සෙන් කතා හෙවත් සෙන් කතන්දර ('zen stories) වත්මන් කාලය වන විට ‍ලෝක ප‍්‍රකට ආගමික නිර්මාණාංගයකි.චීන සහ

ජපන් බසින් කියැවී පසුව ලියැවී තිබෙන ඒ කතා පුද්ගලයන් ගණනාවක් විසින් ඉංග්‍රීසි බසට පෙරලා තිබීම අ‍‍පේ භාග්‍යයකි. සෙන් කතන්දර කියවන කල එක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන්ට අනුව එහි අර්ථය, අගය, දැනීම වෙනස් වේ. යමෙකුට සෙන් කතන්දරයක් කියවූ විට හුදු කතා රසයක් හෝ ජීවන අත්දැකීමක් පමණක් දැනෙනු ඇත. තවත් කෙනෙකුට ඒ ඉම ඉක්මවු අධ්‍යාත්මික හරයක් ලැබෙනු ඇත. වි‍ටෙක අතිශය සියුම් ලෙස මනැස ක්‍රියාත්මක කරවන හෝ පුබුදු කරවන තේමාවක් හමුවෙනු ඇති.හිටි ගමන් එසේ සිදුවීම 'ක්ෂණික අවබෝධය' යන අර්ථය දෙන 'ස‍තෝරි'(satori)යැයි ජපන් බසින් හදුන්වයි. ඉංග්‍රීසි බසින් එය අර්ථවත් වන්නේ 'sudden Awaking' යනුවෙනි.


සෙන් අරුත :- "සෙන් "යන්නෙහි ආදි අරුත ලෙස සලකනුයේ 'ධ්‍යාන' හෙවත් දැහැන යන්නයි. එය චීන බසින් ලියැවී ඇත්තේ චාන් (chan) යනුවෙනි. සංස්කෘතීත බසින් 'ධ්‍යාන'(dyana)වී ඇති බවත් පසුව කටට හුරුවන අයුරින් සෙන් (zen) වී ඇති බවත් ‍පෙනේ. මෙසේ බලන කල සෙන් යන්නෙහි 'ප්‍රබුද්ධත්වය', 'ආත්මාවබෝධය', 'හදුනා ගැනීම', 'දැහැන' යන සකල විධ අරුත් ගබඩා වී ඇති බව හැඟේ.


සෙන් නියමුවා:- 'සෙන්' පිළිබඳ ලියැවී තිබෙන පොත පත අනුව ප්‍රථම සෙන් නියමුවා ලෙස පිළිගනු ලබන්නේ හයවන සියවසේදී ඉන්දියාවේ සිට චීනයට පැමිණියා යැයි සැලකෙන ‍බෝධිධර්මතුමාය,(Bodhidharma). චීන ගුරුතුමෙකු වන ඩොගෙන් (Dogen) විසින් 1043 දී ලියන ලදැයී කියන චරිතාපදානයට අනුව ‍බෝධිධර්මතුමා චිනයේ නව අවුරුද්දක් පමණ වූ කාලයක් ගත කර ඇති බව පෙනේ. තවත් සමහරුන්ගේ මතය වන්නේ සෙන් යනු බුද්ධ කාලය වන ක්‍රි.පු 500ටත් ඉහත පටන්ම පැව‍තෙන ඉගැන්වීමක් බවයි. සෙන් ඉගැන්වීමේදී ප්‍රධාන සෙන් කතන්දර වන්නේ මනැසයි.

සෙන් කතාවකදී හැම විටකම පාහේ අපට සංවාදාත්මක සිද්ධියක් හෝ අනපේක්ෂිත සිද්ධියක් හමුවෙනවා ඇති. බොහෝ අවස්ථාවලදී එම අවස්ථාව වටහා ගත යුත්තේ සෙන් ගුරුතුමෙකුගේ හෙවත් සෙන්ආචාර්යවරයෙකුගේ අත්දැකීමක් වශයෙනි. සෙන් කථා වලදී අපට විටෙක මුණ ගැසෙන්නේ පූජකවරයෙකි. තවත් විටෙක සමාන්‍ය මිනිසෙකි. තවත් විටෙක ‍‍‍‍බේබද්දෙකු, සෙබළෙකු, සොරදෙටුවෙකු හෝ රජතුමෙකු ආදී විවිධාකාර චරිත මුණ ගැසේ. සමහරු සෙන් ගුරුවරුන් හමුවට එන්නේ ඔවුන්ට සරදම් කොට යන්නට ය. එහෙත් ඔවුන් පෙරලා යන්නේ කිසියම් ජිවිතාවබෝධයක් ලැබගෙනයි. සෙන් කියවා නිහඬ බව විඳගත් කෙනෙකුට පෙරලා තවත් අයටද කියා දිය හැකියි. ඒ අතින් බලන කල සෙන් කතා සදාතනිත 'බණ කතා' විශේෂයක් වශයෙන්ද සලකන්නට පුළුවන. සෙන් කතන්දර දෙකක් පහත දක්වා ඇති අතර ඉන් සෙන් කථාවල සුවි‍ශේෂී බව අපට වටහා ගත හැකියි.


1.‍ තේ කෝප්පය:- සංස්කරණය

'මෙයි ජි' සමයේදී (1868-1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන් (Nan in) හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා. එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනී‍‍මේ අරමුණ ඇතිවයි. නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා. එතුමා තේ පිළියෙල කර ‍තේ වත්කර ගෙන ගියා. තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තව දුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ?

"තේ කෝප්පය තේ වලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?"

ඊට පිළිතුරු වශයෙන් සෙන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ?

"මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්‍, ඔබතුමාගේ යම් යම් මත වලින් අදහස් වලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ. දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට."

2. හඳ හොරා ගත නොහැකියි:- සංස්කරණය

සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා. එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා. ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා. රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.

"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා.


"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ. මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".

තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා. හොරාට මහ පුදුමයි. හොරා ඇඳුම් අරන් පැන දිව්වා. රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා. "දුප්පතා" ඔහු කල්පනා කළා.

"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".

මුලාශ්‍රය සංස්කරණය

සෙන් කතන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර.

"https://si.wikipedia.org/w/index.php?title=සෙන්_කතන්දර&oldid=568741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි