මගින් සිංහල විශ්වකෝෂයේ වෙබ් අඩවියට පිවිසය හැකිය

විශ්වකෝෂය යනු සෑම ක්ෂේත‍්‍රයක් ම නියෝජනය කරන විශ්ව දැනුම විෂය ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියනු ලැබූ පර්යේෂණාත්මක ශාස්ත‍්‍රීය ලිපි අනුසාරයෙන් ක‍්‍රමානුකූල සැලැස්මකට අනුව ලේඛන ගත කරන ලද කෝෂ ග‍්‍රන්ථ විශේෂයකි. නොවේ නම් විශ්ව ඥානය විශද කරමින් විෂය ප‍්‍රාමානික විශේෂඥයන් විසින් ලියනු ලබන ලිපි ඇතුළත් ග‍්‍රන්ථ විශේෂයකි.

යම් කරුණක් පිළිබඳ කවුරුන් ද? කුමක් ද? කවදා ද? කෙසේ ද? කොහේ ද? මන්ද? යනුවෙන් නැගෙන ප‍්‍රශ්නවලට අදාළ තොරතුරු විශ්වකෝෂ ලිපියකින් දැනගත හැකිය.

විශ්වකෝෂය අතීතයේ ග‍්‍රන්ථ වශයෙන් සම්පාදනය වුව ද වර්තමානයේ පරිගණක මෘදුකාංග, සංයුක්ත තැටි හෝ වෙබ් අඩවි වශයෙන් නවීන තාක්ෂණානුකූලව එළිදැක්වේ.

එකල දැනුම සහ තොරතුරු එක් තැනක එක් රැස්ව නොපැවතුණු නිසා ඒවා එක් රැස් කොට ඉදිරිපත් කිරීම අරමුණු කරගෙන විශ්වකෝෂය නිර්මාණය කරන්නට ඇත.

ග‍්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ ආදි කර්තෘත්වයෙන් ඇරඹුණු විශ්වකෝෂය, අද ලෝකයේ මෙන් ම විශ්ව තොරතුරු සන්නිවේදනය කෙරෙන දැනුම් සයුරක් බවට පත් ව ඇත. ලෝක විශ්වකෝෂ අතර බි‍්‍රතාන්‍ය විශ්වකෝෂය, ඇමෙරිකානු විශ්වකෝෂය, වෙම්බර් විශ්වකෝෂය, කොලියර්ස් විශ්වකෝෂය, කැඩිලැස් විශ්වකෝෂය වඩාත් ප‍්‍රකට මෙන් ම වැදගත් විශ්වකෝෂ වේ.

2500 බුද්ධ ජයන්තිය නිමිති කරගෙන පිහිටුවනු ලැබූ ලංකා බෞද්ධ මණ්ඩලය යටතේ සිංහල විශ්වකෝෂ කාරක සභාවට විශ්වකෝෂ සම්පාදන කාර්යය පවරනු ලැබීය. මෙම කාරක සභාවේ සභාපති සහ සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධූරය සඳහා මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි මහතා පත් කළේය. ඒ අනුව 1955 මැයි මස 03 වන දින සිංහල විශ්වකෝෂ කාර්යාලය කොළඹ රොස්මිඞ් පෙදෙෙසේ අංක 109 දරන ස්ථානයේ දී විවෘත කරනු ලැබීය. 1956 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇරඹීමෙන් පසු එය යටතේ විශ්වකෝෂ කාරක සභාව පවත්වා ගෙන යන ලදි. විශ්වකෝෂය සඳහා අංග සම්පූර්ණ පුස්තකාලයක අඩුව මතු ව ආ බැවින් 1956 ජනවාරි 01 දින සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකට ගෙන යනු ලැබීය.

මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගෙන් පසුව අචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග, මහාචාර්ය කේ. එන්.  ඕ. ධර්මදාස හා මහාචාර්ය මැන්දිස් රෝහණධීර යන මහත්වරු ප‍්‍රධාන කර්තෘ ලෙස සේවය කළහ.

මේ වන විට සිංහල විශ්වකෝෂය අන්තර්ජාලගත කොට ඇත. එහි වෙබ් අඩවිය වන්නේ www.encyclopedia.gov.lk  යන්නයි. ලෝකයේ බොහෝ රටවල මේ වන විට විශ්වකෝෂ අන්තර්ජාලයට මුදා හරිමින් පවතී. මෙය ලෝක ප‍්‍රවණතාවක් ලෙස ද සැලකීමට පුළුවන. තොරතුරු තාක්ෂණය ප‍්‍රචලිත වීම හේතු කොට ගෙන මෙය යුගයේ අවශ්‍යතාවක් බවට පත් ව ඇත. බි‍්‍රතාන්‍ය විශ්වකෝෂය මෑතක් වන තුරු මුද්‍රිත පොතක් වශයෙන් පැවතුන ද 2010 වසරේ සිට අන්තර්ජාලගත කොට ඇත. පාඨක ප‍්‍රජාව අභිභවමින් තාක්ෂණය පරිහරණය කරන පිරිස් දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවත්නා නිසා, සිංහල විශ්වකෝෂය ද අන්තර්ජාලයට ප‍්‍රවිෂ්ට කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා සිංහල විශ්වකෝෂය සමඟ අත්වැල් බැඳ ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයයි (UCSC - University of Colombo School of Computing)

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_විශ්වකෝෂය&oldid=537164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි