සුමි-එ චිත්‍ර කලාව

තනි වර්ණයක තීන්ත භාවිත කොට තෙත උරා ගන්නා කඩදාසි මත චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදාය ජපානයේ සුමි-එ නමින් හැඳින්වේ.සුං යුගයේ චීනයේ සුයිබොකු නමින් ප්‍රචලිතව පැවති මෙම සම්ප්‍රදාය, චීන සෙන් භික්ෂුවක වන ලන්-චි-තාඕ-ලූං ගේ ආගමනයත් සමග ක්‍රි.ව. 13 වැනි ශත වර්ෂයේ මැද භාගයේ දී පමණ ජපානයට හඳුන්වා දෙනු ලැබිණි.චීන තීන්ත චිත්‍ර එරට විසූ විශිෂ්ට සිත්තරුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය කළ සම්ප්‍රදායකි.

සුමි-එ චිත්‍ර කලාව

තනි වර්නයක් භාවිතා කිරීම

සංස්කරණය

විවිධ වර්ණ භාවිත කරමින් චිත්‍ර ඇඳි ඔවුහු වර්ණයන්හි ශක්‍යතා මැනවින් හඳුනාගත්තෝ වූහ. ඒ හේතුව නිසාම දෘශ්‍ය ලෝකයෙහි තථ්‍ය ස්වභාවය බහුල ලෙස වර්ණ යොදා පිටපත් කරනු වෙනුවට තනි වර්ණයකින් ප්‍රහර්ෂයක් ලබා දිය හැකි බව අවබෝධ කොට ගත්තෝ වුහ. මෙම අවබෝධයට හේතු වුයේ සෙන් හෙවත් ධ්‍යාන බුදු දහමයි.

සෙන් දහම

සංස්කරණය

සෙන් දහම චීනයට හඳුන්වා දුන් කාලය පිළිබඳව හා හඳුන්වා දුන් පුද්ගලයන් පිළිබඳ විවිධ මත පවතී. එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප්‍රචලිත මතය වන්නේ සෙන් දහම ප්‍රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රිව 520 දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. මෙම මතය පළ කරන හිරෝෂි කනසාවා සෙන් නිකායේ ඉතිහාසය බෙහෙවින් අපහැදිලි වුව ද, ජපානයේ සෑම සෙන් භික්ෂුවක්ම තමන් බෝධිධර්ම භික්ෂුවගේ පරපුර හා සම්බන්ධ බව පවසන්නේ යයි සඳහන් කරයි. හියුගෝ මන්ස්ටර්බර්ගේ අදහස වන්නේ ද සෙන් දහම ක්‍රි. ව. 520 දී චීනයට හඳුන්වා දෙනු ලැබුවේ බෝධිධර්ම භික්ෂුව විසින් බවයි. ජපාන දරුවන් බෝධිධර්ම භික්ෂුවට ඉමහත් ගරු සත්කාර පුදන බවත්, ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩය වන දෙපා නැති, රතු, වටකුරු බෝනික්කා දීර්ඝකාලීනව ධ්‍යාන වැඩීමෙන් දෙපා අහිමි වූ බෝධිධර්ම භික්ෂුව නිරූපණය කරන බව ද පවසයි.

චීනයේ සිට පැමිණි ශුන්ජෝ නමැති ශිංගොං භික්ෂුව (ක්‍රි.ව. 1166-1227) කියොතෝහි සෙන්යු-ජි නම් භාවනාව සඳහා ම කැප වූ ආයතනයක් 13 වැනි ශත වර්ෂයේ මුල් කාලයේ පිහිටුවීමත් සමග සෙන් දහමේ මුල් බීජ ජපානයේ වපුරනු ලැබිණි. නරා යුගයේ දි ජපානයට හඳුන්වා දෙනු ලැබූ සෙන් ධර්මය එවක ජපානයේ පැවති තෙන්දායි හා ශිංගොං නම් වු නිකායයන් හා සමාග්‍රහණව පැවතිණි. ක්‍රිව 1141-1215 අතර කාලයේ විසු එයිසායි නමැති භික්ෂුවක් විසින් රින්සායි නම් නිකාය ස්ථාපිත කිරිමෙන් අනතුරුව එය ස්වාධීන නිකායක් බවට පත් විය. සෙන් ශික්ෂූන්ගේ දින චර්යාව හා ආගමික වතාවත් දැඩි පාලනයක් ඇතිව සිදු විය. සෙන් ආචාර්යවරුන් හා ශිෂ්‍යයින් අතර බැඳීම බෙහෙවින් වැදගත් සේ සැලකූ අතර එය සෙන් සම්ප්‍රදායේ ආරක්ෂාව හා පැවැත්මට හේතුවන බව පිළිගැනුනි.

චින්සෝ යනුවෙන් හැඳින්වුණු චීන ආචාර්යවරයාගේ ප්‍රතිරූප චිත්‍රය යථෝක්ත ආගමික වාතාවරණයෙහි වැදගත් අංගයක් විය. සෙන් භික්ෂුවක් තම ආචාර්යවරයාගෙන් මෙන්ම ස්වාධීනව වාසය කරන්නට තරම් ධර්ම ඥානය ලබා ගත් කළ, ආචාර්යවරයාගේ ප්‍රතිරූපයක් ශිෂ්‍යයාට පිරිනැමේ. බුද්ධ මනස පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය කිරිම සඳහා ශිෂ්‍යයා ලබා ගත් හැකියාවට ලැබෙන තිළිණයකි. එය සෙන් නිකායෙහි හෘදයාංගම සම්ප්‍රදායක්ව පැවතිණි.

චින්සෝ

සංස්කරණය

සම්ප්‍රදායික සුත්‍ර හා ප්‍රතිමා වලට වඩා සෙන් විහාරස්ථානවල චින්සෝ නම් වු සෙන් ප්‍රතිරූප තැන්පත් කිරීම වැදගත් සේ සැලකේ. චින්සෝ නිර්මාණයන්හි චීන සුං ශෛලියේ ආභාසය ප්‍රකටව පෙනුනි. චීන ආලේබ්‍ය චිත්‍ර සම්ප්‍රදායේ මුලික ශිල්ප ධර්මය වනුයේ පෞරුෂය තත්ත්වානුරූපීව නිරූපණය කිරිමයි. දේහ ලක්ෂණ තත්ත්වාකාරයෙන් නිරූපණය කිරිම මගින් විෂය පිළිබඳ අභ්‍යන්තර සාරය කලාකරුවාට ග්‍රහණය කරගැනිම පහසු වේ. බෙහෙවින් පරමාදර්ශී හා ඒකාකාරී ආකාරයකින් මුර්ති නෙලීම ප්‍රචලිතව පැවැති යුගයක ඉහත කී කරුණු බෙහෙවින් විප්ලවකාරී විය.

සුං ශිල්ප ක්‍රමයේ මුබ්‍ය ලක්ෂණය වූයේ තත්ත්වානුරූපී ස්වභාවය මවාපානුවස් ලාලිත්‍යයෙන් යුත් සජීවී රේබා භාවිත කිරීමයි. විශේෂයෙන් ම මුහුණ අවධාරණයෙන් යුතුව දැක්විණි. හිසකෙස් සෙසු අඟපසඟ හා සජිවී ඇස් නිර්මාණය කළේ සියුම් රේබා භාවිතයෙනි. ක්‍රි.ව. 1271 දී කරන ලද ලන්-චි-තාඕ-ලූං ප්‍රතිරූපයේ මේ ලක්ෂණ සියල්ලක් ම අඩංගුය. ජපානයේ තිබෙන පැරණි ම චින්සෝ රූපයක් වන මෙය චීන චිත්‍රයක් හැටියට ඇතැම්හු සලකති.

මේ ප්‍රතිරූප චිත්‍රය ජපානයේ සෙන් සම්ප්‍රදායට අයත් චිත්‍රවල සමාරම්භය සනිටුහන් කරයි. චින්සෝ හා සංකල්පමය වශයෙන් සමාන වන තවත් චිත්‍ර විශේෂයක් සොහිසෝ යන නමින් ජපානයේ ප්‍රචලිතව තිබිණි. සෙන් දහම සම්ප්‍රේෂණය කළ සංඝ පීතෘවරුන්ගේ ප්‍රතිරූප මෙනමින් හැඳින්විණි.

මෙම චිත්‍රය තාඕ-ලූං ගේ ප්‍රතිරූපයට වඩා තෙලිකූර හැසිරවීම අතින් වැඩි දක්‍ෂතාවක් පෙන්නුම් කරයි. රේබා ආරම්භයේදී ප්‍රබල හා කැපී පෙනෙන ස්වභාවයකින් යුක්ත වන අතර අනතුරුව සිහින් හෝ ඝන බවට පත් වි සජීවී හා රිද්මයානුකූල බවක් ලබා දෙයි. ගසක් යට සිටින දරුම නම් චිත්‍රය මුල් චිත්‍රයට වඩා අඩ සියවසකින් පැරණි වන අතර එය සෞන්දර්යාත්මක බවින් වඩාත් පරිපූර්ණය. ඉදිරි සියවස් එකහමාරකට පමණ ආදර්ශයක් හා රිද්මයක් සැපයූ මෙම චිත්‍ර දෙක ජපන් තීන්ත චිත්‍ර සම්ප්‍රදායේ බෙහෙවින් අගනා නිර්මාණ දෙකක් හැටියට සැලකිය හැකිය.

පැරණි යුගයට අයත් චිත්‍ර

සංස්කරණය

පැරණි යුගයට අයත් ශේෂ වූ චිත්‍ර අතුරින් වැඩි ප්‍රමාණයක් කොනෆූසියානු තාඕ හා බෙඃද්ධ සම්ප්‍රදාය විසින් පූජර්භ සේ සලකනු ලැබු මානුෂික හෝ අධි මානුෂික පුද්ගලයන් නිරූපණය කරයි. ජපානයේ තීන්ත චිත්‍ර සම්ප්‍රදායේ මුල් අවධියේ දී තාඕ කොන්ෆූසියානු හා සාම්ප්‍රදායික බෞද්ධ චිත්‍ර සාපේක්ෂ වශයෙන් අල්පය. සෙන් දහමේ මුලික හරය අන් දේවල් හා සම්මිශ්‍රණය නොවී පවත්වා ගැනිමට තිබු අවශ්‍යතාව ඉන් පිළිබිඹු වේ. භු දර්ශන හා මල්, කුරුල්ලන් සහිත චිත්‍ර ද නිරූපනය වූයේ ස්වල්ප වශයෙනි. චිත්‍රයට නගන ලද බෞද්ධ විෂයන් අතර දරුම, කන්නොන්, ශාබ, මංජු හා හොතේ ප්‍රධාන විය.

සම්ප්‍රදායික බෞද්ධ කලාවේ නිරූපණය වු ශාක්‍යමුණි, කන්නොන් හෙවත් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී ආදින් නිරූපණය කළ ද පරමාර්ථ වශයෙන් විශාල වෙනසක් දක්නට ලැබුණි. පර්වතයකින් පහළට බසින ශාක්‍යමුණි රූපය පැරණි බෞද්ධ කලාවේ චිත්‍ර නිරූපණය කළ අධිමානුෂික හා ලෝකෝත්තර ස්වභාවයට බෙහෙවින් පටහැනි වෙයි. සුදු පැහැති චීවරයකින් වැසුණු අවලෝකිතේශ්වර රූපය කඳු පාමුලක පිහිටි දිය ඇල්ලක් අසල භාවනානුයෝගීව සිටිනු දක්වයි.

පැරණි බෞද්ධ කලාවෙහි ඔවුන් නිරූපණය වූයේ විසිතුරු පාරාදීසවල වැඩවසන කල්පිත පුද්ගලයන් ලෙසටයි. ප්‍රතිමා ශිල්පයේ ඇති වූ මෙම වෙනස්කමට හේතු වූයේ ඔවුන් පූජාර්භ වස්තුන් ලෙස සැලකීමට වඩා චිත්ත ධෛර්යය වඩවන ආදර්ශ බවට පත් කිරීමයි. තීන්ත චිත්‍ර ඇඳීමෙහි නියැලූණු චීන සිත්තරුන් වෘත්තීය චිත්‍ර ශිල්පියෝ වූහ. නමුත් සුමි-එ සම්ප්‍රදායේ සිත්කළු හා සරල බව හේතුවෙන් දකුණු චීනයේ මෙන්ම ජපානයේ ද සෙන් භික්ෂුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. දවසේ දීර්ඝ කාලයක් භාවනානුයෝගීව වැඩ විසූ සෙන් භික්ෂූහු විරාමයක් ලද විට චිත්‍ර ඇඳීමෙහි නිරත වූහ. මේ හෙයින් මුල්කාලීන සුමි-එ චිත්‍ර බොහොමයකට ආගමික විෂයයන් ප්‍රස්තුත විය. කල්යත්ම අත්දැකිම් හා පළපුරුද්ද ලැබු සෙන් යතිවරු භූ දර්ශන චිත්‍ර ඇඳීම ආරම්භ කළහ. ජපානයේ සුමි-එ සම්ප්‍රදාය විකසිත වූයේ භූ දර්ශන චිත්‍ර ආශ්‍රයෙනි. ක්‍රි. ව. 14 වැනි ශත වර්ෂයේ මැද භාගයේ පමණ ජීවත් වූමොකුවාන් සහ කාඕ සුමි-එ සම්ප්‍රදායට චිත්‍ර ඇඳි මුල්කාලීන සෙන් යතිවරු වූහ. ක්‍රි. ව. 1333 දී පමණ චීනයට ගිය මොකුවාන් දස වසරකට පමණ පසු මියගිය බව පැවසේ. මොකුවාන් ගේ ශෛලිය චීන සිත්තරෙකුවු මු-චි ගේ ශෛලියට බෙහෙවින් සමානය.

හොතේ නම් සංචාරත භික්ෂුව නිරූපණය කරන මෙම චිත්‍රය මොකුවාන්ගේ නිර්මාණයකි. ජපන් ජාතිකයන් අතර පවත්නා විශ්වාසයකට අනුව වාසනාවට අධිපති දෙවිවරු සත් දෙනෙක් වෙති. හොතේ ඉන් එක් අයෙක් වන අතර ඔහු බෞද්ධ සම්ප්‍රදායට අයත් වූවකු සේ සැළකේ. හොතේ ගේ රූප ස්වභාව පිළිබඳ ජපන් ජාතිකයන් අතර පවත්නා හැඟීම සෙන් දහමින් මොකුවාන් ලද අභාසය හා සුමි-ඒ සම්ප්‍රදාය පිළිබඳ ඔහුගේ පරිචය මෙම හොතේ නම් චිත්‍රයෙන් ධ්වනිත වේ. හොතේ ගේ වටකුරු වූ නිරාවරණ උදරය ඔහුගේ අති මහත් ආත්මය පිළිබිඹු කරයි. උර මත වූ රිටෙහි එල්ලූණු පැස ඔහු ස්ථිර වාසස්ථානයක් නැති තැනින් තැන සංචාරය කරන පුද්ගලයකු බව පෙන්වයි. සිනාමුසු මුහුණ සියලූ බන්ධනයන්ගෙන් මිදුණු සැහැල්ලූ ජීවිතය පෙන්නුම් කරයි. කප්පිත්සු හෙවත් වියළි තෙලිකූර පාවිච්චි කිරීම මොකුවාන්ගේ ශිල්ප ක්‍රමයකි. වියළි බුරුසුවෙහි වෙන් වුණු කෙඳි සේද හෝ කඩදාසි මත තීන්ත ඇතිරීම සඳහා භාවිත කිරීමෙන් චිත්‍රයේ නිරුපණය වන වස්තුවල නැමි හා හිසකෙස් නිරූපණය කරනු ලැබේ. මොකුවාන් විසින් චිත්‍ර අඳිනු ලැබූයේ බෙහෙවින් සවිඥානකවය. එය හුදු ප්‍රකාශන අවියක් ලෙස පමණක් නොසැලකීය. එහි ප්‍රතිඵලය වූයේ එම මාධ්‍යයට ආවේණික වූ නිශ්චිත ගුණාංගයන් වර්ධනය විමය. හිස් වූ කඩදාසිය මත ඔහුගේ කුඩා එහෙත් අර්ථපූර්ණ රුව තියුණු ලෙස නෙත ගැටේ. සුමි-එ චිත්‍ර කලාවෙහි වැදගත් ම ලක්‍ෂණය වු රේබාවේ ප්‍රකාශනාත්මක බව මේ චිත්‍රයේ මූලික හරය කලාත්මකව ඉදිරිපත් කිරීමෙහිලා හේතු වී තිබේ. උරය මත වූ රිට හා වස්ත්‍රයේ ඇතැම් ස්ථාන තියුණු කළු පැහැයෙන් ද වරෙක කුරුටු ගෑ ආකාරයෙන් ද තවත් විටෙක බොඳ වූ අළු පැහැය යෙදීමෙන් ද මෙකී අර්ථවත් භාවය ලබා දී තිබේ. පසුබිමෙහි ශුන්‍ය බව චිත්‍රයෙහි අර්ථවත් බව මෙන් ම සුමි-එ චිත්‍ර කලාවේ හා සෙන් දහමේ අර්ථය ද අපූර්වත්වයකින් යුතුව ඉදිරිපත් කරයි.

මුල් අවධිය

සංස්කරණය

සුමි-එ චිත්‍ර කලාවේ මුල් අවධියේ දී හොතේ සහ ධර්ම නම් භික්ෂූන්ට අමතරව භාවනානුයෝගීව වාසය කරමින් සිට රහත් භාවයට පත් වූ භික්ෂූන් හා සෙන් ධර්මයට අනුග්‍රහයක් දැක්වූ භික්ෂූන්ගේ රූප ද චිත්‍රයට නගනු ලැබිණි. නමුත් සෙන් ධර්මය ප්‍රතිමා හා චිත්‍ර වන්දනාමාන කිරීම අනුමත නොකළ හෙයින් සුමි-එ සම්ප්‍රදායේ දෙවන අවධිය මුළුමනින්ම භූ දර්ශන චිත්‍ර සඳහා වෙන් වුණි. ස්වභාව සෞන්දර්යය චිත්ත ඒකාග්‍රතාවට හේතු වන බව සෙන් බුදු දහමේ පිළිගැනීමයි. සෙන් ආශ්‍රම පිහිටා තිබෙන්නේද බෙහෙවින් චිත්තාකර්ශණීය භුමි ප්‍රදේශයන්හිය. මේ නිසා භූ දර්ශන චිත්‍රවලින් කඳු-හෙල්, තුරු-ලතා, ඇළ-දොළ, ගංගා, පක්‍ෂීන් හා හිමෙන් වැසුණු ප්‍රදේශ නිරුපණයට සුමි-එ සිත්තරු මහත් අභිරුචියක් දැක්වූහ. චීන ආභාසය ලැබූ භූ දර්ශන චිත්‍ර කලාවේ නිමග්න වූ මුල්කාලීන සිත්තරෙකු ලෙස ජොසෙත්සු හැඳින්විය හැකිය. කියෝතෝවේ පිහිටි ශෝකොකු-ජී නම් ප්‍රසිද්ධ සෙන් ආශ්‍රමයේ විසූ ඔහු පහළොස් වැනි සියවසේ මුල් කාලයේ ජීවත් වූවෙකි. ඔහුගේ නිර්මාණ අතුරින් ඉතිරිව පවතින්නේ ලබු කබලකින් මසෙකු ඇල්ලීමට තැත් කරන මිනිසකු ඇක්වෙන චිත්‍රයකි. සුං යුගයේ චීන චිත්‍රයට බෙහෙවින් සමාන වූ මෙය සෙන් දහමේ එක් මූල ධර්මයක් ප්‍රකාශ කරයි. සෙන් දහමෙහි ධර්ම දේශනා පිළිබඳ විශ්වාසයක් නැත. මෙම චිත්‍රයෙන් ප්‍රකාශ වන්නේ ද පරම සත්‍යය යනු කවරේදැයි වචනයෙන් විස්තර කිරිම ලබු කබලකින් මසකු අල්ලන්නාක් සේ ම දුෂ්කර කාර්යයක් බවයි.

ශුබුන්

සංස්කරණය

ජොසෙත්සුගේ ශිෂ්‍යයකු වන ශුබුන් දහතුන් වැනි සියවසේ චීනයේ විසූ සුයිබොකු සිත්තරුන් අනුව යමින් තව ශෛලිය සකස් කර ගත්තෙකි. උණගස් සහිත පරිසරයක පිහිටි ආශ්‍රමයක් අසල සිට වනපොත් කරන භික්ෂුවක් දැක්වෙන චිත්‍රය ශුබුන්ගේ උසස් නිර්මාණයකි.

භික්ෂුව කඳු බෑවුමෙහි පිහිටි අසපුව ඉදිරියේ සිටී. ඔහු අවට පරිසරය බෙහෙවින් සිත්කළුය. කඳු පාමුලෙහි ගලා යන ගඟ හරහා වූ පාලමකින් මෙගොඩ එන පුද්ගලයෙකි. චිත්‍රයේ සෙසු ප්‍රදේශ හිස්ය. මීදුමෙන් වැසුනාක් මෙනි. විශ්වයේ විශාලත්වය හමුවේ පුද්ගලයා කෙතරම් කුඩා දැයි ප්‍රශ්න කරන්නට මෙන් භික්ෂු රූපය බෙහෙවින් කුඩාවට දක්වා තිබේ. කෝණික රේබා භාවිතය, ඇතැම් ස්ථාන අඳුරු කර ඇති අයුරු හා දුර ළඟ පෙන්වීමේ උපක්‍රම ආදිය තීන්ත චිත්‍ර මාධ්‍යයෙහි ශුබුන්ගේ පරිචය ප්‍රකාශ කරයි. එසේම චීනයේ සුං සිත්තරුන්ගේ අභාසය ද මැනවින් ප්‍රකට කරයි.

සෙස්ෂු

සංස්කරණය

සුමි-එ සම්ප්‍රදායෙහි දකින්නට ලැබුණු චීන ලක්‍ෂණ ඉවත් කොට එය ජපන් ලක්‍ෂණ සහිත කලාවක් බවට පත් කරන ලද්දේ ශුබුන්ගේ ශිෂ්‍යයකු වන සෙස්ෂු විසිනි. ක්‍රි. ව. 1420-1506 අතර කාලයේ ජීවත් වූ සෙස්ෂු ද සෙන් භික්‍ෂුකි. චීනයේ සංචාරයකින් පසු ක්‍රි. ව. 1469 දී ජපානයට පැමිණි ඔහු චීනයේ සුං හා යුඇන් කලාව පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළ පුද්ගලයෙකු සේ සැලකේ. ඔහු කියෝතෝ නගරයෙහි වාසයෙන් සෑහීමකට පත් නොවී ගම්බද සංචාරයට පෙළඹුණේය. බොහෝ සිත්තරුන් තනි වර්ණයෙන් චිත්‍ර කිරීමට ලැදියාවක් දැක්වුව ද සෙස්ෂු තම සිතැඟි පරිදි අවශ්‍ය අවස්ථාවල බහු වර්ණ භාවිත කළේය. මේ හේතුව නිසා ඔහුගේ චිත්‍රවලට විවිධ හේතු වස්තු විෂය වූ අතර ඒවා බෙහෙවින් ප්‍රකාශනාත්මක විය. වසරේ ඍතු හතර දැක්වෙන චිත්‍රය සෙසෂු ගේ චිත්‍ර අතර ජනප්‍රිය වූවක් විය. සෙස්ෂුගේ භූ දර්ශන චිත්‍රවල අවකාශය හිස්ව දක්නට නොලැබේ. යථාරූපී හා භාවරූපී ලක්‍ෂණ මිශ්‍රව පවතී. සෙස්ෂුගේ විසිරුණු තීන්ත ශිල්ප ක්‍රමය බෙහෙවින් චමත්කාරජනකය. මේ සඳහා තෙත් වූ තෙලි කූරක් භාවිත කරයි. කඩදාසි මත තීන්ත ඇතිරීම නිදහස්ව හා වේගයෙන් සිදු කෙරේ.

මෙම චිත්‍රයේ දෘශ්‍යමාන වන්නේ තීන්ත පැල්ලමක් පමණි. නමුත් පරීක්‍ෂාවෙන් බැලු කල කඳු පර්වත, කටු පඳුරු හා කුඩා ගෙයක් ද මිනිස් රූප දෙකක් ද දකින්නට ලැබේ. සෙන් දහමට අනුව ආත්මාවබෝධය ලැබෙන්නේ දීරීඝකාලීනව කෙරෙන ධර්ම අධ්‍යයනයකින් හෝ භාවනාවකින් නොවේ. එය එක් මොහොතක ක්‍ෂණයකින් ඇතිවන්නකි. ඔහුගේ විසිරුණු තීන්ත ශිල්ප ක්‍රමය ද එම දර්ශනය හා බෙහෙවින් අනුකූල වෙයි. සෙන් ධර්මයෙහි ප්‍රකට ඉගැන්වීමක් වන ශුන්‍යතා සංකල්පය මෙහි මැනවින් ප්‍රදර්ශනය වෙයි. පසුබිම මුබ්‍ය වශයෙන් ශුන්‍යය.

විවිධ ශෛලීන්

සංස්කරණය

ක්‍රි. ව. 1504-1589 දක්වා කාලයේ ජීවත් වූවා යැයි සැලකෙන සෙසොන්, සෙස්ෂුගෙන් පෝෂණය ලබා ස්වාධීන ශෛලියක් ගොඩනගාගත් සිත්තරෙකි. හොන්ෂු දුපතේ ඊසානදිග කොටසේ ජීවත් වූ ඔහු චීන චිත්‍ර හා සෙස්ෂුගේ චිත්‍ර අධ්‍යයනය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. සුළග හා රළ නැමැති ඔහුගේ චිත්‍රය බෙහෙවින් ප්‍රකාශනාත්මක වූවකි.

ක්‍රි. ව. 1436-1500 දක්වා කාලයට අයත් වන කානෝ මොසොනොබු සෙස්ෂුගේ සමකාලීනයකු හා ශුබුන්ගේ ශිෂ්‍යයකු විය. සමුරායිවරයෙකු වූ මොසොනොබු වෘත්තීය සිත්තරෙකු විය. ඔහු පාලකයාගේ නිල සිත්තරා වශයෙන් පත්වීම ඔහු අයත්වූ කානෝ ගුරුකුලය වඩාත් ප්‍රබල වීමට හේතුවක් විය.

ක්‍රි. ව. 1476-1559 දක්වා කාලයට අයත් වන කානෝ මොසොනොබු කානෝ ගුරුකුලයේ නියම ආරම්භකයා වශයෙන් හැඳින්විය හැකිය. ඔහු විසින් විවිධ ශෛලීන්ට අනුව චිත්‍ර අඳිනු ලැබිණි. චීන ශෛලිය මෙන් ම සමකාලීන ජපන් ශෛලීන්ද අත්හදා බැලු බව පෙනේ. තීන්ත චිත්‍ර ක්‍රමය ප්‍රචලිත වීමට පෙර ජපානයේ ප්‍රචලිතව පැවති යමතෝ-එ ශෛලියට දීප්තිමත් වර්ණ හඳුන්වා දුන්නේ මොසොනොබුය. පක්‍ෂීන් සහ දිය ඇල්ල දැක්වෙන චිත්‍රය මොසොනොබු ගේ උසස් නිර්මාණයකි. බෙහෙවින් නැවුම් බවක් ගත් මෙම චිත්‍රය සරල සෞන්දර්යයක් මෙන්ම සැරසිලි කලාවක ලක්‍ෂණ ද අන්තර්ගතව තිබේ.

මින් අනතුරුව ජපන් සිත්තරු බොහොමයක් ජපන් ශෛලිය හා චීන තීන්ත චිත්‍ර ශෛලිය යන දෙක ම අනුගමනය කරමින් චිත්‍ර අඳින්නට වුහ. හසෙගාවා තෝහකු එවැනි සිත්තරෙකි. ඔහුගේ වඳුරන් නිරුපනය කරන කළු සුදු චිත්‍රය තීන්ත චිත්‍ර සම්ප්‍රදායට අයත් විශිෂ්ට නිර්මාණයකි. වඳුරන් චිත්‍රයේ පෙරබිමට ගෙන තිබේ. අනවශ්‍ය විස්තර සියල්ලම ඉවත් කර බෙහෙවින් සරල සුන්දරත්වයක් පෙන්නුම් කර තිබේ. පසුබිම ශුන්‍යය. බොඳ වූ රේබා වඳුරන්ගේ ශරීරයේ ලොම් සහිත ස්වභාවය හඟවයි. තෝහකු සෙස්ෂු හා චීන සිත්තරෙකු වන මු-චිගෙන් ආභාසය ලබා තිබේ.

සුමි-එ කලාව ඔපවත් වූයේ සෙන් දහමේ ආභාසයෙනි. සෙන් දර්ශනයට අනුව මිනිසාගේ ප්‍රකෘති චිත්තය පවිත්‍රය. ශුන්‍යය. එය අපවිත්‍ර වන්නේ බාහිර අරමුණු හා ගැටීමෙනි. සිත නැවතත් ශුන්‍ය තත්ත්වයට පත් කර ගැනීම අවශ්‍යය. එසේ කළ හැකි වන්නේ භාවනානුයෝගිව සිටීමෙන් පමණක් නොවේ. දෛනික වැඩ කටයුතු සිහි නුවණින් යුතුව ඉටු කිරීමෙන් ද ජවන් සිත පවිත්‍ර කළ හැකිය. මේ හෙයින් සෙන් යතිවරු විවිධ සමාජ කාර්යයන්හි නිරත වූහ. සුමි-එ චිත්‍රකලාව මෙන් ම උද්‍යාන සැලසුම්කරණය ද නෝ රංග කලාව ද සෙන් දහමේ සෞන්දර්යාත්මක චින්තනයෙන් පෝෂණය ලැබ වර්ධනය විය.

උද්‍යාන සැලසුම්කරණය සෙන් දහම පිවිසිමට පෙර සිට ම ජපානයේ පැවතුනකි. එසේ වුව ද එම සම්ප්‍රදායට ගාම්භීර බවක් හා අර්ථවත් බවක් ලබා දුන්නේ සෙන් ධර්මයයි. සුමි-එ සිත්තරුන් අලංකාර වර්ණ බාහුල්‍යය ප්‍රතිකේ‍ෂ්ප කලා මෙන් ඇතැම් සෙන් යතිවරු වැලි සහ ගල් පමණක් උද්‍යාන සැළසුම් සඳහා භාවිත කළහ. උද්‍යාන අලංකරණය හා සුමි-එ සම්ප්‍රදාය අතර දැඩි සබඳතාවක් පවතී. සුමි-එ සිත්තරුන් තම චිත්‍රයන්හි ශුන්‍ය ප්‍රදේශ බහුල වශයෙන් දැක්වූවාක් මෙන් වියලි උද්‍යානයන් හි ද සුදු වැලි ඇතිරූ ප්‍රදේශ ශුන්‍යව පවතී. මනාව ඔප දමන ලද සැරසිලි සහිත නෝ වේදිකාව ද සෙන් දහමේ ශුන්‍යතා සංකල්පයට මනා නිදසුනකි. සෙන් දහම අධ්‍යයනය කළ හෝ නොකළ පුද්ගලයන් පවා ඉන් ඇති වී තිබෙන සංස්කෘතික චර්යා රටාවේ කොටස්කරුවන් බවට පත්ව තිබේ. සෙන් දහම එරට සෞන්දර්යට නව පරිමාණයක් එක්කිරීම ඊට හේතුවයි.


"https://si.wikipedia.org/w/index.php?title=සුමි-එ_චිත්‍ර_කලාව&oldid=434544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි