සිංහල සදැස් පද්‍ය සාහිත්‍ය

හැඳින්වීම සංස්කරණය

පද්‍ය සාහිත්‍යය තුළ සඳැස් පද්‍ය යනුවෙන් අප සලකනුයේ චන්දස් අනුව ගොඩනැගූ පද්‍යයන්ය. චන්දස් යනු පද්‍යයක අක්ෂර හෝ මාත්‍රා නියමයයි. මේ ආකාරයක පද්‍යයක තිබිය යුතු අක්ෂර මාත්‍රා ගණනත් ආදී රීතීන් චන්දස් ග්‍රන්ථ වල සදහන් කොට ඇත. සිංහල පද්‍ය සාහිත්‍යයේදී කවීන් කෙතරම් දුරට චන්දස් කෙරෙහි යොමුවී පැවතියේ දැයි කිවහොත් එයින් තොරව පද්‍ය පිළිබඳව කථාකිරීමට පවා කවීන් මැලි වූයේ ය.

කවිය පිළිබඳ විවිධ මතිමතාන්තර ඇතිවීමට පටන්ගත් අතර විශ්වනාථ පඬිවරයා “කවිය යනු රසවත් වැකියක් බව” (වාක්යඃ රසාත්මකං කාව්යං) විස්තර කරයි. මෙලෙස අලංකාර වාක්‍ය ගොඩනඟා ගැනීමට චන්දස් ශිල්පය බලපා ඇති බව පෙනෙයි. මේ අනුව ගිය පැරණි සිංහල කවි සිව්පද හෝ සිලෝ විරිත් වලින් බැඳී පැවතුනි. කොළඹ යුගයේ මුල් පරපුරත්, හෙළ හවුලේ කවීනුත් මෙම සාම්ප්‍රදායි විරිත් ක්‍රමය භාවිත කළහ. මොවුහු විරිත් මාත්‍රා ඇතිව ලියූ කවර පද්‍යයක් වුව ද කවියක් ලෙස සැලකීමට තරම් චන්දස ගුරු කොට සැලකූහ. එම නිසා විරිත්, එළිසමය ආදිය නිසා ඇතිවන ශබ්ද රසය කවියට ආවේණික ලක්ෂණයක් බවට පත්විය. මේ අනුව බලන කල්හි සඳැස් කාව්යහ යනු රීතිමය පදනමකින් බැඳී පැවති කාව්‍ය විශේෂයකි.

සදැස් ක්‍රමය අනුව යමින් කොට්ටේ යුගයේ සංදේශ සාහිත්‍ය නිර්මාණය විය. නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය හඳුන්වා දීමට පෙර හෙළ හවුල සහ කොළඹ යුගයේ මුල් හා දෙවන පරපුර සඳැස් කවි නිර්මාණය කළහ. මේ යුගවල කවීන් ගුරුකොට ගත් සදැස් අලංකාර පද්‍ය සාහිත්‍යයේ මං සලකුණු සටහන් කළ බව නොරහසකි.

සඳැස් පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් කෝට්ටේ යුගය සලකනුයේ සංදේශ සාහිත්‍යයේ ඇති ප්‍රබෝධය නිසාය. එනම් සංදේශ පහක් ම ලියවී තිබීම නිසාය.

හංස සංදේශය, ගිරා සංදේශය, මයුර සංදේශය , සැළලිහිණි සංදේශය, පරවි සංදේශය ආදී වශයෙන් මෙම සංදේශ කාව්‍ය රචනා කිරීමේ දී සකු අලංකාරික වාදයට අනුව යමින් චන්දස් අලංකාර පිළිබඳව සැලකිලිමත් වී ඇති බව පෙනෙයි. එනම් කාව්‍යයන්හි චමත්කාරය පිළිබඳව එකල කවීන් වැඩි අවධානයක් යොමු කිරීමයි.

හංස සංදේශය සංදේශ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයකි. එළිසම එළිවැට පිහිටීම අතින් එහි එන පද්‍ය උසස් ලක්ෂණ පෙන්වයි. මාත්‍රා නියමයන් හා අක්ෂර පිහිටීම අතින් උසස් පද්‍යය ලෙස පහත පද්යත පෙන්වා දිය හැකිය.

සිත් හිතියෙන් මුණි පුදයට නමා ලිය

සත් ගුණයෙන් සව් සතසිත අමා ලිය

ගත් විකුමෙන් රුපු නිරිඳුන් දමා ලිය

මෙත් සිසිලෙන් මුළු තෙදියත තෙමා ලිය

මෙම පද්‍යය කියවීමේ දී ඇතිවන ශබ්ද ධ්වනිය නිසාම රුචිය වර්ධනය වීම නිතැතින් ම සිදුවන්නකි. මෙහි එන “සිත්, සත්, ගත්, මෙත්” ආදී පද එකම හලන්ත ශබ්දයකින් අවසන් වී ඇත. අක්ෂර දෙකකට සීමා වීමත් එකම මාත්‍රා නියමයකට අයත් වීමත් නිසා චන්දස් අලංකාරය ආරක්ෂා වී ඇති බව පෙනෙයි. එහි එන අනෙකුත් පද්‍යද ද එසේම ය. එනම් “නිතියෙන්, ගුණයෙන්, විකුමෙන්, සිසිලෙන්” යන පද හතරත් “මුණි, සව්, රුපු, මුළු” යන හතරත් “පුදයට, සතසිත, නිරිදුන්, තෙදියත” යන පදත් “නමා, අමා, දමා, තොමා” යන පදත් “ලිය” යනුවෙන් පද හතරම අවසන් වී තිබීමත් නිදසුන් වශයෙන් දැක්වීමට හැකිය.

සැළලිහිණි සංදේශයේ ද එවන් අවස්ථා විද්‍යාමානවෙයි. පද්‍ය ප්‍රමාණයෙන් කෙටි වුව ද සෑම පද්‍යයක්ම පාහේ උසස් කාව්‍ය ලක්ෂණ ප්‍රකට කරවන අන්දමක් රචනා කිරීම සඳහා කවියාට චනදස් අලංකාර බලපා ඇති බව පෙනෙයි.

සැළලිහිණි සංදේශයේ සඳහන්වන පහත පද්‍යය ඊට උදාහරණයකි.

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට

බඳ කිකිණිය දද ගිගිණිය විමන් වට

නොව පැරණිය වන රමණිය විටින් විට

සැළලිහිණිය වඳු කැළණිය පුරව රට

මෙහි එන අනුප්‍රාස උපදවන යෙදුම් හඬ නඟා කිවීමේ දී ඇතිවන ශබ්ද ධ්වනිය තුළ ගීතවත් ලාලිත්‍යයක් ගැබ් වී ඇත. මෙහි එන එක මාත්‍රා වකින් ඇති “ණි” නම් ලඝුව “න” නම් දේව ඝණයෙන් නිර්මාණය කරගෙන ඇත. එකල කාව්‍යකරණයෙහි නියැලුණු පඬිවරුන් මාත්‍රා පිහිටීම, ඝණ පිහිටීම, ලඝු, ගුරු භේද සහ කාව්‍යාලංකාර පිළිබඳව මනා අවබෝධයක් තිබූ බව කවීත්වය තුළින් දිස්වෙයි.

මේ ආකාරයට බලන කල කෝට්ටේ යුගයේ සංදේශ සාහිත්‍යය චන්දස් අලංකාර යෙදීම තුළින් විශිෂ්ඨ ලක්ෂණ පෙන්නුම් කර ඇති බව පෙනී යයි.

එබැවින් කෝට්ටේ යුගයේ දී සඳැස් පද්‍ය නිර්මාණ උසස් මට්ටමක පැවති බව පෙන්වා දීමට හැකිය.

කොළඹ යුගයේ සඳැස් පද්‍ය සංස්කරණය

මහනුවර යුගයේ මැද භාගයෙන් පසුව එළඹෙන නූතන සාහිත්‍ය යුගයේ දී පද්‍ය සාහිත්‍යය තුළ දක්නට ලැබෙන ආවේණික ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වයි.

එනම්, 1.කොළඹ යුගයේ මුල් පුරුපුරු 2.කොළඹ යුගයේ දෙවන පරපුර 3.හෙළ හවුල 4.නිදහස් හෙවත් නිසඳැස් පරපුර, යනුවෙනි.

මෙයින් ද නිදහස් කවියේ පළමු අවධිය සහ දෙවන අවධිය යනුවෙන් දෙකොටසකට බෙදා දැක්විය හැක. කොළඹ යුගයේ මුල් පරපුරත් දෙවන පරපුරත් කාව්ය කරණයේ දී සමාන ලක්ෂණ පිළිබිඹු කරන අතර හෙළ හවුල දේශීය කවි ආරක් ගොඩනඟා ගැනීමට වෙහෙසී ඇති බවක් දක්නට ඇත. මොවුන්ගේ කාව්ය නිර්මාණ අගය කිරීමේ දී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් ලෙස සඳැස් පද්යි රචනා පෙන්වා දිය හැකිය. එනම් ඊට පෙර යුගවල පැවති කාව්යම රීතීන් තව දුරටත් අනුගමනය කිරීමකි. චන්දස් අලංකාර අනුව කවි ලිවීම සංස්කෘත ආභාෂය ලැබූ පැරණි කවීන්ගේ ලක්ෂණයකි. මේවායින් සම්පූර්ණයෙන් බැහැර වීමට පසුකාලීන කවීන්ට ද නොහැකි වූයේ කාව්‍යයේ නීතිරීති ග්‍රන්ථ සම්පාදනය කොට තිබීම නිසයි.

සියබස්ලකර, එළු සදැස් ලකුණ, සිදත් සඟරාව ඉන් සමහරකි. සඳැස් පද්‍ය ආර අනුව කවි ලියූ කොළඹ යුගයේ කවීන් අතර, ඇස්. මහින්ද හිමි ආනන්ද රාජකරුණා ජී.එච්. පෙරේරා ආදී කවීන් කොළඹ යුගයේ මුල් පරපුර නියෝජනය කරයි. කොළඹ යුගයේ දෙවන අදියරට අයත් සඳැස් ගුරු කොටගත් කවීන් අතරට, පී.බී. අල්විස් පෙරේරා එච්.එම්. කුඩලිගම විමලරත්න කුමාරගම වැනි කවීන් එක් වෙයි. හෙළ හවුලේ කවීන් වන, මුණිදාස කුමාරතුංග රැපියෙල් තෙන්නකෝන් අරිසෙන් අහුබුදු ආදී කවීන් සඳැස් පද්යග නිර්මාණය කළ කවීන් ලෙස හදුන්වාදිය හැකිය. මුනිදාස කුමාරතුංග මහතා තමා පිළිබඳම සදහන් කරන පහත කවියෙහි චන්දස් අලංකාර පද්යම බලන විට ඔහුගේ කවීත්වය මැනවින් හෙළිවෙයි.

මා දෙස හෙළ දෙස අන් කිසි දෙයකට

මා බස හෙළ බස අන් කිසි බසකට

මා රස හෙළ රස අන් කිසි රසකට

මා හිස නොන මමි නොන මම් කිසිවිට

මෙහි මාත්‍රා දෙකින් දෙකට පිහිටුවා ඇති අතර එකම අකුර යොදා ගැනීමෙන් සිදුකර ඇති එළිසම ගැන්වීම අතින් ද පොහොසත් බව පෙන්වා දීමට හැකිය. නිදසුන් ලෙස “මා, ස, හෙළ, කිසි, ම” ආදී අවස්ථා සඳහන් කිරීමට හැකිය.

රැපියෙල් තෙන්නකෝන් මහතා ද සඳැස් කවි මග ගත් තවත් හෙළ හවුලේ කවියෙකි. ඔහුගේ කවියක් වන “කතරගම දෙවියන් යැදීම” නම් පද්‍යයෙහි සඳැස් කවි ආර කැපී පෙනෙයි. පහත උදාහරණයෙන් එය වඩාත් තහවුරු වෙයි.

දුඳනොද බිඳ ඔඳ තෙද කද කඳ දෙව් රද සාමිනේ...

මෙහි එකම මාත්‍රා නියමයකට අනුව සකස් කළ බවක් දිස්වෙයි. මාත්‍රා දෙකින් දෙකට පිහිටි පද්‍යයක් මෙහි දැක්වේ. හෙළ බස රැකීමේ දැඩි උවමනාවකින් කටයුතු කළ හෙළ හවුලේ කවීන් අතින් දෝෂ තැන් ඇතිවීමට ඉඩකඩ නොමැති වී ඇති බව පෙනෙයි.

මේ ආකාරයට බලන කළ සඳැස් කවිය හෙළ හවුල අතින් ද පෝෂණය වී ඇති බව පෙනෙයි.

පූජ්‍ය මඩහපොළ විමලජෝති හිමි

071 8017064

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1.රචන මාර්ගය 1965

2.සංගෘහිත සිංහල පද්‍යය, සෝමරත්න බාලසූරිය/ගාමිණී දෑල බණ්ඩාර, 1996, සම්භාව්‍ය ප්‍රකාශකයෝ

3.සිංහල සාහිත්‍ය වංශය හා හෙළ ගත් කතුවරු, විමල් තිලකරත්න, 2003, උදය ප්‍රකාශකයෝ

මඩහහපොළ විමලජෝති හිමි 00:45, 4 ජූලි 2013 (යූටීසී)