ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවකි. ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය හැක. නුතනයේ විෂය ක්‍ෂෙ‍්ත‍්‍රයන් ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත. Oxford ‍” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ කි‍්‍රයා කිරීමයි . මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.

ළමයා යන්නෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය අනුව වයස අවු: 18 ට අඩු සෑම මනුෂ්‍යයෙකුම අදහස් වේ. ඒ අනුව ළමයා මවුපිය ආදරය අපේක්ෂා කරන කරුණාව හා දයාව ලැබිය යුතු මාපියන්ගෙන් මෙන්ම සමාජයේ රැකවරණය ආරක්ෂාවට ලක්විය යුතු අය බව පෙනී යන්නකි (save the children date not mention :1).

ළමයින් වැඩිහිටියන්ගේ රැකවරණය තුළ ජීවත්වන කොටසකි. ඔවුන් ළමුන් ලෙස නිර්වචනය කරනු ලබන එක් සාධකයක් වනුයේ ද වැඩිහිටියන්ගේ ආධාර සහ උපකාර මත ජීවත්වීමයි. වර්තමානයේ ළමයින්ගෙන් විශාල කොටසකට ඔවුන්ගේ ළමා කාලය නිසි පරිදි ගතකිරීමට අවශ්‍යකරන පහසුකම් ලැබී නැත. ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

ළමා අපයෝජන වර්ග

සංස්කරණය

ළමා අපයෝජනයේ විවිධ ස්වරූපයන් හඳුනා ගත හැකි අතර විවිධ වර්ග කිරීම් මගින් නොයෙක් අදහස් ද පෙන්වා දී ඇත. ළමා අපයෝජන ක‍්‍රියාවලිය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නා අතරම එක් එක් අපයෝජන චර්යා රටාවන්ද එකිනෙකින් වෙනස්වන එකිනෙක හා සුවිශේෂී ලක්‍ෂණ සහිත තත්ත්වයක් ද පෙන්නුම් කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී එකිනෙක හා අන්තර් සබඳතාවන් ද පවත්නා බව පැහැදිලිය. එනම් එක් කණ්ඩායමකට අයත් අපයෝජන තත්ත්වයන්ට ගොදුරුවන දරුවන් එම හේතුව හෝ අවස්ථාව නිසාම වෙනත් අපයෝජන ක‍්‍රියාවකට ගොදුරුවීමට ඉඩකඩ ඇත (WHO 2005 :4, කුමාර 2001:40-41).

කායික අපයෝජනය

සංස්කරණය

ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන තත්ත්වයන් අතර ළමයි අහිතකර ලෙස අත පත ගෑම පර්මුඛ ස්ථානයක් ගනු ලබන අතර ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන කායික හිංසන කි‍්‍රියාවන් අපරාධ නීතිය හෝ වෙනත් නීති සංග‍්‍රහයන් මගින් වරදක් ලෙස සැළකීම තුළ මෙවැනි කි‍්‍රයා අපරාධ ගණයට වැටෙයි. ළමයෙකු ශාරීරිකව අපචාරයට ලක්කළ හැකි වන්නේ පහරදීම, නිරාහාරව තැබීම, දම්වැල් වැනි දෙයකින් බැඳීම ආදිය මගිනි. මෙවැනි අපචාරයන් පවුල් තුළ පාසල, නිවසකදී, ළමා නිවාසයකදී සිදුවීමට ඉඩ ඇත (ගුණරත්න 2000: 89). කායික අපයෝජනයට ‍හෝ හිංසනයට ගොදුරුවන දරුවන් එමගින් විවිධ අහිතකර තත්ත්වයන්ට ලක්වෙති. මේ අතුරින් ප‍්‍රධාන වන්නේ හිංසනය හේතුවෙන් කෙටිකාලීනව හෝ ක්‍ෂණිකව ඇතිවන කායික බලපෑම් ය. ශාරීරික වශයෙන් තුවාල, තැලීම් ලක්‍ෂණ, පිලිස්සුම් ලකුණු, කැඞීම් හා සීරීම් ලකුණු බොහෝ දුරට පෙන්නුම් කරයි. ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිකර ප‍්‍රතිඵල, අස්ථි බිදීයාමේ තත්ත්වයන් හා ශරීරය තුළ අභ්‍යන්තරව සිදුවන ලේ ගැලීම් වලට භාජනයවීම් ආදිය තුළ දරුවන් ළමා සංවර්ධනය ආශ‍්‍රිත ගැටළු වලට, චර්යාත්මක ගැටළු හා අක‍්‍රමතාවන්ටද ලක්වේ. පෞරුෂමය දුර්වලතාවන්, ලැජ්ජාශීලී සමාජයට වෛර කරන පසුබෑමට ලක්වූ දරුවන් බිහිවීම කායික හිංසනයේ ප‍්‍රතිඵලයන්ය (සිල්වා 2000: 1-4).

චිත්තවේගී අපයෝජනය

සංස්කරණය

ළමා අපයෝජන ක‍්‍රියා ශාරීරික අපයෝජනයට සීමා නොවන අතර ශාරීරික වශයෙන් කරන හිංසා වලින් තොරව චෛතසිකව ද අපචාරයට ලක්වේ. රළු වචන භාවිතා කිරීම, බිය ගැන්වීම, තර්ජනය කිරීම, හුදකලා බවට පත්කිරීම වැනි ක‍්‍රියාවලීන් මෙන්ම දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම, නොසලකා හරිනු ලැබීමද මෙයට අයත්වේ. චිත්තවේගී අපචාරයන්, ශාරීරික අපයෝජනයන් මෙන් හඳුනා ගැනීම අපහසු නිසා මේ තත්ත්වයන් සනාථ කිරීම වඩා අපහසුය (ගුණරත්න 2000: 91)

ළමා මෙහෙකරුවන් ලෙස යෙදවීම

සංස්කරණය

කුඩා දරුවන් ඔවුන්ට ඔරොත්තු නොදෙන රැුකියාවන් වල යොදවමින් ළමා ශ‍්‍රමය සූරාකෑම ද දක්නට ලැබෙන අතර වයසින් අඩු දරුවන් කුඩා කාලයේ සිටම විවිධ සේවාවල යෙදවීම වර්තමානයේ දැකිය හැකිය. ළමයින්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන අනිසි තත්ත්වයන් ලෙස මෙය සඳහන් කළ හැක. මේ අනුන ලෝකයේ බොහෝ රටවල දරුවන් ශ‍්‍රමිකයින් ලෙස යොදවා ගැනීම වරදක් ලෙස නීතියෙන් අර්ත දක්වා තිබේ. 1999 දී ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතය පිළිබඳව 1982 දරණ සම්මුතිය මගින්ද ලෝකයේ පවත්නා වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතාමය තත්වයන් වැළැක්වීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඇත (කම්කරු දෙපාර්තමේන්තුව 2005:18).

ලිංගික අපයෝජනය

සංස්කරණය

ළමයින්ට එරෙහි අපයෝජන තත්ත්වයන් අතුරින් ලිංගික අපයෝජනය බරපතල ගැටළුවක් ලෙස නුතනයේ පිළිගැනෙයි. වර්තමානය වන විට ලෝකයේ සෑම රටකම පාහේ ළමයින්ට එරෙහි ලිංගික අපයෝජනය අපරාධ හෝ වරදක් ලෙස අර්ත දක්වා තිබීමෙන් එහි ඇති බරපතල බව තව දුරටත් පැහැදිලිවේ.සරල විග‍්‍රහයේදී ළමා ලිංගික අපයෝජනය ලෙස සැළකෙන්නේ යම් කිසි වැඩිහිටියකු විසින්, පුද්ගලයකු විසින් කිසියම් ලිංගික කි‍්‍රයාවක් සඳහා දරුවකු යොදවා ගැනීමයි. නමුත් වර්තමානය වනවිට ලිංගික අපයෝජනය වඩා සංකිර්ණ ස්වභාවයක් ගන්නා අතර ඊට හේතුවන්නේ නුතනයේ ළමා ලිංගික අපයෝජනය විවිධ ස්වරූපයෙන් යුතුව කි‍්‍රයාත්මක වීමයි.

කායිකමය ස්වරූපයෙන් පරිභාහිරවද සිදුවන බව පෙනේ.වර්තමාන ලොව බොහෝ රටවල් ශ‍්‍රී ලංකාවේ සංශෝධිත නීති මගින්ද ළමා ලිංගික අපයෝජනයේ කායික කි‍්‍රයාවන් කෙරෙහි මෙන්ම කායික ලිංගික වැරදි පිළිබඳවද දක්වා තිබේ. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහ සංශෝධන පනත මගින් පුළුල් විවරණයක් ඉදිරිපත් කරයි. ගැහැණු ළමයෙකු දුෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනය, ළමයින්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීම. ව්‍යභිචාරය, කුට්ටනය, අශිෂ්ට ක‍්‍රියා සිදුකිරීම, අස්වාභාවික වරද, අසභ්‍ය පළකිරීම් යන වැරදි දක්වා ඇත (සමරසේකර 2005: 40-45). ළමයින්ට සිදුවන ලිංගික අපයෝජනයන් සුවිශේෂී තත්ත්වයකින් යුතු බව කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් පෙන්වා දිය හැකිය. එනම්,

1.එවැනි අපරාධ වාර්තාවීම්, සෙසු අපරාධ වලට වඩා අවම වේ.

2.අපරාධකරුගේ ස්වභාවය හා අපරාධය හෙවත් අපයෝජනයන්ට ලක්වන දරුවන් අතර පවතින සබඳතාවය යනුවෙනි.

අනෙකුත් අපරාධ වලට වඩා ළමා අපයෝජනයන් ලෙස ලිංගික අපයෝජනයන්ට සුවිශේෂීතාවයක් හිමිවෙන අතර මෙහිදී අපයෝජකයා හා එයට ගොඳුරුවූ දරුවා අතර පවතින සම්බන්ධතාවය විමසීමේදී පැහැදිළිව දරුවන් අපයෝජනයට ගොදුරු කරනු ලබන්නන් දරුවන් දන්නා හඳුනන පුද්ගලයින් බවයි. මේ අනුව දරුවන් දන්නා පුද්ගලයින් සම්බන්ධව බලපෑම් සිදුකළ හැකි දරුවන්ගේ භාරය හෝ ආරක්‍ෂාව පිළිබඳ වගකීම් ගන්නා පුද්ගලයින් අතින් ළමුන් අපයෝජනයට ලක්වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනේ (ළමා රක්‍ෂණ අධිකාරිය 2004:12).අපයෝජන වාර්තා නොවීමට තවත් හේතුවක් වන්නේ ළමා අපයෝජන ක‍්‍රියාවලිය මුහුදේ පාවෙන අයිස්කන්දක ස්වරූපයක් ගැනීමයි . මෙමගින් පෙනීයන්නේ සමාජයේ සිදුවන අපයෝජන සිද්ධීන් අතරින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණක් නිරාවරණය වීම හෝ වාර්තාවීම සිදුවන බවයි. එය අයිස් කන්දක මතුපිටට පෙනෙන සුළු කොටසක් මෙන් දෘශ්‍යමානව පැවතීමට සමානය. (WHO 2004:11).

ළමා අපයෝජනයන් හා ලෝකයේ තත්ත්වය

සංස්කරණය

ළමා පරපුර රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පතයි. දරුවන් නිදහස් මනුෂ්‍ය කොටසකි. දරුවන් අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාව අද ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත. වත්මන් ළමා පැවැත්මට තර්ජනයක් සේ යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී ආසාදනය, මන්දපෝෂණය කුරිරු ලෙස ශ‍්‍රමය ලබාගැනීම, මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය, රැකවරණය නොමැතිවීම යනාදිය හඳුනා ගත හැක (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2000:56). ලොව පුරා ළමයින් මිලියන 250ක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි මිලියන ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක, මුලික අධ්‍යාපනය ඔවුන්ට අහිමිකරන ලිංගික ක‍්‍රියාවලට එක් කරගනු ලැබේ(කම්කරු දෙපාර්තුමේන්තුව 2005:4).

වර්තමානයේ දස ලක්ෂ 18 කට වැඩි ජනගහනයක් ශී‍්‍ර ලංකාවේ වාසය කරති. මෙයින් දස ලක්ෂ හතක් වයස අවු: 18 ට අඩු ළමයින්ය.ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවලද දරිද්‍රතාවය, ඒඞ්ස්, යුද්ධය, අකුරු නොදත්කම යනාදිය ළමුන් කෙරෙහි අහිතකර ප‍්‍රතිඵල උදාකර දී තිබේ (Save the children ,date not mention :1-2).ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් දුෂණය කිරීම හෝ දුෂණය කිරීමට තැත්කිරීමේ තර්ජනයට මුහුණපා ඇති බවයි. 1999 වර්ෂය තුළදී පර්යේෂණයක් අනුව ඇමරිකාවේ සෑම තප්පර 6 කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත. ළමා අපයෝජනය හා ස්ත‍්‍රී දුෂණය ශ‍්‍රී ලංකාවේ සෑම දින 6කට වරක්ම එක් ස්ත‍්‍රී දුෂණයක් බැගින් සිදුවන බවද පෙන්වා දී ඇත(ගුණරත්න 2005:348).

ළමා අපයෝජනය හා ශ‍‍්‍රි ලංකාවේ තත්ත්වය

සංස්කරණය

ළමයින්ට එරෙහි හිංසනය අනාදිමත් කාලයක සිට විවිධ ස්වරූපයන්ගෙන් සමාජය තුළ පැවති බව බොහෝ මූලාශ‍්‍ර මගින් සනාථ වී තිබේ. එය බටහිර රටවල මෙන්ම පෙරදිග සමාජයේද පැවති බව ඓතිහාසික මූලාශ‍්‍ර පෙන්වයි. අතීතයේ ළමුන්ට සිදුවන හා සිදු කරන අකටයුතුකම් සම්බන්ධ විශේෂ නීති රීතී හෝ දඩුවම් නොවුනු අතර ළමයෙකුට විරුද්ධව නැගුනු චෝදනාද වැඩිහිටියෙකුගේ තත්ත්වයෙන් විනිශ්චය විය(කුරේ 2005:23).

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/3 ආසන්නව දස ලක්‍ෂ 6.2ක් දුප්පත්කමින් පෙළෙති. මෙය ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා යහ පැවැත්මට බලපායි. ඇතැම්විට දරුවන් ප‍්‍රචණ්ඩත්වයට අපයෝජනයට හෝ ළමා සූරාකෑම් වලට ගොදුරු වෙති. දැඩි දුප්පත්කම ඇති තැන්හි මන්දපෝෂණයට ගොදුරු වන අතර ජීවිතයද අනතුරට පාත‍්‍රවෙයි. ඇස්තමේන්තු අනුව ශ‍්‍රී ලංකාවේ වයස අවු: 5ට අඩු ළමයින්ගෙන් 38%ක් තම පළමු උපන්දිනයට පෙර මිය යති. ද්විතියික පාසල් වශයෙන් සිටින ළමුන්ගෙන් 15%ක් පාසල් නොයති. යුද්ධය ළමුන්ට උන්හිටිතැන් අහිමි කරන අතරම සෞඛ්‍ය පහසුකම් ද අහිමි කර තිබේ. සමහර ළමයින් සංවර්ධනය සඳහා වන නිසි සැළකිල්ල හෝ අවස්ථාව නොමැතිව ආයතනය තුළ ද, වාසයට නොසුදුසු වීදිවල හා මුඩුක්කු වල ද, දිවි ගෙවති (Save the children ,date not mention :29).

1970න් පසු දේශපාලන වෙනස්වීම් 1977 විවෘත ආර්ථික රටාව තුළට විවෘත වීම සමඟ සංචාරක ව්‍යාපාරය හා තරඟකාරී සමාජ රටාවට යොමුවීම තුළින් ළමා අපයෝජනයන් වර්ධනය වූ බවත් මෙයට දුප්පත්කම, යුද්ධය, ගෝලීය ආර්ථික රටාවද බලපෑ බව පෙනී යයි. මේ තුළ ළමා ලිංගික අපයෝජනය, ගණිකා සේවය, මෙහෙකාර සේවය, විදේශිකයන්ට ළමයින් විකිණීම, මහමග දරුවන් හැරදා යාම, දැරියන් දුෂණය කර මරා දැමීම, මත් ද්‍රව්‍ය ළමයින් අතර බෙදා හැරීම වර්ධනය වී ඇත.යුද්ධය ලෝකයේ ව්‍යාප්තව පවතින අතර මේ තුළ ළමයින්ට සිදුවී ඇති අපයෝජනයන් වර්ධනය වී ඇත. මෙහිදී විවිධ ත‍්‍රස්තවාදී, දේශපාලන ගැටුම් නිසාවෙන් දිනෙන් දින අවතැන්වෙමින්, මවුපියන් අහිමිවීම, රැකවරණය අහිමිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය අහිමිවීම, පෝෂණය නොමැතිව විවිධ අනාථ කඳවුරු, ළමා ගම්මාන හා ළමා නිවාස වල කොටුවන ළමුන් ප‍්‍රමාණය අතිවිශාලය (කුරේ.2005:33)

ළමා අපයෝජනය හා දරුවන් මුහුණපාන ගැටළු

සංස්කරණය

ළමා අපයෝජනය සංකිර්ණ ස්වභාවයක් ගනියි.මෙය ළමයින් කෙරෙහි විවිධ අහිතකර බලපෑම් ඇති කෙරෙන බව පෙනෙයි.

1.කායික : තුවාල ව්ම්, ශාරිරික වද වේදනා, සමාජ රෝග ,අතුරු ආබාධ

2.මානසික :මානසික ආතතිය, කාංසාව ,අධික හිසරදය, රො‍්ගා බාධ ,කෑම අරුචිය, තමා පිළිබද අවතක්සේරුව

3.සමාජිය : කොන් කිරිම,අපහාසයට ලක් කිරිම.


ළමා අපයෝජන සම්බන්ධව ක‍්‍රියා කරන ආයතන

සංස්කරණය

1.පවුල් මට්ටම -: මෙයට දෙමව්පියන් භාරකරුවන් අයත්වන අතර අපචාරයන් ගැන දැනගත්විට දෙමව්පියන් හෝ භාරකරුවන් විසින් ඒ බව ඉහළ මට්ටමට දැනුම් දිය යුතුය. මෙහිදී වැදගත් වන්නේ සියළු දෙනාම ළමයින්ගේ උපරිම යහපත උදෙසා කටයුතු කිරීමයි. දරුවන්ගේ ආරක්‍ෂා ව හා ගෞරවය සුරැුකීමේ වගකීම මෙන්ම ප‍්‍රසිද්ධියට පත් නොකිරීමටත් කටයුතු කළ යුතුය.

2. ප‍්‍රජා මට්ටම -:

ළමා අයිතිවාසිකම් ප‍්‍රවර්ධන නිළධාරීන්, සමාජසේවා නිළධාරීන්, සෞඛ්‍ය සේවකයින්, ප‍්‍රජා පාදක සංවිධාන මේ යටතට අයත්වෙයි. අපයෝජනයන්  හෝ උල්ලංඝණය කිරීම් ගැන තොරතුරු ලද විට ඉහළ තලයේ අදාල නිළධාරීන්ගෙන් විමසිය යුතු ය. ළමයින්ගේ පෞද්ගලිකත්වය හා ආරක්‍ෂාවට ගරු කරන දෙමව්පියන්ගේ හා භාරකරුවන්ගේ අනුදැනුම තුළ උපදේශන හෝ වෛද්‍ය සේවා  සැපයීම මෙහිදී කරයි.

3. ප‍්‍රාදේශීය මට්ටම -: ප‍්‍රාදේශීය ළමා අයිතිවාසිකම් සුපරීක්‍ෂණ කමිටු, රාජ්‍ය නොවන සංවිධාන, පරිවාස නිළධාරීන් මේ යටතට ගැනේ. ළමා අපයෝජනයන් අයිතිවාසිකම් උල්ලංඝණයන් මෙන්ම ළමයින්ගේ උපරිම යහපතට හේතුවන සුදුසු පියවර ගැනීමත් ප‍්‍රාදේශීය නිළධාරීන් හා ළමා අයිතිවාසිකම් ප‍්‍රවර්ධන නිළධාරීන් සහ පරිවාස නිළධාරීන් පරීක්‍ෂණ කොට වාර්තා කිරීමේ වගකීමද උසුලන කොටසකි. ඉහළ තලයට වාර්තාකොට අදාළ නිළධාරීන්ගෙන් උපදෙස් මත පියවර ගනී.

4. දිස්ත‍්‍රික් මට්ටම -: දිස්ත‍්‍රික් ළමා අයිතිවාසිකම් කමිටුව, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය නොවන සංවිධාන, පොලිස් ස්ථාන, පරිවාස කාර්යාල දිස්ත‍්‍රික්ක මට්ටම නියෝජනය කරමින් ළමා අපයෝජනයන් වැළැක්වීමට පියවර ගනී. මෙහිදී උපදෙස් සැපයීම, මඟපෙන්වීම, වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවීම හා ළමයින්ගේ උපරිම යහපත සඳහා උපරිම ක‍්‍රියාමාර්ග ගැනීම කරනු ලැබේ.

5. ජාතික මට්ටම -: ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය, පරිවාස හා ළමාරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිසම මේ යටතේ ගැනේ. මේ මගින් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ මෙහෙයුම් හා සුපරික්‍ෂාවන් ප‍්‍රතිපත්ති සංවර්ධනය හා උපදෙස් පිළිබඳ වගකීමද දරයි..

"https://si.wikipedia.org/w/index.php?title=ළමා_අපයෝජනය&oldid=684414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි