හඳ රාහු ඇල්ලීම
රාහු ග්‍රහයෙකි. රාහුගේ මව සිංහිකා වූ හෙයින් ඔහු සෛංහිකේය නම් විය. මේ ග්‍රහයා විසින් චන්ද්‍ර සූර්ය දෙදෙනා ග්‍රහණය කරනු ලබන බව කවිසමයයි. කිරි සයුර කළඹා ලත් අමෘතය දෙවියන් අතර බෙදන කල රාහු අසුරයා සුර වෙසින් පැමිණ අමා බිඳක් ලබා ගත්තේය. හිරු සඳු දෙදෙන ඒ සොරකම විෂ්ණුගේ ස්ත්‍රී අවතාරය වූ මෝහිණීට දැන්වූහ. කෝප වූ මෝහිණි චක්‍රායුධයෙන් රාහුගේ හිස කපා දැමුයේ අමෘතය ගෙලෙන් පහළට යාමට පෙරය. එහෙත් ඊට පෙර ඒ අමෘතය මුව තැවරී තිබූ හෙයින් රාහු හිස අමර විය. කඳ කේතු විය.රාහු වරින් වර හිරු සඳු ග්‍රහණය කරන්නේ ඒ කෝපයෙන් බව කියවේ. මෙම නිසා කවි සමයෙහි චන්ද්‍ර ග්‍රහණය හඳ රාහු ඇල්ලීම යැයි හැඳින්වේ. මෙය පූර්වයෙහි පැවති සංකල්පයක් පමණි. වර්තමානයේදී මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය හැඳින්වීමට මෙම නම නොයෙදෙන අතර චන්ද්‍ර ග්‍රහණය නමම යෙදේ.
තාරකා විද්‍යාත්මකව (හින්දු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අනුව), රාහු සහ කේතු යනු අවකාශ ගෝලය ඔස්සේ සූර්යයා සහ චන්ද්‍රයා ගමන් කරන විට ඒවායේ පථයන් ඡේදනය වන ලක්ෂ්‍යයන් දෙකය. ග්‍රහණ සිදුවන්නේ සූර්යයා සහ චන්ද්‍රයා මෙම ලක්ෂ්‍යයන් දෙකෙන් එකක සිටින විට බැවින් රාහු විසින් හිරු හා සඳු ගිලීම යන මිථ්‍යාව ගොඩනැගී ඇත. රාහු විසින් ගිලිනු ලැබූ හිරු හෝ සඳු හෝ ගෙලෙහි ඡේදනය කල තැනට පැමිණ එහි වූ සිදුරෙන් ඉවතට පැමිණි කල ග්‍රහණය අවසන්ව හිරු හෝ සඳු හෝ නැවත දිස්වෙතැයි විශ්වාස කෙරෙයි.