආරාධිත නළුවෙකු වන ටොම් සෙලෙක් වාර්තා කළේ ඔහුව සමහර විට නොසළකා හරින ලද බවක් දැනුණු බවයි.
-
ජෙනිෆර් ඇනිස්ටන්
රේචල් ග්‍රීන් ලෙස -
කර්ට්නි කොක්ස්
මොනිකා ගෙලර් ලෙස -
ලීසා කුඩ්රෝ
ෆීබි බුෆේ ලෙස -
මැට් ලෙබ්ලෑන්ක්
ජෝයි ට්රිබියානි ලෙස -
මැතිව් පෙරී
චැන්ඩ්ලර් බිං ලෙස -
ඩේවිඩ් ෂ්විමර්
රොස් ගෙලර් ලෙස
ජෙනිෆර් ඇනිස්ටන් රේචල් ග්‍රීන් ලෙස: විලාසිතා ලෝලිනියක් සහ මොනිකා ගෙලර්ගේ කුඩා කල සිටම හොඳම මිතුරිය ලෙස චරිත නිරූපණය කරයි. රේචල් ප්‍රථම වරට මොනිකා සමඟ සම්බන්ධ වන්නේ පළමු කතා සමයේ බැරී ෆේබර් සමඟ විවාහ වීමෙන් පසුවය. රේචල් සහ රොස්, පසුව කතා මාලාව පුරාවට නැවත නැවතත්, ප්‍රේම සම්බන්ධතාවයකින් බැඳෙයි. රේචල් කතා මාලාව අතරතුරදී අසල්වැසි ඉතාලි ජාතික පාවුලෝ වැනි අනෙකුත් පිරිමින් සමඟ ආලය කරයි. හතරවන කතා සමයේ ජෝෂුවා බර්ජින් (බ්ලූමිංඩේල් හි සේවාදායකයෙක්): හත්වන කතා සමයේ ඇගේ සහායක ටැග් ජෝන්ස්; දහවන කතා සමයේ ජෝයි ට්රිබියානි සමඟ ඇය තරමක් දිගු කාලීන සබඳතා පවත්වයි. රේචල්ගේ පළමු රැකියාව වන්නේ සෙන්ට්‍රල් පර්ක් කෝපි හවුස් හි වේටර්වරියක් ලෙසය. නමුත් පසුව ඇය තුන්වන වාරයේ බ්ලූමින්ඩේල් හි සහකාර ගැණුම්කාරියක් වන අතර පස්වන වාරයේ රැල්ෆ් ලෝරන් හි ගැණුම්කාරියක් බවට පත් වේ. අටවන කතා සමය අවසානයේ හි රේචල් සහ රොස්ට එමා නම් දියණියක් සිටී. මාලාවේ අවසාන කථාංගයේ දී, රොස් සහ රේචල් එකිනෙකාට තම ආදරය පාපොච්චාරණය කරන අතර, රේචල් ඔහු සමඟ සිටීමට තම රැකියා සිහිනය වූ පැරිසියේ ලුවී වුටන් හි විලාසිතා රැකියාවක් අත්හැර දමයි. මාලාවේ අවසන් කතාංගයෙන් පසුව රේචල් රොස් සමඟ විවාහ වූ බව, ජෝයි නමැති අතිරේක කතා මාලාවේ ප්‍රබල ලෙස ඉඟි කරයි.
කර්ට්නි කොක්ස් මොනිකා ගෙලර් ලෙස: කණ්ඩායමේ "ආයම්මා" සහ වෘත්තියෙන් සූපවේදිනියක වෙයි. ඇය පරිපූර්ණත්වය, ප්‍රධානීත්වය, තරඟකාරීත්වය, සහ අධිකාරිත්වය ආදී චරිත ස්වභාවයන් සඳහා ප්‍රසිද්ධය. මොනිකා කුඩා කාලයේ අධික බරින් යුක්ත විය. ඇය කතා මාලාව පුරාවට විවිධ අවන්හල්වල සූපවේදිනියක් ලෙස කටයුතු කරයි. මොනිකාගේ පළමු බැරෑරුම් සම්බන්ධය දිගු කාලීන පවුලේ මිතුරෙකු වන රිචඩ් බර්ක් සමඟ ය. ඔහු ඇයට වඩා අවුරුදු විසි එකක් වැඩිමල් ය. රිචඩ් තමාට දරුවන් ලැබීමට අවශ්‍ය නැති බව ප්‍රකාශ කරන තෙක් දෙදෙනා යම් කාලයක් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වති. මොනිකා සහ චැන්ඩ්ලර් පසුව සතරවන කතා සමයේ අවසාන භාගයේ ලන්ඩනයේ එකිනෙකා සමඟ රාත්‍රියක් ගත කිරීමෙන් පසු සම්බන්ධතාවයක් ආරම්භ කරයි, එය හත්වන කතා සමයේ ඔවුන්ගේ විවාහය සහ කතා මාලාව අවසානයේ නිවුන් දරුවන් හදා වඩා ගැනීම දක්වා ශක්තිමත් සම්බන්ධතාවයක ආරම්භය වෙයි.
ලීසා කුඩ්රෝ ෆීබි බුෆේ ලෙස: සම්බාහන ශිල්පිනියක සහ ස්වයං-උගත් සංගීත ශිල්පිණියක වෙයි. කුඩා අවධියේදී, ෆීබි තම මව සමඟ නිව් යෝර්ක් හි ජීවත් වූ අතර, ඇගේ මව සියදිවි නසාගැනීම නිසා ෆීබි පාරට ඇද වැටෙයි. ඇය ගිටාරය වාදනය කරමින් තමාගේම අමුතු ශෛලියක ගීත ලියා ගායනා කරයි. ඇයට උර්සුලා නම් සමාන නිවුන් සොහොයුරියක සිටී. ඇය ෆීබිගේ ගති ලක්ෂණ කිහිපයක් බෙදා ගනී. කතා මාලාවේ ධාවන කාලය තුළ ෆීබි හට බරපතල සබඳතා තුනක් ඇත: පළමු කතා සමයේ විද්‍යාඥයෙක් වන ඩේවිඩ් සමඟ. ඔහු පර්යේෂණ ප්‍රදානයක් මත මින්ස්ක් වෙත ගිය විට ඇය ඔහුගෙන් වෙන් වෙයි; පස්වන කතා සමයේ පොලිස් නිලධාරියෙක් වන ගැරී සමඟ; සහ නවවන සහ දහවන වාර වලදී මයික් හැනිගන් සමඟ සම්බන්ධයක්. ෆීබි සහ මයික් විවාහ වන්නේ දහවැනි කතා වාරයේ දී ය.
මැට් ලෙබ්ලෑන්ක් ජෝයි ට්රිබියානි ලෙස: ඩේස් ඔෆ් අවර් ලයිව්ස් නම් සෝප් ඔපෙරාවේ දොස්තර ඩ්‍රේක් රමෝරේ ලෙස ඔහුගේ භූමිකාව නිසා ප්‍රසිද්ධියට පත් වන එහෙත් ස්ථාවර බවක් ගොඩනගා ගැනීම සඳහා වෙහෙසෙන නළුවෙක් සහ ආහාර ලෝලියෙකි. ජෝයිට බොහෝ කෙටි කාලීන පෙම්වතියන් සිටී. ඔහුගේ ස්ත්‍රී ලෝලිත්වය තිබියදීත්, ජෝයි අහිංසක, සැලකිලිමත් සහ යහපත් චේතනාවෙන් යුක්තය. ඔහුට මුණගැසෙන බොහෝ කාන්තාවන් දිනා ගැනීමට ඔහු දරන උත්සාහයේදී ජෝයි බොහෝ විට භාවිතා කරන්නේ "ඔබට කොහොමද? (How you doin'?)" යන සුපුරුදු වදනයි. ජෝයි වසර ගණනාවක් ඔහුගේ හොඳම මිතුරා වන චැන්ඩ්ලර් සමඟත් පසුව රේචල් සමඟත් හවුලේ නවාතැන් ගත කරයි. ඔහු අටවන කතා වාරයේදී රේචල් සමඟ ආදරයෙන් බැඳෙන නමුත්, රේචල් ජෝයිට ආචාරශීලීව පවසන්නේ ඇය ඔහුගේ හැඟීම් බෙදා නොගන්නා බවයි. ඔවුන් අවසානයේ 10 වන වාරයේ කෙටි කාලයකට පෙම් සබඳතාවක් පවත්වයි, නමුත් ඔවුන්ගේ මිත්‍රත්වය සහ රොස් සමඟ රේචල්ගේ සංකීර්ණ සම්බන්ධය නිසා එය ක්‍රියාත්මක නොවන බව වටහා ගත් පසු, ඔවුන් නැවත මිතුරන් වීමට පටන් ගනී. මාලාව අවසානයේ, ඔහු කණ්ඩායමේ ඉතිරිව සිටින එකම තනිකඩ සාමාජිකයා වන අතර, ජෝයි නමැති අනුක්‍රමික කතා මාලාවේ ප්‍රධාන චරිතය බවට පත්වේ.
මැතිව් පෙරී චැන්ඩ්ලර් බිං ලෙස: විශාල බහුජාතික සමාගමක් සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණය සහ දත්ත ප්‍රතිසංවිධානය කිරීමේ විධායක නිලධාරියෙකි. හොඳින් ගෙවන නමුත් චැන්ඩ්ලර් මෙම රැකියාවට වෛර කරයි. ඔහු පළමු කතා වාරයේ දී ඉන් ඉවත් වීමට උත්සාහ කරන නමුත් නව කාර්යාලයක් සහ වැටුප් වැඩිවීමක් හිමි වීමත් සමඟ නැවත ආකර්ෂණය වේ. ටුල්සා වෙත මාරුවීමක් හේතුවෙන් ඔහු අවසානයේ නවවන කතා වාරයේදී මෙම රැකියාවෙන් ඉවත් වේ. ඔහු එම කතා වාරයේ පසුව වෙළඳ ප්‍රචාරණ ආයතනයක කනිෂ්ඨ පිටපත් රචකයෙකු බවට පත් වේ. චැන්ඩ්ලර්ට සුවිශේෂී පවුල් ඉතිහාසයක් ඇත්තේ කාමුක නවකතාකාරියක ඔහුගේ මව වීම නිසා සහ සහ සමලිංගික, කාන්තා විලාසිතාවෙන් සැරසෙන ලාස් වේගාස් හි රිකියාවේ නියුතු අයෙකු ඔහුගේ පියා වීම නිසාවෙනි. චැන්ඩ්ලර් ඔහුගේ උපහාසාත්මක හාස්‍යජනක හැඟීම නිසාවෙන් සහ සබඳතාවන් ඇති කරගැනීමේ දී වාසනාව අහිමි අයෙකු ලෙස ප්‍රසිද්ධය. චැන්ඩ්ලර් හත්වන කතා වාරයේදී ඔහුගේ හොඳම මිතුරියක වන මොනිකා සමඟ විවාහ වන අතර, ඔවුන් කතා මාලාව අවසානයේ නිවුන් දරුවන් හදා වඩා ගනී. මොනිකා සමඟ ඔහුගේ සම්බන්ධතාවයට පෙර, චැන්ඩ්ලර් පළමු වාරයේ දී ජැනිස් හොසන්ස්ටයින් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අතර පසුව ඇය සමඟ බොහෝ වාරයක් වෙන් විය.
ඩේවිඩ් ෂ්විමර් රොස් ගෙලර් ලෙස: මොනිකාගේ "ගීකි" වැඩිමහල් සොහොයුරා වන අතර, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ සේවය කරන පාෂාණ විද්‍යාඥයෙක් සහ පසුව නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ පාෂාණ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. කතා මාලාව පුරාම රොස්, රේචල් සමඟ නැවත නැවතත්, නැවත නැවතත් පෙම් සබඳතාවක නිරත වේ. කතා මාලාව අතරතුර ඔහුට අසාර්ථක විවාහ තුනක් ඇත: කැරොල් විල්ක්, ඔහුගේ පුත් බෙන් ගෙලර්ගේ මව වන අතර සමලිංගිකයෙකි; එමිලි වෝල්තම්, ඔහුගේ විවාහ පොරොන්දුවේදී අහම්බෙන් ඇගේ නම වෙනුවට රේචල්ගේ නම පැවසීමෙන් පසු ඔහුව දික්කසාද කරයි; සහ රේචල්, ඔවුන් දෙදෙනා බීමතින් ලාස් වේගාස්හිදී විවාහ වෙයි. ඔහුගේ දික්කසාද, කතා මාලාව තුළ දිවෙන ප්‍රධාන විහිළුවක් බවට පත්වේ. එක් රාත්‍රියක සබඳතාවයක් නිසා පසුව, අටවන වාරයේ අවසානය වන විට ඔහුට සහ රේචල්ට එමා නම් දියණියක් සිටී. කතා මාලාවේ අවසාන කොටසේදී ඔවුන් තවමත් එකිනෙකාට ආදරය කරන බව අවසානයේ පාපොච්චාරණය කරයි. කතා මාලාවේ අවසානයෙන් පසුව රොස් රේචල් සමඟ විවාහ වූ බව, ජෝයි නමැති අනුක්‍රමික කතා මාලාවේ දැඩි ලෙස ඇඟවුම් කර ඇත.
ජේම්ස් මයිකල් ටයිලර් කතා මාලාවේ සෑම වාරයකම සෙන්ට්‍රල් පර්ක් හි බැරිස්ටාවරයෙක් වන ගන්තර් ලෙස පෙනී සිටින නමුත් ආරාධිත තරුවක් ලෙස පමණක් ගෞරවයට පාත්‍ර වේ. මුළු කතා මාලාව පුරාම ගන්තර්ට රේචල් කෙරෙහි බොහෝ දුරට රහසිගත ගැඹුරු ආදරයක් ඇත. එක් අවස්ථාවක ඔහු කෝපි හවුස් හි කළමනාකරු බවට පත් වේ. ගන්තර් ඉංග්‍රීසි භාෂාවට අමතරව ලන්දේසි භාෂාව කතා කරන බවත්, හිටපු සෝප් ඔපෙරා නළුවෙකු බවත් අනාවරණය වේ.
කතාංග
සංස්කරණයපළමු කතා සමය
සංස්කරණයපළමු කතා වාරයේ දී, නිව් යෝර්ක් නගරයේ ජීවත් වන ප්‍රධාන චරිත හය හඳුන්වා දෙයි: රේචල් ග්‍රීන්, වේටර්වරියක්; වෘත්තීය අරක්කැමියෙකු වන මොනිකා ගෙලර්; ඇගේ පාෂාණ විද්‍යාඥ සහෝදරයා, රොස් ගෙලර්; නිදහස් මනෝභාවයකින් යුත් සම්බාහන ශිල්පිණියක වන ෆීබි බුෆේ; රංගනයට අවස්ථා සොයන නළුවෙකු වන ජෝයි ට්රිබියානි සහ රොස්ගේ විද්‍යාලයේ මිතුරෙකු වන චැන්ඩ්ලර් බිං, නිශ්චිත රැකියාවක් නොදනී. රේචල් ඇගේ මංගල ඇඳුම ඇඳගෙන සෙන්ට්‍රල් පර්ක් වෙත පැමිණෙන්නේ ඇගේ පෙම්වතා වූ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වූ බැරී පූජාසනය අසලදී අත්හැර දැමීමෙන් පසුවය. ඇය ඇගේ උසස් පාසැල් මිතුරියක වන මොනිකාගේ මහල් නිවාසයට ගොස් සෙන්ට්‍රල් පර්ක් හි වේටර් රැකියාවක් ලබා ගනී. උසස් පාසලේ සිටම රේචල් කෙරෙහි ඇල්මක් ඇති රොස් බොහෝ විට ඇය කෙරෙහි තම හැඟීම් ප්‍රකාශ කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, ඔහුගේ අනාරක්ෂිත භාවය නිසා, රේචල් ඉතාලි අසල්වැසියෙකු වන පාවුලෝ සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම සහ ඔහු තම සමලිංගික හිටපු බිරිඳ කැරොල් සමඟ පුත් බෙන්ට උපත ලබා දීම ආදී බොහෝ බාධා ඔහු වෙත පැමිණේ. ජෝයිට කිසිවිටෙක ස්ථිර පෙම්වතියක් නොමැති අතර නොනවත්වාම විවිධ කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වයි. ෆීබි, බොහෝ දුරට ඇය කුඩා කාලයේ ඇගේ මව සියදිවි නසා ගැනීම සහ කලක් වීදිවල ජීවත් වීම හේතුවෙන් තරමක් විචිත්‍රවත් හා විකේන්ද්රිය මනෝභාවයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, කල්ලිය එය නොසලකා ඇයට ආදරය කරයි. චැන්ඩ්ලර් ඔහුගේ පෙම්වතිය වන ජැනිස් (මැගී වීලර්) සමඟ වෙන් වන්නේ මාලාව පුරාවටම ඇය සමඟ නැවත සම්බන්ධ වන බව සොයා ගැනීමට පමණි. කතා වාරයේ අවසානයට ආසන්නව, රොස් චීනයේ පාෂාණ විද්‍යා ගවේෂණයක යෙදී සිටින අතර, චැන්ඩ්ලර්ගේ මුවින් අහම්බෙන් රොස් රේචල්ට ආදරය කරන බව ගිලිහී යයි, පසුව ඇය ඔහු ගැන සැලකිලිමත් වන බව ඇය ද තේරුම් ගනී. චීනයේ සිට ආපසු එන රොස් වෙනුවෙන් රේචල් ගුවන් තොටුපළේ රැඳී සිටීමෙන් වාරය අවසන් වේ.
දෙවන කතා සමය
සංස්කරණයරේචල් රොස්ව ගුවන් තොටුපළේදී පිළිගන්නා අතර ඔහු උපාධි පාසලේ සිට දැන සිටි ජූලි (ලෝරන් ටොම්) සමඟ ආපසු පැමිණි බව දැන ගැනීමට ලැබෙයි. ඇය රොස්ට ආදරය කරන බව පැවසීමට රේචල් දරන උත්සාහයන්, පළමු කතා වාරයේ ඇයට ඔහුගේ ආදරය පැවසීමට රොස් දැරූ අසාර්ථක උත්සාහයන් පිළිබිඹු කරයි. ඔහු රේචල් වෙනුවෙන් ජුලී සමඟ වෙන්වීමෙන් පසු, රේචල්, ඇය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීමේ අවාසි පිළිබඳ රොස්ගේ ලැයිස්තුව සොයාගත් විට ඔවුන් අතර ගැටුම් වර්ධනය වේ. ඔවුන් අවසානයේ සම්බන්ධතාවයක් ආරම්භ කරන්නේ, රේචල් ඇගේ සහ මොනිකාගේ ප්‍රොම් රාත්‍රියෙන් පැරණි නිවසේ වීඩියෝවක් දැකීමෙන් පසුවය. මොනිකා Iridium අවන්හලේ ප්‍රධාන අරක්කැමියා ලෙස උසස් කරනු ලබන අතර, පසුව සැපයුම්කරුවෙකුගෙන් තෑගි භාර ගැනීම නිසා සේවයෙන් පහ කරනු ලැබේ, එය සමාගම් ප්‍රතිපත්තියට පටහැනි වේ. මුදල් අවශ්‍ය නිසා ඇයට 1950 ගණන්වල විලාසිතාවේ භෝජන සංග්රහයක වේටර්වරියක් ලෙස ලැජ්ජා සහගත රැකියාවක් කිරීමට සිදුවේ. ඇය මෑතකදී දික්කසාද වූ පවුලේ මිතුරෙකු වන රිචඩ් බර්ක් (ටොම් සෙලෙක්) සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරයි, ඔහු ඇයට වඩා අවුරුදු 21ක් වැඩිමල්ය. දැනටමත් පියෙකු වන රිචඩ්ට තවත් දරුවන් අවශ්‍ය නොවන බව මොනිකාට වැටහීම නිසා ඔවුන් අවසානයේ බිඳී යයි. ජෝයි, ඇමෙරිකාවේ NBC නාලිකාවේ විකාශය වන ජනප්‍රිය සෝප් ඔපෙරාවේ ප්‍රබන්ධ අනුවාදයක් වන ඩේස් ඔෆ් අවර් ලයිව්ස් හි ස්නායු ශල්‍ය වෛද්‍ය ඩ්‍රේක් රමෝරේ ලෙස රඟපායි. ඔහු ඔහුගේ සහ චැන්ඩ්ලර්ගේ මහල් නිවාසයෙන් පිටව යාම නිසා නව නේවාසික මිතුරෙකු ලෙස එඩී (ඇඩම් ගෝල්ඩ්බර්ග්) ලබා ගැනීමට චැන්ඩ්ලර්ට සිදු වෙයි. කෙසේ වෙතත්, එඩී කරදරකාරී සහ තරමක් ව්‍යාකූල වේ. සෝප් ඔපෙරා සඟරාවක සම්මුඛ සාකච්ඡාවකදී ජෝයි, ටෙලි නාට්‍යයේ බොහෝ පේළි තමන්ම ලියන බව පැවසීම නිසා, අමනාපයට පත්වන සැබෑ රචකයා, ඔහුගේ චරිතය මරා දමනු ලැබේ. ඔහුගේ මිල අධික නව මහල් නිවාසය සඳහා තවදුරටත් මුදල් ගෙවීමට නොහැකි වන ජෝයි, එඩීව පන්නා දමමින් චැන්ඩ්ලර් සමඟ පැරණි නවාතැනේ වාසයට ආපසු පැමිණේ. කතා වාරයේ අවසාන කොටසේදී, චැන්ඩ්ලර් ඔන්ලයින් චැට් රූම් එකක නිර්නාමික කාන්තාවක් සමඟ කතා කරයි. ඔවුන් පෞද්ගලිකව හමුවීමට එකඟ වූ විට, එම කාන්තාව ජැනිස් බව දැනගන්නට ලැබෙයි.