සීවලී මහ රහතන් වහන්සේ

බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.

අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.

එදින එක් ගම්වැසියෙක් තම ගෘහයෙහි මුදවන ලද දී කිරි පැසක් ගෙන විකුණන්න නගරයට යන අතරමඟ දඬුවැල් බෑ මීයක් දැක එයද කඩා පැණ ද ගෙන ඉදිරියට යන්නට විය. භාගයකට මෙන් අතරමඟ දී මී හා දී සොයාගිය දන් දෙන්නන්ට ඔහු මුණ ගැසුණේ ය. තමන්ට අවශ්‍ය දේ මඟදීම ලැබීම ගැන මහත් සතුටට පත් ඔවුහු කහවනුවක් ගෙන මී හා දී අපට දෙන්නැයි මඟියා ගෙන් ඉල්ලා සිටියහ. තමා අත වූ ද්‍රව්‍ය එතරම් නොවටිනා බව දත් මඟියා වැඩි මුදලකට මෙය ඉල්ලන්නේ කිසියම් වැදගත් අවශ්‍යතාවයකට යැයි සිතා කාරණය දැනගනු පිනිස දිය නොහැකි යැයි කිවේය. අනුක්‍රමයෙන් මිල වැඩි වී කහවනු දහසකට ඉල්ලූ පසු මෙපමණ වැඩි මිලකට මේවා ඉල්ලන්නේ කුමටදැයි විමසීය. එය බුදු රජාණන්වහන්සේට දානය පිණිස යැයි ඇසු කල්හී මහත් සතුටට පත්ව තමාම ගොසින් දන් පිළිගන්වා බුදුන් ප්‍රමුඛ භික්ෂූන් මී හා දී වළදනු දැක මේ කුසලයෙන් මට යසසින් අගතැන් ලැබේවායි ප්‍රාර්ථනා කොට ගියේය .

දිගු කලක් සසර සැරිසැරූ ඔහු අප ගෞතම බුදු රදුන් දවස උන්වහන්සේගේ ඥාතීන් වූ කෝලිය වංශයේ සුප්පවාසා නම් බිසවගේ කුස පිළිසිඳ ගත්තේ ය. දරු ගැබ නිසා සුප්පවාසා බොහෝ දුක් වින්දා ය. ප්‍රසූතියට පෙර සත් දිනක් තිස්සේ ඇයට මහත් වේදනා ඇති විය.

එම වේදනාවෙන් මියයතැයි සිතූ ඇය මිය යාමට පෙර බුදුරදුන් වඩමවා දනක් පිරිනැමීමට කල්පනා කොට , විහාරයට ගොස් බුදුරදුනට දනට ආරාධනා කරන්නැයි ද , තමා ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් මහත් වේදනාවෙන් සිටින බව පවසා නමස්කාර කරන්නැයි ද , කීවාය . ඇගේ ස්වාමියා විහාරයට ගොස් සුප්පවාසා පිළිබඳ විස්තරය බුදුරදුනට දන්වා සිටියේ ය. "සුප්පවාසා නීරෝගී වේවා" යැයි වහා ප්‍රාර්ථනා කළ බුදු රජාණන් වහන්සේ ඇය පුතෙකු ප්‍රසූත කරන බව ද වදාළහ. දනට ආරාධනා කළ ඔහු ආපසු යද්දී පින්වත් කුමාරයෙකු බිහිවී මව ද සිඟිත්තා ද නීරෝගීව සිටියා ය. මෙම සතුට නිසා ඔවුහු බුදු පාමොක් මහ සඝනට සතියක් පුරා මහ දන් දුන්හ. සියලු ඥාතීන්ගේ තැවුණ සිත් සුවපත් කරමින් උපන් කුමරුට සීවලී යැයි නම් තබන ලදී . අනුක්‍රමයෙන් වැඩුණු කුමරු සියලු කටයුතු ඉතා දක්ෂව කලේය . තමන් කුස තුළ සිටියදී මවත් තමනුත් මහත් දුක් විඳි බව නොයෙක් දෙනාගෙන් දැනගන්නට ලැබුණි.

සාරිපුත්ත රහතන්වහන්සේ තම නිවසට වැඩම කළ දිනක ඔහු ඒ ගැන කතාබහ කලේය . එම දුක නැවත නොවිඳිය යුතු යැයි හේ සිතීය. ඔහු කුඩා කලම මාපියන්ගේ කැමැත්ත ගෙන සැරියුත් හිමි සමීපයෙහි පැවිදි විය. පැවිද්ද ලද නොබෝ කලකින්ම විදසුන් වඩා රහත් වූහ.

උන්වහන්සේ යන එන හැම තැන නොයෙක් ප්‍රත්‍යන් බහුලව ලැබෙන්නට විය. වැලි කතරක වැඩම කළ විට වුවද තමන් සමඟ යන සියලු භික්ෂූන්ට සමඟම දන් ලැබුණේ ය.

බුදු රජාණන් වහන්සේ දුර බැහැරක වැඩම කරන විට වුවද සියලු භික්ෂූන්ගේ ප්‍රත්‍ය පහසුව සළකා සීවලී තෙරුන් ද කැටුව වැඩම කළ බව දැක්වේ.

දිනක් සැරියුත් තෙරුන්ගේ බාලම සොයුරු විවාහ මංගල්‍යයෙන් පසු යමින් සිටියදී පැවදිවන්නට සිතීය. අතරමඟ වනයක දී සිරුරු කිස සඳහා යැයි රථයෙන් බැස පලා ගොස් වනවාසී භික්ෂූන් පිරිසක් හමුවේ තමන් සැරියුත් තෙරුන්ගේ බාලම සොයුරු බව පවසා පැවදි විය. මාපියන් සොයා පැමිණිය හොත් ඈත වනයෙහි කිහිරි වනයට ගොස් වස් වසා ධෛර්යය උපදවා රහත් විය.

තම මලනුවන් පැවදි වූ බව ඇසූ සැරියුත් තෙරුන් ඔහු දකින්නට යාමට සූදානම් වූහ . ඒ බව ඇසූ බුදු රජාණන් වහන්සේ ද ඔහු දකින්නට යාමට සතුටුව මඟට පිළිපන් සේක. එහි අතරමඟ සන්ධිස්ථානයක දී වනය මැදින් යා හැකි පහසු මඟ ලෙස තිස් යොදුනක් දුර වූ මඟ තෝරාගත්හ. එහෙත් භික්ෂූන් වහන්සේලාට සිව්පසය පිළිබඳ ප්‍රශ්නය මතුවිය.

මෙහිදී බුදු රජාණන් වහන්සේ සීවලීත් ආයේදැයි විමසීය. එසේ යැයි පිළිතුරු දුන් කල්හි එසේ නම් දන් වරදින්නේ නැතැයි පිළිතුරු දුන් සේක . මුළු තිස් යොදුනක් දුර පුරාම දානෝපකාර අඩුවක් නැතුව ලැබුණ බව එම කතා ප්‍රවෘත්තියෙන් දැක්වේ .

"https://si.wikipedia.org/w/index.php?title=සීවලී_මහ_රහතන්_වහන්සේ&oldid=438411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි