සමාධි (බුදු දහම)

(සමාධි වෙතින් යළි-යොමු කරන ලදි)

බුදුදහමට අනුව සමාධි හෙවත් සම්මා සමාධි යනු සිත එකාග්‍රව තබාගැනීමයි. (චිත‍්තස‍්ස ඒකග‍්ගතා සමාධි)

".........තත්ථ කතමෝ සම්මා සති ? ඉධ භික්ඛූ විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි...."ආදී වශයෙන් නිවැරදි සමාධිය යන්න සිව්වැදෑරුම්ව විස්තර කෙරේ. එනම්,

ගොනුව:සමාධි1.jpg
  1. ප්‍රථම ධ්‍යාන සමාධිය
  2. ද්විතීය ධ්‍යාන සමාධිය
  3. තෘතිය ධ්‍යාන සමාධිය
  4. චතුර්ථ ධ්‍යාන සමාධිය

මෙසේ සිත ස්ථිර ලෙසින් නොසැලෙන අයුරින් පිහිටුවා ගැනීම සම්මා සමාධිය වේ.

සමාධිය පිලබඳ සඳහන් අවස්ථා

සංස්කරණය

සමාධිය පිළිබඳ සංකල්පය පහත දේශනාවල අඩංගු වේ.

- ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වන සම්මා සමාධිය (නිවැරදි සිහිය)

- ත්‍රිවිද්‍යාව (පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය හා ආසවක්‍ඛය ඤාණය) - සීල, සමාධි, ප්‍රඥා

- ධ්‍යාන සතර, දෙවන ධ්‍යානය හට ගන්නේ සමාධියෙනි.

- විශුද්ධි මාර්ගයට අනුව ප්‍රඥාව ලබා ගැනීමට ආසන්නතම හේතුව වන්නේ සමාධියයි.


සමාධි වඩන ක්‍රමය

සංස්කරණය

බුදු දහමට අනුව සතලිස් කම්මත්ථාන පිළිබඳ මෙනෙහි කිරීමෙන් සමාධිය හට ගනි. සමාධිය වැඩීමෙන් කෙනෙකුගේ සිතේ කෙලෙස් දුරු වී සිත සන්සුන් භාවයට පැමිණේ. භාවනානු යෝගියෙකු සමාධි භාවනාවෙන් ඉහළම තලයට ළඟා වු පසු ඔහු යථාර්ථයේ නියම ස්වභාවය අවබෝධ කරගෙන දුකින් මිදීමේ සත්‍යය වෙත ළඟා වේ.

සමාධියේ ප්‍රයෝජන / අරමුණු

සංස්කරණය

අංගුත්තර නිකායේ සමාධිය වර්ධනයේ ක්‍රම 4 ක් දැක්වෙන අතර සෑම ක්‍රමයක‍ටම අනන්‍ය වූඅරමුණක් පවති.

1. ධ්‍යාන සතර වැඩීමෙන් සාමාන්‍ය ජීවිතය ප්‍රසන්න භාවයට පත් කර ගත හැක.

2. ප්‍රඥා‍ව හා අභිඥා - අලෝකය අරමුණු කර භාවනාවෙන් ලැබේ.

3. සිහිය හා පැහැදිලි අවබෝධය - වේදනා, සංඥා හා සිතුවිලි සි‍තෙහි පවතින ආකාරය පිළිබඳ සිත පිහිටුවීමෙන් ලැබේ.

4. කෙලෙස් දුරු කිරීම - පංචස්කන්ධයේ ස්වභාවය පිළිබඳ සිත පිහිටුවීමෙන් ලැබේ.

බෞද්ධ සුත්‍ර වලට අනුව සමාධි භාවනාව පුහුණු කරන්නෝ විවිධ අභිඥා බල හෙවත් අධිමානසික බල ලබාගනිති. නමුත් බුදුරජාණන් වහන්සේ මෙම හැකියාවන් හේතුවෙන් සිත වියවුල් කරගෙන නිර්වාණය පිළිබඳ අරමුණු අමතක නොකරන ලෙසට අනතුරු ඇඟවු සේක.

බෞද්ධ මාර්ගයෙහි සමාධිය ක්‍රමවත් ලෙස ප්‍රගුණ කිරීම සඳහා අනුපූර්ව ශික්ෂාවක් නිර්දේශ කොට තිබේ. බුදුරදුන් වදාළ විමුක්තිය පසක් කර ගැනීම පිණිස සමාධිය ප්‍රගුණ කිරීමට පෙළෙඹෙන ශ්‍රාවකයා පළමුව ආත්ම දෘෂ්ටියෙන් මිදී නිවැරැදි කල්පනාවක පිහිටා ශීලය, ප්‍රගුණ කලයුතුවේ. ශීලය තහවුරු වන්නේ ඉන්ද්‍රිය සංවරය මතය. ඉන්ද්‍රියයට අරමුණු ලක් වූ විට ඒ අරමුණු කෙරෙන් නිමිති හා අනුව්‍යංජන උපාදාන වශයෙන් නොගැනීමට ශ්‍රාවකයා වග බලා ගත යුතුයි. පාපක අකුසල ධර්ම වැළැක්වීම පිණිස නිබඳව සිහි එළවා කටයුතු කිරීම අවශ්‍යය. දැඩි ලෝභය , ව්‍යාපාදය , ථීනමිද්ධය, උද්ධච්ච , කුකුච්චය හා විචිකිච්ඡාව දුරු කිරීමෙන් කුසල් සිත් වැඩීමට උත්සාහවන්ත විය යුතුය.

මේ සඳහා සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයෙහි මූලික අවධානය යොමු කොට ඇත්තේ ඉන්ද්‍රිය පංචකයේ විවරණයටයි. ඉන්ද්‍රිය පංචකය ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව වශයෙන් දැක්වෙයි. අන් සියලුම භාවනා ක්‍රම වලින් බෞද්ධ භාවනාව වෙනස් වන්නේ භාවනාමය වශයෙන් පහළ වන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකය , බුද්ධ දේශනාවට පමණක් සීමා වී ඇති බැවිනි.

සද්ධින්ද්‍රිය යනු තථාගතයන්ගේ සම්බෝධිය පිළිබඳ ශ්‍රාවක සිතෙහි පහළ වන අමූලිකා දි ලක්ෂණයන් ගෙන් යුත් බාහිර වශයෙන් පෙනෙන භක්ති මාත්‍රයන්ගෙන් හාත්පසින්ම වෙනස් වූ මූලජාතවූද ආකාරවතී වුද, ලක්‍ෂණයන් ගෙන් යුක්ත වූ ශ්‍රද්ධාව විය යුතුය.සත්‍යාවබෝධය සඳහා තිබිය යුතු බලවත් කැමැත්ත ද ශ්‍රද්ධාව වශයෙන් සලකනු ලැබේ. (තථාගතස්ස බෝධිං)

බුදුරදුන්ගේ සම්බෝධිය පරම සත්‍ය වශයෙන් සලකන ශ්‍රාවකයා නව අරහාදී බුදුගුණ පිළිගනියි. මෙකී පිළිගැනීම ද සතින්ද්‍රියේ විශිෂ්ට ලක්ෂණය වෙයි (විභංග සූත්‍රය ස.නි.)

වීර්යය ඉන්ද්‍රිය යනු අකුසල ධර්මයන්ගේ ප්‍රහාණාය පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශ්‍රාවක සිතෙහි උපදනා ව්‍යායාමයයි. නූපන් අකුසල ධර්මයන්ගේ උපත වැළකීමත්,උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සැලසීමත් , නූපන් කුසල ධර්ම ඉපදවීමත් , උපන් කුසල ධර්ම අධිමාත්‍ර වශයෙන් වැඩීමත්, වීර්යය ඉන්ද්‍රියේ ක්‍රියාකාරි ලක්‍ෂණයයි.

සතින්ද්‍රිය යනු සිහිය පිළිබඳ නිපුණත්වයයි. ලෝභ, ද්වේෂ, ධර්ම දමනය කොට කාය වේදනා, චිත්ත ධම්ම යන විෂයයන්හි නිරන්තර අවදිකම හා සිහිය ප්‍රගුණ කිරිම සතින්ද්‍රියේ ක්‍රියාකාරි ලක්‍ෂණයයි.

සමාධින්ද්‍රිය යනු මූලික වශයෙන් සිතේ එකඟතාවයි. සියලු අකුසල් ධර්මයන්ගෙන් තොරව ධ්‍යාන වැඩීම, මේ ඉන්ද්‍රියයේ ක්‍රියාකාරී ලක්‍ෂණයයි.

පඤ්ඤන්ද්‍රිය යනු, නාම රූප ධර්මයන්ගේ ඉපදීම හා නැසීම පිළිබඳ ශ්‍රාවක සිතෙහි පහළ වන ගැඹුරු අවබෝධයයි. දුකත් එහි ප්‍රභවයත්, නිරෝධයත්, දුක් නිරු_ කරගන්නා මහත් අවබෝධ කර ගැනීම, ප්‍රඥාවේ විශිෂ්ට ක්‍රියාකාරී ලක්ෂණයයි. (දට්ඨධං සූත්‍රය සං.නි.)

මෙම න්‍යාය ධර්ම වලින් තොරව කරනු ලබන භාවනා ආර්ය මාර්ගයට කිසි සම්බන්ධයක් නැත. සමාධි අංගය , ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවන අංගයයි. සම්මා දිට්ඨියේ පටන් සම්මා සතිය දක්වා අංග හත ගැන කිසිම අවබෝධයක් නොමැතිව කරනු ලබන භාවනාව බෞද්ධ භාවනාවක් නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් එකම භාවනාව සතර සතිපට්ඨාන භාවනාවයි. සිත එකඟ කර ගැනීම පිණිස අභිධර්මයෙහි සතළිස් කර්මස්ථානයක් දක්වා තිබේ. දස කසිණය , දස අසුභය, දස අනුස්සතිය , සතර අප්පමඤ්ඤාය , සතර ආරුප්පය, එක් සංඥාවක්ය, එක් ව්‍යවස්ථානයක්ය යනුවෙන් මෙකී කමටහන් හැඳින්වේ. මාර්ගාංග වශයෙන්ද , ධ්‍යානාංග වශයෙන්ද සමථ වශයෙන්ද උපයුක්ත වන ඒකාග්‍රතාව , භාවනාමය ධර්මයක් බව සැබෑය. නමුත් මේවා ආර්ය මාර්ගයට සම්බන්ධයක් නැති ලෞකික ධ්‍යාන වැඩීමට යොදා ගත් බමුණු භාවනාය. මේවායින් විමුක්තිය පසක් කර ගත නොහැකිය.

ආර්ය මාර්ගයට අයත් සමාධියට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංගත්‍රය ඇතුළත් වෙයි. එය මෙසේ විස්තර කරමු.

සම්මා වා යාම ය

සම්මා වායාම නිවැරැදි වීර්යයි. වීර්යය ප්‍රායෝගික වශයෙන් දියුණු කළ යුතු මාර්ගාංගයකි. වීර්යයෙහි විරුද්ධ පාක්ෂිකයා අලසකමයි. පංච නීවරණවලින් එකක් වශයෙන්, නම් කර තිබෙන, ථීනමිද්ධ “ යනුවෙන් එය හඳුන්වා තිබේ. සිතට කය වස¼ග කර ගැනීම බලවත් අභ්‍යාසයකින් කර ගත යුත්තකි.

සම්මා සතිය

සංස්කරණය

සම්මා සති යනු නිවැරැදි සිහියයි. වික්ෂිප්ත බවෙන් තොර වූ අවදිකමයි. එළඹ සිටි සිහියයි. පුහුණු නොකළ සිතක් නිරතුරුවම නොසන්සුන්ය. වික්ෂිප්තය . ඒ නිසා තමා තුළ හටගන්නා සිතිවිලි හඳුනා ගැනීමට පුද්ගලයාට අවදිකමක් නැත. හොඳ - නරක, පින්- පව්, කුසල් - අකුසල්, සාවද්‍ය - නිරවද්‍ය යන මෙම සිතිවිලි හදුනා ගැනීමට නිතර සිහිය පිහිටුවා ගත යුතුය. එසේ සේවනය කළ යුතු කුසල ධර්ම සේවනය කළ යුතුය. සේවනය නො කළ යුතු අකුසල ධර්ම සිතින් බැහැර කිරීමට ශ්‍රාවකයා පෙළෙඹෙනු ඇත. නිරන්තරයෙන් එහෙ මෙහෙ දුවන හිත එකඟ කර ගැනීමට පුහුණුව ඇති වන්නේ එවිටය. කාම තණ්හා, භව තණ්හා , විභව තණ්හා යන ත්‍රිවිධ කම්ම වට්ටයෙන් මිදීමට ස්කන්ධයන්ගෙන් නිසරු බව වැටහෙන්නේ ජීවිතයේ එදිනෙදා කටයුතු වල දී ප්‍රායෝගික වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව සිතීමට පුරුදු වීමේදීය. ඒ අනුව පුද්ගලයාට නාම - රූප ධර්මතාවයන්ගේ යථා ස්වභාවය වන අනිත්‍ය දුඞඛ - අනාත්ම නමැති ත්‍රිවිධ ලක්‍ෂණ වැටහෙයි.

සිහි නුවණින් කටයුතු කිරීමේදී සිතිවිලි වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු (යථා භූත) පිළිවෙත, මජ්ක්‍ධිම නිකායේ මහා සුඤ්ඤතා සූත්‍රයේ මෙසේ දක්වා තිබේ.

“ නාහං ආනන්ද එක රූපම්පි සමනුපස්සාමි යත්ථාහි රත්තස්ස රූපස්ස විපරි නාමඤ්ඤතා භාවනා උප්පජ්ජෙය්‍යුං සෝක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායා සා “

ආනන්ද කිසියම් රූපයක ඇලී ගැලී කාම රාගය ඇතිකර ගන්නේ නම්, ඒ උපාඥානය වී තිබූ රූපය වෙනස් වන විට බිඳෙන විට (නැසෙන විට) ඒ තැනැත්තාට ශෝකයක් සන්තාපයක් නූපදින්නේ යැයි කිව හැකි කිසිම රූපයක් මේ ලෝකයේ යෝනිසෝමනසිකාරයෙන් (සිහිනුවණින්) නො දකිමි.

රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශා දී ධර්මතාවල තෘෂ්ණාවෙන් ඇලෙන සිතිවිලි ඇතිවන්නේ ඉන්ද්‍රිය ගෝචර අවස්ථා වලදී සිදුවන අතීත සංඥා සිහිපත් වීමෙනි. මනසේ ස්වභාවය ඉන්ද්‍රිය මගින් හටගන්නා සෑම අරමුණක දීම අතීතර නාම -රූප මෙනෙහි වීමයි. එසේ හෙයින්, මෙම මෙනෙහි වීම වැළැක්වීමට සිත ඒකාග්‍රතාවයකට ගැනීමට සිහිය තදින් පිහිටුවීමට පුහුණුවක් ඇති කර ගත යුතුය.

“අයං ඛො ආනන්ද විහාරො තථාගථෙන අභිසම්බුද්ධො යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරො අජ්ජක්‍ධත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විරහතුං “

“ ආනන්දය, තථාගතයන් විසින් මෙලෙස වාසය කිරීමට කුමන ධර්මතාවක් අවබෝධ කර ගැනීම හේතු වී ද? රූපා දී සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ආධ්‍යාත්මික ශාන්තිය - ඵල සමාප්තිය ලබා ගැනීම ඒ සඳහා හේතු විය.

සතිය තදින් පිහිටුවාගෙන භාවනා කිරීම, ප්‍රධාන භාවනා ක්‍රමයයි. එසේ සතිය තදින් පිහිටුවා ගෙන වාසය කිරීම සතර ඉරියව් වලදීම අවශ්‍යය. එසේ ‘ සතර වෝහාර ධම්ම ‘ නම් වූ සිත වැඩ කරන දිට්ඨ, ස්‍රත මුන, විඤ්ඤාත යන අවස්ථාවලදී (පෙනෙනවා , ඇසෙනවා , දැනෙනවා, සිතනවා) අතීත මතක සටහන් (සඤ්ඤා) පදනම්ව ඇතිවන නැවත උපදින සිතිවිලි වලට වහල් නොවීමට සතිය නිරන්තරයෙන්ම උපකාර කරගත යුතු වෙයි.

සිහිය තදින් පිහිටුවා ගැනීම යන අදහස ගෙන දෙන එකම බෞද්ධ භාවනාව, සතිපට්ඨාන භාවනාවයි. එය සතර සතිපට්ඨාන භාවනාව වෙයි.

1. කායානුපස්සනා 2. වේදානුපස්සනා 3. චිත්තානුපස්සනා 4. ධම්මානුපස්සනා යනුවෙන් සඳහන් වන්නේ ඒ සිහිය පිහිටුවිය යුතු තැන් සතරයි .


:-

තම ශරීරය අනුව මෙන්ම අනෙක් සත්වයා ගැනත්, ලෝකය ගැනත් අනිත්‍ය , දුඞඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අනුව නිරන්තර හට ගැනීම, වෙනස්වීම , හා නැසීම පිළිබඳ හේතු ප්‍රත්‍ය ඒකාන්ත වශයෙන් දුක් හටගැනීමේ ස්වභාවයක් බව අවබෝධ කොටගෙන ඒ ගැන තදින් සිහිය පිහිටුවා ගැනීම කය විෂයෙහි සත්ව පුද්ගල සංඥාව දුරු කර ගැනීමේ ප්‍රධාන අදහසයි. කායානුපස්සනා සතිපට්ඨානය 1.ආනාපාන 2. ඉරියාපථ 3. චතුසම්පජඤ්ඤ 4. පටික්කූල 5. ධාතු මනසිකාර වශයෙන් කොටස් පහක් හා මෘත ශරීරයෙහි අවස්ථා නවයක් වශයෙන්, කොටස් 14 කින් යුක්තය.


ආනාපාන සතිය

සංස්කරණය

ආනාපාන සති භාවනාව යනුවෙන් අදහස් වන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයෙහි සිහිය පිහිටුවීමයි. ආනාපාන සති භාවනාව භාවිතා කරන, බහුල වශයෙන් කරන තැනැත්තාට මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිතා කරන බොහෝ වශයෙන් කරන ආනාපාන සති භාවනාවෙන් සතර සතිපටිඨානයම සම්පූර්ණ කෙරෙයි.

බොහෝ වශයෙන් භාවිතා කරන සතර සතිපට්ඨානයෙන් සත්තබොජ්ක්‍ධංග සම්පූර්ණවෙයි. බොහෝ වශයෙන් භාවිතා කරන සත්තබොජ්ජක්‍ධංගයන් ගෙන් විද්‍යාවත්, විමුක්තියත් සපුරාලයි. ඉන්ද්‍රිය භාවනාවේ දීද මෙය ම සිදු වන්නේය. සතර සතිපට්ඨාන සත්තබොජ්ඣංග ආදී සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම වෙන් වෙන්ව වඩන දහම් නොවේ. විපස්සනා භාවනාවේ යෙදෙන විට, ඒ සියල්ලම සම්පූර්ණවෙයි.

ඉරියාපථ , චතුසම්පජඤ්ඤ , සාත්‍ථකසම්පජඤ්ඤ , පටික්කූ®ල මනසිකාර , ධාතු මනසිකාරය, නව සීවථිකා , වේදනානුපස්සනා , චිත්තානු පස්සනා, ධම්මානු පස්සනා ආදි සතිපට්ඨාන ගැන වැඩි වශයෙන් කරුණු දැන ගැනීම පිණිස මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය හා ආනාපාන සති සූත්‍රයත් දීඝ නිකායේ සතිපට්ඨාන සූත්‍රයත් පරිශීලනය කරන්නේ නම් මැනවි.

සම්මා සමාධිය

සංස්කරණය

නිර්වාණ ප්‍රතිපදා මාර්ගයේ අටවන අංගය, සම්මා (නිවැරැදි) සමාධියයි. සමාධිය යනු සිත ඒකාග්‍රතාවයක පිහිටුවා ගැනීමයි. සිත එකඟ කර ගැනීමයි. ඉහත සඳහන් සූත්‍ර පාඨය අනුව සමාධිය ඇතිකර ගැනීම පිණිස සම්මා දිට්ඨියේ පටන් සම්මා සතිය දක්වා වූ අංග හත එකිනෙකට සාපේක්‍ෂ ව සම්මා දිට්ඨියට පිරිවර වෙයි. සම්මා දිටිඨියෙන් සම්මා සංකප්පයද එම අංග දෙක පූර්වාංගම වීමෙන් නිවැරැදි වචනය නිවැරැදි කර්මාන්තය , නිවැරැදි ජීවිතය ද යන අංග සම්පූර්ණ වී ආර්ය ශ්‍රාවකයා ශීලයෙහි පිහිටනු ඇත.

දැන් ඔහු නිවැරැදි ව්‍යායාමයත්, නිවැරැදි සිහියත් පිහිටුවාගෙන යෝනිසොමනසිකාරයෙන් යුතුව සතර ආකාරයෙන් සිදුවන ස්පර්ශ වලදී ඒවා විපස්සනා කිරීමට සිහිය පිහිටුවා ගනී. මෙම ආර්ය මාර්ගාංග හත පරිවාරකොට ගෙන උපදවා ගන්නා සමාධිය, ආර්ය සමාධියයි. මේ සියල්ලටම පූර්වාංගම වන්නේ, සම්මා දිට්ඨියයි. (මහා චත්තාරීසක සූත්‍රය ම.නි.)

සම්මා දිට්ඨියෙන් ලොව දෙස බලන තැනැත්තා යම් වස්තුවක් (රූප ) යථා භූත පරිදි දැක, ඒ කෙරෙහි නිවැරදි තීරණයක් ගෙන, එහි අනිත්‍ය ස්වභාවය දැක, එහි ඇලීම ප්‍රතික්‍ෂ්ප කරයි, මුළා නෙවෙයි, සිතින් උපාදානය නොකරයි. මෙහි දී සිදුවන්නේ එම වස්තුව පිළිබඳ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණකර දැමීමය. එය එම වස්තුව ප්‍රතික්‍ෂ්ප කිරීමක් නොව, තමාගේ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණ කර දැමීමය. එය එම වස්තුව ප්‍රතික්ෂේප කිරීමක් නොව, තමාගේ සිත තුළ උපන් සිතිවිල්ල සිතින් අල්ලා නොගෙන ප්‍රහීණ කිරීම පමණකි. මෙම මානසික ක්‍රියාකාරිත්වය , ත්‍රිවිධ ප්‍රඥාව යනුවෙන් හැඳින්වෙයි.

1. ඤාත පරිඤ්ඤා 2. තීරණ පරිඤ්ඤා, 3. පහාන පරිඤ්ඤා “ ඤාත” යනු දැන ගැනීමය. ‘පරිඤ්ඤා’ යනු ප්‍රවීණ ඤාණයෙන් දැකීමය. පහාන පරිඤ්ඤා යනු සිතින් අල්ලා නොගෙන අතහැරීමය. (මනසිකරොථ) භාවනානුයෝගී යෝගාවචරයකුගේ මානසික ක්‍රියාකාරිත්වය , එම ත්‍රිවිධ පඤ්ඤාව අනුව සිදුවෙයි.

ඤාත පරිඤ්ඤාවෙන් දැන ගන්නේ රූප, ශබ්ද, ගන්ධ ආදි භෞතික රූප පඨවි, ආපෝ, තේජෝ. වායෝ ආදී මහා භූත ධර්මනිසා සංස්කරණය වූ ඒවා බවය.


තීරණ පරිඤ්ඤාවෙන් කැරෙන්නේ ලෝකයේ කිසිවක් එක ලෙසින් (නිත්‍ය වශයෙන්) නොපවතින හෙයින්, ඒවා අනිත්‍ය බැවින්, එයින් සදාකාලික සැපතක් හා සතුටක් නොලැබිය හැකි බවට ගනු ලබන තීරණයයි. එවැනි අනිත්‍ය වූ වස්තුවක් තෘෂ්ණාවෙන් උපාදානය කොට මගේ කොට ගැනීම කළහොත් එම වස්තුව විපරිණාමයට හා පරිහානියට පත්වීමෙන් ඇතිවන දුක පිළිබඳ අවබෝධය නිසා සිත තුළ ඇතිවන තෘෂ්ණා දෘෂ්ටි මාන යන ප්‍රපංචයන්ගෙන් මිදීම


(ප්‍රහාණය කිරීම ) ‘පහාන පරිඤ්ඤා ‘ යනුයි.

මෙසේ සිත වැඩීමේ දී අනුක්‍රමයෙන් කාමාදී අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විතක්ක විචාර සහිත ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නට හැකි වන්නේය. මේ අනුව ආර්ය ශ්‍රාවකයා සම්පූර්ණයෙන් අකුසලයන්ගෙන් වෙන් වී ඇති බව දැක්වෙයි.

ආර්ය ශ්‍රාවකයා මේ තත්ත්වයට පත් වන විට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාසව පුඤ්ඤාභාගීය උපධිවෙපක්ක නමින් හැඳින්වෙන ප්‍රථම අංගය පුරා අවසන් කොට, අනාසව ලෝකෝත්තර මාර්ගාංගය පිරීම ආරම්භ කරන්නේය. එහිදී ආර්ය ශ්‍රාවකයාගේ හිත ප්‍රඥාව දෙසට යොමු වන අතර, ඔහු තුළ පවත්නා දස සංයෝජන හා පංච නීවරණ ද අනුක්‍රමයෙන් ක්‍ෂය වී යන්නේය.

ඉන්පසු එබඳු සිතක් උත්තරීතර (අශෛක්‍ෂ) ඤාණ දර්ශනය දෙසට යොමු වන්නේය. (සම්මා ඤාණ 9 වැනි අංගය ) මෙසේ ප්‍රඥාව තියුණු ලෙස වැඩීමේ දී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා විසින් ඉද්ධිවිධ ඤාණය දිබ්බසොත ඤාණය චෙතොපරිය ඤාණය , පුබ්බෙනිවාසානුස්සති ඤාණය , චුතූපපාත ඤාණය ආදී වශයෙන් විශිෂ්ට ඤාණ දර්ශන සම්පූර්ණ කොටගෙන අවසන් වශයෙන් ආශ්‍රවක්‍ෂය කර ඤාණය කරා සිත යොමු කොට කෙළෙසුන් සපුරා මිදුණු දුකෙහි සංසිඳීම වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. එය සම්මා විමුක්තිය ලෙස හැඳින්වෙයි. (සම්මා විමුක්ති 10 වැනි අංගය )

සමණා මණ්ඩිකා සූත්‍රය ම.නි.)

ඉහත දැක්වූ කරුණු ගැන විමසා බැලීමේදී සමාධිය බෞද්ධ මාර්ගයේ නිෂ්ඨාව නොවන බව පැහැදිලිය .

සම්මා සමාධියෙන් අවසන් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රාවකයා නිවනට යොමු කරන මාර්ගය පමණක් වන අතර, පූර්ණා විමුක්තිය ලැබීම පිණිස (මහා චත්තාරීසක සූත්‍ර දේශනාවේ දැක්වෙන පරිදි) අශෛක්‍ෂ වශයෙන් දේශනා කර තිබෙන සම්මා ඤාණ නම් වූ නව වැනි අංගයත්, සම්මා විමුක්ති නම් වූ දහ වැනි අංගයත් වශයෙන් දසාංග මාර්ගය සම්පූර්ණ කළ යුතුවෙයි.

ශෛක්‍ෂ වශයෙන් පුහුණු වන්නන්ගේ (ආධුනිකයන්ගේ) ප්‍රයෝජනය පිණිස සම්මා දිට්ඨි - සම්මා සංකප්ප (ප්‍රඥාව) මුල් කරගෙන අංග අටකින් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගයන්, අශෛක්‍ෂ වශයෙන් කෙලෙස් ප්‍රහීණ කරන උතුමන්ට දසාංග මාර්ගත් නිර්දේශ කර තිබේ. (දශඅංගයෙහි සමන්නාගතො අරහා) සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ යනුවෙන් දැක්වෙන නිරන්තර සීලයේ පිහිටීම සිදුවන්නේ, ආර්ය භාවයට පත්වීමෙන් පසුවය.

ආශ්‍රිත ලිපි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සමාධි_(බුදු_දහම)&oldid=523538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි