සිරස් වගාව යනු නාගරික ප්‍රදේශයන්හි උස් ගොඩනැගිලි වල කෙරෙන කෘෂිකාර්මික ක්‍රම වේදයකි. මෙම ගොඩනැගිලි වල හරිතාගාර ක්‍රම උපයෝගි කර ගනිමින් වසර පුරා සම්පත් ප්‍රතිචක්‍රීකරණය කරමින් අනාගත නගර ස්වයං පෝෂිතව පවත්වා ගෙන යාම පිණිස පළතුරු එළවලු වගාව මෙන්ම මසුන් ඇති කිරීම සහ සත්ව පාලනයද කළ හැකිය.

මෙම සංකල්පය සඳහා කෙරුණු පර්යේෂණ වල මූලිකයා ලෙස හැඳින්වෙන්නේ නිව් යෝර්ක් හි කොලම්බියා විශ්ව විද්‍යාලයේ ඩික්සන් ඩෙස්පොමියර් නම් වූ පාරිසරික සෞඛ්‍ය විද්‍යා මහාචාර්යවරයාය. ඩික්සන්ගේ සිරස් වගාව නැමැති සංකල්පය අඩංගු ලිපිය නිව් යෝර්ක් මැගසින් නම් සඟරාවේ පළ වීමත් සමග ලොස් ඇන්ජලීස් හි (යුනයිටඩ් ෆියුචර් හි නිර්මාණ අධ්‍යක්ෂ) ක්‍රිස් ජේකබ් විසින් සැලසුම් කරන ලද මෙම ක්‍රමය කැලිෆොර්නියාව විසින් ලෝකයේ අවධානයට යොමු කරනු ලැබීය.

සිරස් වගා ක්‍රමයේ බලාපොරොත්තු විය හැකි වාසිදායක තත්වය නම් කැලැ එලි කිරීම වැලැක්වීම සහ කාන්තාර ඇතිවීමේ තත්වය වැලැක්වීමයි. ජනාවාස ප්‍රදේශ තුලම ආහාර නිෂ්පාදනය කර ගැනීමෙන් ඈත තිබෙන ගොවිබිම් වලින් ආහාර වර්ග ප්‍රවාහනයේදි ඇති විය හැකි දූෂණ තත්වයන්ද අවම කර ගත හැකිය. මනාව සකස් කරන ලද හරිතාගාරයක් පාවිච්චි කිරීමෙන් අස්වැන්න වැඩිපුර ලබා ගත හැකි අතර කෘමිනාශක වල් පැලැටී නාශක සහ පොහොර භාවිතයද අවම කළ හැකිය. දැනට පෙනෙන අන්දමට ඉදිරියේදි මෙම සිරස් ගොවිපල වල අප ජලය පිරිසිදු ජලය බවට පත් කර අප ද්‍රව්‍ය වලින් විදුලියද නිපදවා එම අංශ වලින් ස්වයං පෝෂිත තත්වයට පත් වනු ඇත.

මහාචාර්ය ඩෙස්පොමියර් මෙම සිරස් ගොවිපලවල් බිහි කිරීමේ තාක්ෂණය දැනට අප සතු බව කියයි. ඔහු කියන්නේ මෙම ක්‍රමය ලාභ හා ප්‍රතිඵල දායී බවයි. දළ ඇස්තමේන්තුවකට අනුව 35000 ක පිරිසකගේ ප්‍රයෝජනයට ගත හැකි සිරස් ගොවිපලක් බිහි කිරීමට වැය වන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 84 කට වඩා අඩු මුදලකි. දැනට ටොරොන්ටෝ නගරයෙහි මෙවැනි ගොවිපලක් තැනීමට සැළසුම් ශිල්පි ගෝර්ඩන් ග්‍රාෆ් සැළසුම් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සිරස්_වගාව&oldid=662588" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි