හෝමෝ ඉරෙක්ටස් ලංකාවේ සිටි බවට සළකුණු

ප්ලයිස්ටොසීන යුගයේ, එනම් මීට වරස මිලියන 2.5සිට වසර 12,000ක දක්වා කාල පරාසයේ ජීවත්වූ හෝමෝ ඉරෙක්ටස්, දැනට හමුවී ඇති මුල්ම සැබෑ මානවගණයට (හෝමෝ ගණයට) අයත්, සෘජුව ඇවිදගිය, ගස් උඩ වාසය නොකරමින් භූමිය මතම සිය ජීවිතය ගතකල ආදීවාසියා ලෙස හඳුනාගෙන තිබෙනවා. එනිසා හෝමෝ ඉරෙක්ටස් මිනිසත් බවේ සැබෑ මුල්ම පුරුක ලෙසත් පුරා විද්‍යාඥයින් සලකනවා. [1] [2]

හෝමෝ ඉරෙක්ටස් හඳුනාගනිමු සංස්කරණය

හෝමෝ ඉරෙක්ටස් මානවයා ඊට පෙර විසූ අර්ධ-මානව කුළවලට වඩා දියුණු, එනම් නූතන මිනිසාගේ ආරම්භය යැයි සැළකෙන ශාරීරික ව්‍යුහයෙන් නූතන මිනිසාට බොහෝ සමානයයි උපකල්පණය කරන මානව වර්ගයකි. සාමාන්‍යයෙන් අඩි 5' 6" ක් පමණ උසට වැඩෙන හෝමෝ ඉරෙක්ටස් පොලොවේ ඇවිදීම මෙන්ම හොඳින් දිවයාම සඳහාද පරිණාමය වී ඇති බව පුරාවිද්‍යාඥයින් පවසනවා. ඔවුන් මෙසේ අනුමාන කරන්නේ කරුණු කිහිපයක් ඇසුරිනුයි. [3]

විශාල මොළය සංස්කරණය

හෝමෝ ඉරෙක්ටස්ගේ විශාල සිරුරත්, එතෙක් කල් ජීවත්වුනු මානවයින්ට වඩා විශාල මොළයකින්ද යුතුවීම නිසා හොමෝ ඉරෙක්ටස්ට අතිවිශාල කැළරි ප්‍රමාණයක් දිනපතා අවශ්‍ය වන්නට ඇති. මෙම කැළරි නිරන්තරයෙන් ලබාගැනීම සඳහා හෝමෝ ඉරෙක්ටස් හොඳ දඩයක්කාරයෙකු වියයුතු බව ඔවුන් පවසනවා. සරල ශිලා ආයුධ අතැතිව සිටි හෝමෝ ඉරෙක්ටස් චීටාවුන්, සිංහයින් බහුල අප්‍රිකානු සැවනා තනබිම්වල දිවිගලවා ගැනීම සඳහා මෙන්ම, වේගයෙන් දිවයන ඇන්ටිලෝප් වැනි සතුන් දඩයම් කරගැනීම සඳහාත් ඉතා වේගයෙන්, බොහෝදුර දිවයා හැකිලෙස ඔවුන්ගේ සිරුරු පරිණාමය වී තිබෙනු ෆොසිල සාධක වලින් පෙනී යනබව පැවසෙනවා. මෙම ක්‍රියාශීලී විශාල සිරුර හා විශාල මොලය සඳහා අවශ්‍ය මේ අතිවිශාල කැලරි ප්‍රමාණය වැඩිපුර ශාක ආහාරයට ගැනීමෙන් සපයාගැනීමට හැකිවුවත් ඒ සඳහා දවස පුරාම ආහාර ගැනීමට සිදුවනු ඇති අතර එසේ වූවානම් ගල් ආයුධ නිර්මාණය වැනි බුද්ධිය මෙහෙයවා සිදුකරන ක්‍රියාකාරකම් සඳහා කාළය මද වනු ඇත.

ගින්නෙන් ආහාර පුළුස්සා පිස ගැනීමේ තාක්ෂණය සංස්කරණය

එමෙන්ම ශාක භක්ශකයින්ට එම අතිවිශාල ආහාර ප්‍රමාණය දරාගැනීමට හා ජීර්ණය කරගැනීමට විශාල උදරයක් හා ආහාර ජීර්ණ පද්ධතියක් තිබිය යුතුවුවත් හෝමෝ ඉරෙක්ටස්ගේ උදරය හා ආහාර ජීර්ණ පද්ධතිය කුඩා බව ෆොසිල ඇටසැකිලිවල ප්‍රමාණය අනුව නිගමනය කර තිබෙනවා. ඒ අනුව විශාල මොලයට හා සිරුරට අවශ්‍ය කැළරි ප්‍රමාණය ලබාගත හැකිවන්නේ දඩයම් කොට මස් සපයාගැනීමෙන් පමණයි. එපමණක් නොව හෝමෝ ඉරෙක්ටස්ගේ කුඩා ජීර්ණ පද්ධතිය අනුව ඔවුන් ගින්නෙහිලා මස් පුලුස්සා (එනම් පිසගෙන ) ආහාරයට ගන්නට ඇතැයිද සමහර පුරා විද්‍යාඥයින් අනුමාන කරන්වා. පිසූ ආහාර ජීර්ණයට පහසු නිසා දීර්ඝකාළයක් පිසූ ආහාරය පරිභෝජනයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රමාණයෙන් කුඩාවන බව පරිණාම සාධක අනුව සත්‍යයක්. ඒ අනුව හෝමෝ ඉරෙක්ටස්, ආයුධ නිර්මාණය කරගැනීමේ බුද්ධියක් ඇති, කණ්ඩායම් ලෙස දඩයමේ යන, යම් ආකාරයක සංකීර්ණ සමාජ පද්ධතියක් තිබූ ප්‍රථම දියුණු මානයවා ලෙස බොහෝ විද්‍යාඥයින්ගේ පිලිගැණීමයි.'

දියුණු සමාජ කුසලතා සංස්කරණය

හෝමෝ ඉරෙක්ටස් හෙවත් හෝමෝ අර්ගැස්ටර්ගේ මෙම සමාජ පද්ධතිය ඉතා සංකීර්ණ මෙන්ම අද නූතන මානවයා මෙන්ම අන්‍යයන්ගේ හැඟීම් තේරුම්ගත හැකි, එලෙස තේරුම්ගෙන ප්‍රතික්‍රියාකල හැකි, අන්‍යෝන්‍ය උපකාරය ඇති සමාජ පද්ධතියක් වූ බවට පුරා විද්‍යාඥයින් අනුමාන කරනවා. ඔවුන් මේ අනුමානයට එන්නට එක් ප්‍රධාන සාධකයක් වූයේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් මානවෙකුගේ හිස් කබලක් ආධාරයෙන් කරන ලද පර්යේෂණ අනුවයි. මෙම හිස්කබලේ දත් සම්පූර්ණයෙන්ම වයස්ගත වීම නිසා වැටී තිබූ අතර, සියලු දත් අහිමිවීමෙන් පසුවත් තවත් වසර කිහිපයක් මෙම වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්ව තිබෙන බව ෆොසිලයේ රසායණික විශ්ලේෂණ මගින් තහවුරු වී තිබෙනවා. දත් සියල්ල අහිමිවූ පසුත් කුසගින්නේ මිය නොගොස් වසර ගණනක් මේ වයස්ගත හෝමෝ ඉරෙක්ටස් ජීවත්වූයේ රැහේ අනෙකුන් ඔහුව රැකබලාගෙන ආහාර පාන ලබාදුන් නිසා බව පිලිගැනෙනවා. මෙලෙස තමන්ගේ වයස්ගතවූවන් රැකබලා ගන්නේ හැඟීම් ඇති, අන් හැඟීම් තේරුම් ගැතහැකි සංකාර්ණ මනසක් තිබූ මානවයින් පමණයි.

හෝමෝ ඉරෙක්ටස් මානවයා නාමකරණයේදී පුරාවිද්‍යාඥයින් අතර යම් මතගැටුමක් තිබෙනවා. එක් මතයකට අනුව හෝමෝ ඉරෙක්ටස් යනු, හෝමෝ අර්ගැස්ටර් (Homo Ergaster - කාර්යශූර මානවයා) මානවයාගේ උප කුළයක්. මෙම විද්‍යාඥයින් හෝමෝ ඉරෙක්ටස්, අප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් යනුවෙන් හඳුන්වනවා. මෙයට හේතු වශයෙන් පසුකාලීනව ආසියාවේ (ලංකාවද ඇතුලුව) ජීවත්වූ ආසියානු හෝමෝ ඉරෙක්ටස් නම් මානව කුලයක්ද බිහිව තිබූ නිසා.

දැනට පිලිගැනෙන ආකාරයට පසුකාලීන වඩාත් දියුණු මානවයන් වූ හෝමෝ හිඩෙල්බර්ජෙන්සින්, හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් (Homo Neanderthalensis - නියැන්ඩර්තාල් මානවයා) හා ආසියානු හෝමෝ ඉරෙක්ටස් පැවත එන්නේ අප්‍රිකානු හෝමෝ ඉරෙක්ටස් එනම් හෝමෝ අර්ගැස්ටර්ගෙන්.  වසර මිලියන 1.9 ඈත අතීතයේ සිට වසර 70,000ක් මෑතකාලය දක්වාම ජීවත්ව ඇති හෝමෝ ඉරෙක්ටස් නැගෙනහිර අප්‍රිකාවේ (ඉතියෝපියාව, කෙන්යාව ) සැවනා බිම්වල බිහිවූ බවට ෆොසිල සාධක ලැබී තිබෙනවා

ඉරණමඩු පාංශු සංකීර්ණය සංස්කරණය

 
ඉරණමඩු පාංශු සංකීර්ණය’ හෙවත් ‘ඉරණමඩු ශ්‍රේණිය’ ට අයත්වන තද රතුපැහැ පාංශු සැකැස්ම, කුදිරමලේ තුඩුව, විල්පත්තු ජාතික වනෝද්‍යානය

පුරාවිද්‍යාඥයෝ ‘ඉරණමඩු පාංශු සංකීර්ණය’ (Iranamadu Formation, IFm) ලෙසත්, සමහර භූ විද්‍යා ලිපිවල තියෙන්නේ ‘ඉරණමඩු ශ්‍රේණිය’ (Iranamadu Sequence) ලෙසත් හඳුන්වන පාංශු ස්ථරයක් තිබෙනවා. බූන්දල, උස්සංගොඩ, කුදිරමලේ තුඩුව වැනි ස්ථානවල පොලොව මතුපිට දකින්නට ලැබෙන අපූරු රතුපාට නැත්නම් ගුරුපාට පස් තට්ටුව ඉරණමඩු පාංශු ස්ථරය නැතිනම් ඉරණමඩු පාංශු සංකීර්ණය ලෙස හඳුන්වනවා. [4]

ලංකාවේ හිටිය මුල් කාලීන භූ විද්‍යාඥයෙක් වුණු ඊ.ජේ. වේලන්ඩ් (E.J. Wayland) මැතිතුමා. මෙතුමා 1919 දි කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පළ කළ Spolia Zeylanica සඟරාවේ XI කලාපයේ 41 වැනි කොටසේ ලිපියක් පළ කරල තියෙනවා outline of the Stone ages of Ceylon නම් ශ්‍රාස්ත්‍රීය ලිපියක් ඉරණමඩු පාංශු ස්ථරය ගැන පලමුවෙන්ම යොමුකල ශාස්ත්‍රීය අවධානය ලෙස ගන්න පුලුවන්. මේ පස් තැම්පතුවට මේ නම තිබ්බෙත් ඊ.ජේ. වේලන්ඩ්. මේ පස් තට්ටුව තියෙන්නේ ඉරණමඩුවල පමණක් නොවුනත් පුරාවිද්‍යා සම්ප්‍රදායක් අනුව යමක් ඉස්සෙල්ලම හමුවුණ තැන අනුව එය නම් කිරීමක් සිදුවනවා. උදාහරණයකට බලංගොඩ මානවයා නම් හෝමෝ සැපියන් මානවයා ලංකාව පුරා වාසය කර තිබුණත්, මුලින්ම හමුවුනේ බලංගොඩ බටදොඹ ලෙනෙන් නිසා බලංගොඩ මානවයා ලෙස නම් කර තිබෙනවා.

අවුරුදු 125,000කට විතර ඉස්සෙල්ල ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබුණ ස්ථාන තහවුරු වෙලා තියෙන්නේ ඉරණමඩු පාංශු ස්ථරය පිහිටා තිබෙන ස්ථානවල සිදුකල කැණීම් වලින්. ඒ බූන්දල වෙරළේ කළ පුරාවිද්‍යා කැනීම් මඟින්. ගවේෂණයෙන් පෙනී ගිය සාධක මත ඉරණමඩු පාංශු සංකීර්ණයට අයිති බූන්දල පිහිටි ස්ථාන දෙකක් වුණු වැල්ලේගංගොඩ (49C) හා පතිරාජවෙළ (50A) කැණීම් වලින් ඉපැරණි මානව සාධක හා ශිලා ආයුධ හමුවෙලා.

බූන්දල පතිරාජවෙලින් හමුවූ කුඩා පතුරු මෙවලම් මෑත පූර්ව 125,000-75,000ටත් වැල්ලේගංගොඩ කැණීම් වලින් හමුවූ මෙවළම් ආසන්න වශයෙන් මෑත පූර්ව 80,000 කාලයටත් අයිති බව කාලනීර්ණ අනුව පෙන්නලා දීල තියෙනවා. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පිලිබඳ ගවේෂණයන් හිදී ඉරණමඩු සංකීර්ණයට අයත් පාංශු ස්ථර වැදගත් වන්නේ මේ නිසයි.

ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් විසූ පෙදෙස් සංස්කරණය

 
හෝමෝ ඉරෙක්ටස් බිහිකල අචියුලියන් තාක්ෂණයේ ගල් ආයුධ

මධ්‍යම පැලියොලිතික් යුගයේ හෝමෝ ඉරෙක්ටස් ඉතිරිකර ගිය සාක්ෂි බූන්දල වෙරළබඩ ප්‍රදේශවලින්, රත්නපුර, ගල්කන්ද, උස්සන්ගොඩ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුත්තල සහ උතුරේ ඉරණමඩු හා මනිපායි යන ප්‍රදේශවලින් සාක්ෂි අනාවරණය වී තිබේ. මෙම ප්‍රදේශවල හමු වූ සරල ශෛලමය ආයුධ හෝමෝ ඉරෙක්ටස් විසින් භාවිතා කර ඇත [5]

බූන්දල ඉරණමඩු පාංශු ස්ථරය සංස්කරණය

බූන්දල ඉරණමඩු පාංශු ස්ථරය් සිදුකල ගවේෂණ හා විමර්ශන තුළින් මීට වසර 125,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවති බවට සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකිය. බූන්දල වෙරළ තීරයේ තිබී හමු වූ වැදගත්ම සාක්ෂි වන්නේ ක්වාර්ට්ස් සහ චර්ට් (තිරුවාණ) භාවිතාකරගෙන ආයුධ නිපදවූ ශෛලමය ආයුධ තාක්‍ෂණයයි.

වැඩිදුර අධ්‍යයනයන්ගෙන් මෙම වැලි සහ බොරළු තට්ටුව අවුරුදු 250,000 ත් 500,000 ත් අතර පැරණි බව පෙන්වා දී ඇත. ඒ අනුව, එයින් හමුවූ ශෛලමය ආයුධ, ආසියාතික හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ බව විශාල විශ්වාසයකින් පැවසිය හැකිය.

දිවයිනේ මානව වාසස්ථාන පිළිබඳ පැරණිතම සාක්ෂිය වන්නේ උතුරේ ඉරනමඩු පාංශු ස්ථරයට අයත් ප්‍රදේශවලින් හමුවී ඇත. [6]

මනිපායි ප්‍රාග් ඓතිහාසික ස්ථානය, පේදුරුතුඩුව සංස්කරණය

පොයින්ට් පේද්‍රෝ අසල පිහිටි හුණුගල් ගුහා සහිත මනිපායි ප්‍රාග් ඓතිහාසික ස්ථානය 1979 දී ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබුවේ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා විසිනි. ක්‍රිෂ්ණරාජා සහ මහාචාර්ය පී. පුෂ්පරත්නම් සහ තවත් කිහිප දෙනෙක් 1984 දී වැඩිදුර ගවේෂණ සිදුකල අතර මානව ජනාවාසවලට අදාළ ගල් උපකරණ ගණනාවක් සොයා ගත්හ (ඩයස් සහ වෙනත්, 2016; විජේබණ්ඩාර, 2014). සොයාගත් සමස්ත සාක්ෂි වලින් ඔවුන් ගුහා භූමිය ප්‍රාග් ඓතිහාසික වාසස්ථානයක් ලෙස යෝජනා කළ නමුත් එම මතය යාපනයේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පී. රගුපති විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු පවසා සිටියේ මෙම භූමිය ප්‍රාග්ඓහාසික වාසස්ථානයක් නොව පැරණි ගල්කොරියක් බවයි.[7]

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය වැනි හේතු කිහිපයක් නිසා ක්‍රිෂ්ණරාජා විසින් එකතු කරන ලද ගල් උපකරණ වෙනත් පුරාවිද්‍යාඥයින් විසින් පුළුල් ලෙස විමර්ශනය නොකළේය. කෙසේ වෙතත්, 2011 දී සාම්පල කොළඹට ගෙන ගොස් ආචාර්ය සිරාන් දැරණියගල හා නිමල් පෙරේරා (ඩයස් සහ වෙනත් අය, 2016) ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකු විසින් වැඩිදුර අධ්‍යයනය කරන ලදී. එම අධ්‍යයනයන් මගින් ක්‍රිෂ්ණරාජා විසින් එකතු කරන ලද ගල් උපකරණ පුරාණ ගල් යුගයට අයත් මෙවලම් ලෙස හඳුනාගෙන ඇත (ඩයස් සහ වෙනත් අය, 2016).

ශ්‍රී ලංකාවේ පැරණිම මානවයින් පිළිබඳ මුල් සාක්ෂි රටේ රත්නපුර රත්නපුර දියළු තැන්පතු ස්ථර සහ ඉරණමඩු පාංශු සංකීර්ණය වැනි ස්ථාන කිහිපයක දක්නට ලැබේ (පෙරේරා, 2014). මිනිහාගල්-කන්ද ප්‍රදේශයේ ඇති ඉරණමඩු සංයුතියේ පාදස්ථ බොරළු පාංශු ස්ථරය ( basal gravel) මතින් සොයාගත් ක්වාස්ට් ගල් ආයුධයක් පී.ඊ.පී දැරණියගල විසින් මධ්‍යම පැලියොලිතික් ලෙස වර්ගීකරණය කර ඇත ​​( පෙරේරා, 2014).

කෙසේ වෙතත්, සමහරුන්ට අනුව, මායාකායි ප්‍රාග් ඓතිහාසික ස්ථානයේ ගල් උපකරණවල වයස අවුරුදු 600,000 කට පමණ පෙර (ඩයස් සහ වෙනත් අය, 2016) දක්වා විහිදේ. වෙබ් අඩවියෙන් හමු වූ සමහර තිරුවාණ වලින් සාදන ලද ගල් උපකරණ පුරාණ ගල්යුගයේ හෝමෝ ඉරෙක්ටස් විසින් භාවිතා කරන ලද අචියුලියන් මෙවලම් ( ලෙස විශ්වාස කෙරේ [(අවුරුදු මිලියන 3 සිට 300,000 දක්වා) ඩයස් සහ වෙනත්, 2016; විජේබණ්ඩාර, 2014].

අචියුලියන් මෙවලම් යනු ගල් පතුරක් තලයක් ලෙස භාවිතාකල අත් පොරොව වරගයකි. මේ ආයුධ වර්ගය හෝමෝ ඉරෙක්ටස් මානවයින් විසූ බෝහෝ තැන්වලින් හමුව ඇත

මූලාශ්‍ර සංස්කරණය

  1. Homo erectus From Wikipedia [1]
  2. හෝමෝ ඉරෙක්ටස්
  3. ලංකාවේ ඉරණමඩුවේ විසූ මිනිසත් පරපුරේ ආදිතම නෑයා - හෝමෝ ඉරෙක්ටස්, විද්‍යා ගවේෂණ, ටෙරන්ස් කහපොල ආරච්චි [2]
  4. ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය, චන්දිම අඹන්වල, 2020-06-06 [3][permanent dead link]
  5. Prehistory of Sri Lanka 6: Paleolithic period, Chandima Abanwela, Archeology.lk [4] සංරක්ෂණය කළ පිටපත 2020-08-04 at the Wayback Machine
  6. Learning Sri Lanka’s heritage, DailyFT, Saturday, 19 March 2016 [5]
  7. Mayakkai Vivaparimalai Prehistoric Site, By Lanka Pradeepa February 15, 2020 [6]