“සුනිල් එදිරිසිංහ යනු චින්තාකර්ෂණීය, ප්‍රබල පෞරුෂයකින් හෙබි, ගායකයෙකි. ඔහුටම සුවිශේෂ වූ ගායන විලාසයක් ඔහු ප්‍රගුණ කොට ඇත. සෑම ගීතයක්ම ඔහු ගායනා කරන්නේ ඒ ගීතයට සරිලන මනෝභාවයට කිඳා බැස, තමාගේම පෞද්ගලික අත්දැකීම ස්වරූපයක් ආරූඪ කරගෙනය. එහෙයිනි ගීතයේ අඩංගු රස හැඟුම් සහෘද සන්තානය විනිවිද යන අයුරින් සන්නිවේදනය කිරීමට ඔහු නිරන්තරයෙන්ම සමත් වන්නේ. එය අතිශය දුර්ලභ කුසලතාවකි“.

සුනිල් එදිරිසිංහයන් ගේ ‘සඳකඩපහණ‘ හරසර උළෙල නිමිත්තෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශූරීන් දැක් වූ හරසර උළෙල නිමිත්තෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශූරීන් දැක් වූ අදහස් බිඳකි ඒ.

මේ අග්‍රගන්‍ය ගායකයාණන්ගේ ගායන කෞශල්‍යය පිළිබඳ ඉන් මොනවට විදහා දැක්වෙන හෙයිනි, එදිරිසිංහයන් ගැන වගතුග ඉදිරිපත් කිරීමට මත්තෙන් යට කී අදහස ඉදිරිපත් කරනු ලැබුවේ. නමින් පැට්රිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ වූ මෙම දක්ෂතාපූර්ණ කලාකරුවාණන් උපත ලැබුවේ 1949 දෙසැම්බර් 19 වන දින කොළඹදීය. ඔහුගේ පියා පැට්කිරිගේ එදිරිසිංහ මහතා සහෝදරයන් තිදෙනකු හා සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සාය.

1955 වසරේදී මූලික අධ්‍යාපනය සඳහා ඔහු කැළණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුළු විය. කුඩා වියේදී පවා හෙතෙම ගායනා අංශයෙන් විවිධ දක්ෂතා දැක්වීය. අන්තර් පාඨශාලීය ගීත ගායනා තරඟ වලින් ඔහු ලත් ජයග්‍රහණ ඊට හොඳම නිදසුන්ය. බාල වියෙන් සමුගනිත්ම අධ්‍යාපනය ස‍ඳහා තරුණ එදිරිසිංහයන් සපුගස්කන්ද මහ විදුහලට සහ පසුව දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප පිරිවෙනටද ඇතුළු විය.

පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසු එදිරිසිංහ මහතා 1969 දී ලිපිකරුවකු වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට බැඳුනේය. ඔහුගේ ජීවිතයේ පෙරැළියක් සිදු වූයේ 1970 වර්ෂයේදී තම සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අධ්‍යක්ෂණය කළ සහ වික්ටර් රත්නායක මහතා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘මාතර ආච්චි‘ චිත්‍රපටයට ගීත ගායනයෙන් සහභාගි වීමෙනි. මේ අයුරිනි ඔහු ගායන ශිල්පියකු වශයෙන් දොරට වැඩියේ. මෙයින් ඇති වූ උනන්දුව නිසා සංගීතය පිළිබඳ වැඩිපුර ඉගෙන ගැනීමට කල්පනා කළ එදිරිසිංහයන් ගායන හා වාද්‍ය විශාරද පී.වී. නන්දසිරි ආචාර්යවරයාගේ සංගීත ශාස්ත්‍රාලයට ඇතුළු විය. පසුව ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ පළමු විභාගයට ඉදිරිපත්ව ඉන් පළමු පෙළ සාමාර්ථයක් ලබා ගත්තේය.

මේ අතර ‘හුලවාලි‘ සහ ‘ශ්‍රී මදාරා‘ යන චිත්‍රපටවලටද පසුබිම් ගායනයෙන් සුනිල් එදිරිසිංයන් සහභාගි විය. එසේම විශාරද විභාගයෙන් සහ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පිඨයේ ඩිප්ලෝමා විභාගයෙන් සමත් වීමටද ඔහුට හැකි විය. එපමණක් නොව 1975 දී ගුවන් විදුලි සංගීත පරීක්ෂණයෙන් සරළ ගී ගායකයකු ලෙස සමත් වූ එදිරිසිංහයන් 1977 වසරේදී වෙළඳ ගී තැටියක් සඳහාද ගීත කිහිපයක් ගායනා කළේය. ඒ සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ මහතාය. එතැනින් ඇරඹුණු සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ යන මේ දෙදෙනාගේ අපූරු සුසංයෝගයෙන් අගනා ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට තිළිණ වුණි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා - මඟ නොමඟ නොවැටී යන තාලේ

සිප්කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ - අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ ...

           ( පද රචනය - මහින්ද චන්ද්‍රසේකර)

යන නවමු බවින් සපිරුණු ගීතය මේ සඳහා කදිම නිදසුනකි. මේ අතර සුනිල් එදිරිසිංහ මහතාගේ ජීවිතයේ වැදගත් කඩඉමක් 1979 දී සනිටුහන් විය. එනම් මිරෙන්ජි ආරච්චිලාගේ දෝන නන්දනී මුණසිංහ මෙනවිය සමඟ විවාහ වීමයි. අනතුරුව 1980 වර්ෂයේ භාගයේදී එදිරිසිංහ මහතාගේ ප්‍රථම ගීත කැසට් පටය ‘චන්ද්‍ර මඬල‘ නමින් නිකුත් විය. ඒ වර්ෂයේදීම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයකු වශයෙන් සුදුසුකම් ලැබීමටද ඔහුට හැකි විය. වර්තමානයේ අප රටේ ශ්‍රාවක සහෘදයන් අතර ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වශයෙන් ජනප්‍රසාදයට පාත්‍රව සිටින සුනිල් එදිරිසිංහයෝ විදෙස් රටවලද මහත් කීර්තියක් අත්පත් කරගෙන සිටිති.

සුනිල් එදිරිසිංහයන්ගේ ජනප්‍රියත්වයට පත් වූ ගීත

සංස්කරණය

පුර පෝය හඳට ... වෙරළු ගෙඩිය හරි අටකට ... පිනිබර යාමේ ... මගෙ අමල්බිසෝ ... රුදුරු තුරු වඳුලේ ... මල් වට්ටියක් ... රෝස කුසුමක් ... පාරු පාලමෙන් ... ආදිය නිදසුන් කිහිපයකි. සම්මාන

ඒ මහතා ලැබූ සම්මාන

සංස්කරණය

1983 වසරේ ජනාධිපති සම්මානය(‘අධිෂ්ඨාන‘ චිත්‍රපටයේ පසුබිම් ගායනය වෙනුවෙන්)

1986 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍රය මගින් ‘වින්දන ප්‍රසාද ප්‍රණාම‘ සම්මානය පිරිනමනු ලැබීම.

1987 වසරේදී ‘ස්වර්ණ සංඛ‘ සම්මානය (‘මංගල තෑග්ග‘ චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා)

1988 වසරේ සරසවි සම්මානය (‘සඳකඩ පහන‘ චිත්‍රපටයේ පසුබිම් ගායනයට සඳහා)

1990 වසරේ ‘ස්වර්න සංඛ‘ සම්මානය (‘සහරාවේ සිහිනය චිත්‍රපටයේ පසුබිම් ගායනයට)

1992 දී ‘විසි වසරක ගායන මග හා විකාශය‘ යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී උපහාර උළෙලක් පවත්වා උපහාර පිදීම

"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_එදිරිසිංහ&oldid=549312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි