පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන්

සංස්කරණය

සකස් කළ ‘සිතට සුව දෙන භාවනා’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

සංස්කරණය

සතර සතිපට්ඨාන සූත්‍රයෙහි ධම්මානුපස්සනාවේ ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං කොටසෙහි සප්ත බොජ්ඣංග ගැන දැක්වේ. (දීග නිකාය - මහා සතිපට්ටාන සූත්‍රය)

සංස්කරණය
  • සති සම්බොජ්ඣංග - මානව සිහියෙන් යුතුව වාසය කිරීම. එනම් සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කිරීම.
  • ධම්මවිචය සම්බොජ්ඣංග - ධර්මය පිලිබදව නුවණින් විමසා බැලීම.එනම් සතර සතිපට්ඨානය පිලිබදව නුවණින් විමසා බැලීමයි.
  • වීරිය සම්බොජ්ඣංග - කුසල් ධර්මයන් වඩවා ගැනීමට ගන්න වීරිය වීරිය සම්බොජ්ඣංගයයි , එය නොනවතින මග නතර කරන්නේ නැති වීරියක් තිබිය යුතුයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු වල සෑම විටම මෙම වීරිය පිලිබදව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.(සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධි පාද තුල, පංච ඉන්ද්‍රිය තුල, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල,පංච බල තුල)
  • ප්‍රීති සම්බොජ්ඣංග - නිරාමිස ප්‍රීතිය, සතර සතිපට්ඨානය තුල සිටීමෙන් කුසල් දහම් වඩවා ගැනීම නිසා ඇතිවන ප්‍රීතිය.
  • පස්සද්ධි සම්බොජ්ඣංග - ධර්මයේ හැසිරීමෙන්, සතර සතිපට්ඨානය තුල වාසය කිරීමෙන් සිතේ සහ කයෙහි ඇතිවන සැහැල්ලු භාවය.
  • සමාධි සම්බොජ්ඣංග - සිතේ ඇතිවන එකග භාවය.සතර සතිපට්ඨානය තුල වාසය කරන විට සිතේ ඇතිවන සමාධිය.
  • උපෙක්ඛා සම්බොජ්ඣංග - සිතේ ඇතිවන මැදහත් භාවය, සතර සතිපට්ඨානය තුල හැසිරෙන විට සිතේ ඇතිවන උපේක්ෂාව.

සප්ත බොජ්ඣංග

සංස්කරණය

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග කියල කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ අංග. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපකාර වන අංග හතක් තියෙනවා. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ ඔක්කොම ඔබ තුළ වැඩෙන්නේ සතිපට්ඨානය වැඞීම තුළ. සතිපට්ඨානය වැඩුවෙ නැත්නම් මේ බොජ්ඣංග ධර්ම ඔබතුළ වැඩෙන්නෙ නෑ.

අධිෂ්ඨාන කරල ලබන්න බැහැ….

එහෙම නම් පින්වතුනි, බොජ්ඣංග ධර්ම අධිෂ්ඨාන කරල, “මට සති සම්බොජ්ඣංගය පහළ වේවා” කියල වඩන්නට පුළුවන් එකක් නෙවෙයි. “මට ධම්මවිචය සම්බොජ්ඣංගය පහළ වේවා” කියල වඩන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ විදිහට ප‍්‍රාර්ථනා කරල යමක් ලබන්නට පුළුවන් නම් අපට බුදුරජාණන් වහන්සේලා ඕනෙ නෑනෙ. අපට එහෙනම් සද්ධර්මය ශ‍්‍රවණය කරන්නට ඕනෙ නෑනෙ. එහෙනම් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙලාවෙ ධර්මය සංගායනා කරල, ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මය ආරක්ෂා කරන්නට කැපවෙන්න ඕනෙ නෑනෙ. රහතන් වහන්සේලා බාරගත්තා ධර්මයේ කොටස්. දීඝ නිකාය ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. මජ්ඣිම නිකාය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. අංගුත්තර නිකාය අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස භාරගත්තා. එහෙම භාර ගත්තේ ධර්මය හදාරන්නට අවශ්‍ය නිසයි.ධර්මයෙන් බැහැර වෙච්ච ප‍්‍රායෝගික දෙයක් නෑ. අත්දැකීමක් නෑ. යමක් ඔබ අවබෝධ කරනවද ඒක තමයි ධර්මයේ තියෙන්නෙ. යමක් ධර්මයේ තියෙනවද ඒක තමයි අවබෝධ කරන්නෙ. ඒ නිසා අවබෝධයයි ධර්මයයි එකයි. ඒක දෙකක් නෙවෙයි. ඒ නිසා යමෙක් සතර සතිපට්ඨාන ධර්මයන් මනා කොට ප‍්‍රගුණ කරගෙන යද්දී එයාට අවබෝධ වෙන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන්මයි.

සති සම්බොජ්ඣංගය…

සති කියල කිව්වේ සතර සතිපට්ඨානයට. සතර සතිට්ඨානය චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට සකස් වෙන කොට ඒක සතිසම්බොජ්ඣංගය.

ධම්මවිචය සම්බොජ්ඣංගය…

ඊළඟට ධම්මවිචය සම්බොජ්ඣංගය. ධම්මවිචය කියල කිව්වෙ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු සම්බන්ධයෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, හේතු ඵල වශයෙන්, හේතු නැතිවීමෙන් ඵල නැතිවී යන ධර්මතාව මේ ඔක්කොම නුවණින් විමස විමස බලනකොට, ඔබ තුළ ඇතිවෙනවා ධම්මවිචය. එතකොට මේ ධම්මවිචය ඇතිවෙන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙනයි. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාර වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඔබ තුළ වැඩෙනව.

බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත‍්‍රයේදී විස්තර කරන්නේ, (සන්තං වා අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගං අත්ථි මේ අජ්ඣත්තං ධම්මවිචය සම්බොජ්ඣංගෝති පජානාති) තමන් තුළ මේ චතුරාර්ය සත්‍යය අවබෝධයට අංගයක් වශයෙන් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙනවා කියල දන්නව නම්, තමන් තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය තියෙනවා කියල දැනගන්නවා. එතකොට බලන්න සිහිය කියන එක කොච්චර සියුම් විදිහට දියුණු කරන්නට පුළුවන් එකක්ද?

තමන් තුළ චතුරාර්ය සත්‍යය ධර්මයේ අවබෝධයක් විදිහට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩිල නැත්නම්, ඒකත් දන්නව. එහෙනම් එයා කරන්නේ තවදුරටත් ධම්මවිචය සම්බොජ්ඣංගය වැඞීම පිණිස නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙන.

විරිය සම්බොජ්ඣංගය…

ඊළඟට විරිය සම්බොජ්ඣංගය. විරිය සම්බොජ්ඣංගය කියල කියන්නේ වීරිය. වීරිය තමයි උපන්නා වූ අකුසල් ප‍්‍රහාණය කරන්න තියෙන වීරිය. නූපන් අකුසල් නූපදවීමට තියෙන වීරිය. උපන් අකුසල් තමයි ආසාව, තරහ, ඉරිසියාව, පළිගැනීම, එකටෙක කිරීම, බද්ධ වෛරය, කළකෝලාහල කිරීම, හිතුවක්කාරකම. මේ සියල්ලම අකුසල්. මේ උපන්නා වූ අකුසල් ප‍්‍රහාණය කරන්න වීරිය තියෙනව. ඒ වගේම මේ අකුසල් අලූතින් හටගන්න දෙන්නෙත් නෑ. ඉපදිච්ච අකුසල් ප‍්‍රහාණය කරන්නට කල්පනා කරනව.

ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම. දැන් සීලය නූපන් කුසලයක් නම් ඒක හොඳට දියුණු කරගන්න ඕනෙ. ඊළඟට සමාධිය ඇතිවෙලා නෑ. ඒ කියන්නේ නූපන් කුසලයක්. සමාධිය දියුණු කරගන්නට ඕනෙ. ප‍්‍රඥාව ඇතිවෙලා නෑ. අන්න කුසල් දියුණු වෙලා නෑ. එහෙනම් ප‍්‍රඥාව ඇති කරගන්න එයා කල්පනා කරල දියුණු කරගන්නව. අලෝභය, අද්වේෂය, අමෝහය ඇතිවෙලා නැත්නම්, ඒවා ඇතිකරගන්න මහන්සි ගන්නව. නුවණින් කල්පනා කරනවා. එතකොට නූපන් කුසල් උපදවා ගන්නට වීරිය කරනවා.

ඊළඟට උපන් කුසල් වැඩිදියුණු කරන්නට වීරිය කරනවා. සීලසම්පන්න නම් එයා සීලය කඩාගන්න නෙවෙයි මහන්සි වෙන්නෙ. සීලය රැකගෙන අවබෝධය පිණිස සකස් කරගන්න. සමාධිය රැකගෙන අවබෝධයට සකස් කරන්න. ප‍්‍රඥාවත් එහෙමයි. මේ විදිහට උපන් කුසල් දියුණු කරගන්න මහන්සි ගන්නව භාවනා වශයෙන්. ඉලක්කය තමයි චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම. අන්න එතකොට එයාට ආර්ය සත්‍යය අවබෝධයට උපකාරී අංගයක් හැටියට වීරිය දියුණු වෙනව.

පීති සම්බොජ්ඣංගය…

මෙහෙම වීරිය දියුණු වෙද්දි ඒ කිව්වෙ අකුසල් ප‍්‍රහාණය වෙද්දි, කුසල් දියුණු වෙද්දි, මෙයාට චිත්ත සමාධියක් ඇතිවෙනවා, හිතට මහා බලවත් ප‍්‍රීතියක් හටගන්නවා. අනේ මා තුළ අකුසල් ප‍්‍රහාණය වෙවී යනව නේද කියල සතුටක් ඇතිවෙනවා. මා තුළ කුසල ධර්මයන් දියුණු වෙවී යනව නේද කියල සතුටක් ඇතිවෙනවා. ඒක ඇතිවෙන්නෙ තමන්ගේ ගුණධර්ම මතමයි.

සාමාන්‍යයෙන් ධර්මයේ හැසිරෙන කෙනෙක් පුරුදු කළ යුත්තේ නිහතමානීකමයි. විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගය දියුණු වෙන්න කරුණු දෙකක් ප‍්‍රධාන වෙනවා. පළවෙනි එක තමයි නිහතමානීකම. දෙවෙනි එක තමයි කැපවීම. ධර්මයේ හැසිරීමේදී කවදාවත් අත්තුක්කංසන පරවම්භනයේ යෙදෙන්න එපා. එතකොට තමන්මයි මේ ධර්ම මාර්ගයේ බිඳ වැටෙන්නෙ. අත්තුක්කංසනය කියන්නේ තමා උසස් කොට සැලකීමත්, පරවම්භනය කියන්නේ අනුන් ගරහා කොට සැලකීමත්. ඒක නෙවෙයි අප කළ යුත්තේ, තමන් නිහතමානීව මෙවැනි ධර්මයක් පුරුදු කරන්න පුළුවන් කියලා ප‍්‍රකාශ කරලා, ඒ ධර්මය තුළට නිහතමානීව පිවිසීම.

මේ තුළ එයා ලොකු ප‍්‍රීතියක් ඇති කරගන්නවා. මේ ප‍්‍රීතිය ඇතිවෙන්නෙ කුසල් දියුණුවීමත්, අකුසල් දුරුවීමත් නිසා. එතකොට එයා ප‍්‍රීතිය තුළ අවබෝධය කරා යනවා. එතකොට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් හැටියට ප‍්‍රීතිය සකස් වෙනවා.

පස්සද්ධි සම්බොජ්ඣංගය…

මේ ප‍්‍රීතිය වැඩෙන කොට කායිකව සැහැල්ලුවක් ඇතිවෙනවා. මානසිකව ලොකු සැහැල්ලුවක් සංසිඳීමක් ඇතිවෙනවා. එතකොට එයාට කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි තියෙනවා. පස්සද්ධි කියන්නෙ සැහැල්ලු බව. එතකොට කායිකව සැහැල්ලුවක් තියෙනවා, මානසිකවත් සැහැල්ලුවක් තියෙනවා. හේතුව තමයි අකුසල් ප‍්‍රහාණය වෙලා, කුසල් දියුණු වෙලා ඇතිවෙච්ච ප‍්‍රීතියකින් යුතුවීම. එතකොට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයේ අංගයක් විදිහට මේ සැහැල්ලූ බව මෙයා දියුණු කරනවා. තමා තුළ සැහැල්ලු බව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයේ අංගයක් හැටියට තියෙනවා නම්, ඒ බව දැනගන්නවා. නැත්නම් ඒ බවත් දැනගන්නවා.

සමාධි සම්බොජ්ඣංගය…

ඊළඟට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් හැටියට ඒක දියුණු කරනවා. සමාධියක් ඇති කරගැනීම බොජ්ඣංග ධර්මයක්. ඔබ දන්නවා සමාධිය නැති රහතන් වහන්සේලා බිහිවෙන්න බැහැ. සමාධිය නැති අනාගාමී උතුමන් බිහි වෙන්න බැහැ. සමාධිය නැති සකදාගාමී අය හෝ සෝතාපන්න අය හෝ බිහිවෙන්න බැහැ. මොකද හේතුව, සමාධිය ටික ටික නමුත් සෝතාපන්න අයටත් තියෙනවා, සකදාගාමී අයටත් තියෙනවා. අනාගාමී වෙනකොට සමාධිය හතරවෙනි ධ්‍යානය දක්වා දියුණු වෙන්න ඕනෙ සාමාන්‍යයෙන් පොදු වශයෙන්. ඊළඟට රහතන් වහන්සේ කියන්නේ සමාධිය සම්පූර්ණ වෙච්ච කෙනෙක්.

එතකොට ඒ සමාධිය භාවනාවට සම්බන්ධ අංගයක්. චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාරී වෙන අංගයක්. සමාධිය කියන්නේ චිත්ත ඒකාග‍්‍රතාවය. 1 වෙනි ධ්‍යානය, 2 වෙනි ධ්‍යානය, 3 වෙනි ධ්‍යානය, 4 වෙනි ධ්‍යානය. ඒ ඔක්කොම චතුරාර්ය සත්‍යය අවබෝධයට උපකාරී වන අංගයි. චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට සමාධිය තියෙන කොට, ඒ කෙනා දන්නව මේ සමාධිය තියෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීමට උපකාරී අංගයක් හැටියටයි. ඒ වගේම එයා දන්නවා මේ සමාධිය එයා තුළ නැත්නම්, මා තුළ චතුරාර්ය සත්‍යය අවබෝධය අනුව සකස්වෙච්ච සමාධියක් නෑ කියල. අන්න ඒ කෙනා නැති සමාධිය දියුණු කරගන්න කල්පනා කරනවා. මහන්සි වෙනවා. ආර්ය සත්‍යය අවබෝධ වීම පිණිස කල්පනා කරනවා.

උපෙක්ඛා සම්බොජ්ඣංගය…

ඊළඟට මෙයා කල්පනා කරනවා මේ සමාධිය මනාකොට දියුණු කිරීමේදී, සමාධියත් එයා දකිනව නම් චතුරාර්ය සත්‍යය අවබෝධයේ මාර්ග අංගයක් හැටියට එයා සමාධියේ ඇලෙන්නේ නෑ. එයා සමාධිය අභිනන්දනය කරන්නෙ නෑ. සමාධිය සතුටින් පිළිගන්නවා වෙනුවට සමාධිය තුළ වෙනස් වන්නා වූ පංච උපාදානස්කන්ධයක් දකිනවා. එයා දකිනවා අනිත්‍ය වූ සමාධියක් එතන තියෙන්නේ කියල. අන්න එතකොට එයාගෙ හිත උපේක්ෂාවට පත්වෙනවා. එතකොට එයා ඒ උපේක්ෂාවත් ග‍්‍රහණය කරන්නෙ නෑ. උපේක්ෂාවට මුලා වෙන්නෙ නෑ. උපේක්ෂාවට රැවටෙන්නෙ නෑ. ඒ උපේක්ෂාව එයා දියුණු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් විදිහටයි.

චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද? දුක නැමති ආර්ය සත්‍යයක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුයි. මේ දුක සකස් වෙන්නෙ ඒ දුකට ඇලෙන නිසා. දුකට ඇලීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. එතකොට මේ දුකට ඇලෙන ගතිය නැතිකරල දාන්න ඕනෙ. ඒකට කියනවා දුක්ඛ සමුදය ප‍්‍රහාණය කරනවා කියලා. ඒක ආර්ය සත්‍යයක්. මේ දුකට ඇලෙන ගතිය නැතිවුනා නම්, එයා දුකින් නිදහස්. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දුකට ඇලෙන එක නිකං නැතිවෙන්නෙ නෑ. ඒකට දුක අවබෝධය වෙන්නට ඕනෙ. දුක අවබෝධ වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නට ඕනෙ. ඒකට කියනව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා.

මේ විදිහට චතුරාර්ය සත්‍යය අවබෝධයේ අංගයක් විදිහට උපේක්ෂාව වැඩෙන්නට ඕනෙ. එතකොට ඒක උපේක්ෂා සම්බොජ්ඣංගය.

දැන් පින්වතුනි, බොජ්ඣංග භාවනා කියල කියන්නේ චතුරාර්ය සත්‍යාවබෝධය ඉලක්ක වෙලා තියෙන කරුණු හත තමා තුළ දියුණු කර ගැනීම. ඒ හත තමයි සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ඣංග ධර්මයන් හත මනා කොට තමා තුළ වර්ධනය වීමෙන් තමයි, තමන් නිකෙලෙස් භාවයට පත්වෙන්නේ. ඒ සඳහා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන්නට ඕනෙමයි. සතර සතිපට්ඨානයේ සිහිය නොපිහිටා බොජ්ඣංග ධර්ම වැඩෙන්නේ නෑ.

එහෙනම් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නේ අවබෝධය ඉලක්ක කරපු වැඩපිළිවෙලක්. දැන් ඔබට මේ ගැන සෑහෙන අවබෝධයක් තියෙනවා.

(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ ‘සිතට සුව දෙන භාවනා’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී)

බොජඣඞග, බොජ්ජංග, බෝධි අංග යනු කුමක්ද ?

සංස්කරණය

මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන්:

සංස්කරණය

නිවන් අවබෝධ කර ගැනීමේදී අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගත යුතු සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් අතරින් සත්ත බොජ්ජංග ධර්මයන් ඉතාමත්ම වැදගත් දෙයකි. බොජ්ජංග – බෝධි අංග බුද්ධ අංග – යන පදවලින් විග්‍රහකර පෙන්වූ පදයන්හි ධර්ම අර්ථය නිවැරදිව තේරුම් ගැනීමත්, ප්‍රායෝගික වශයෙන්ම මෙහිදි කරගත යුතු කෙලෙස් ප්‍රහාණයට උපකාර වන කරණීය ධර්මයනුත් තේරුම් ගත් කෙනෙකුට පමණක්ම මගඵල අධිගමයට උපකාර වන සේ නිවන් මග සම්පූර්ණ කරගත හැකිවෙයි.මේ නිසා ත්‍රිපිටකයේ – පටිසම්භිදා මග්ගප්පකරණයේදී- බෝජජංග විග්‍රහය පැහැදිලිකර දුන් ආකාරය කෙරෙහි අවධානය යොමුකල යුතුය.

“බොජඣඞගාති කේනටේඨ්න බොජඣඞගා” (කිනම් ධර්ම අර්ථයකින් බොජ්ජංග යන පදය විග්‍රහ කෙරේද ?)

සංස්කරණය

බෝධාය සංවත්තන්තීති බොජඣඞගා

බුජ්ඣන්තීති බොජඣඞගා

අනුබුජ්ඣන්තීති බොජඣඞගා

පටිබුජ්ඣන්තීති බොජඣඞගා

සම්බුජ්ඣන්තීති බොජ්ඣඞගා

මේ පස් (5) ආකාරයෙන් බොජ්ජංගයන් වැඩීම යන්න මෙහිදී අර්ථ ගන්වා ඇත.

මෙසේ පටිසම්භිදාමග්ග ප්‍රකාරණයේදී කළ විග්‍රහය සිංහලයට ත්‍රිපිටකය පරිවර්තනය කළ අය මේ සඳහා භාවිතා කළ (විග්‍රහ කළ) සිංහල පදයන් ද තේරුම් ගැනීම කළ යුතුය.
සංස්කරණය
අවබෝධය පිණිස පවතිත්නුයි.
සංස්කරණය

අවබෝධ කෙරෙත්නුයි.

අනුබෝධ කෙරෙත්නුයි.

ප්‍රතිබෝධ කෙරෙත්නුයි.

මොනවට අවබෝධ කරණුයි.බොජ්ජංග නම්වේ.


මෙහිදී බොජ්ජංග (බෝධි අංග) යනු අවබෝධ කිරීම, අවබෝධ කරගැනීම, යන සිංහල භාෂාවේ එන පදය භාවිත කර විග්‍රහ කරදී ඇත. “බොජ්ඣඞග” බෝධි අංග යන පදයෙහි අවබෝධය, අවබෝධ කරගැනීම යනාදී අර්ථයක් කිසිසේත්ම ගැබ් වී නැත. බොජ්ජංග යනු බුද්ධ අංග බෝධි අංග පුර්ණ කරගැනීම යන අර්ථයයි. භව උදුරා දැමීම යන්න බෝධි අංග නම්වෙයි.

මේ ජීවිත පැවැත්ම යලි යලිත් නිර්මාණය කර මතු මතුත් “පුනබ්බවෝති” තත්ත්වයට පත් කරවන්නේම භව (සංභව, සංභූතං) සකස් කර ගැනීම හේතුකොට ගෙනයි. භව යනු රාග බව, ද්වේෂ බව, මෝහ බව යන දෛනිකව අලුතින් නිර්මාණය කරගන්නා කෙලෙස් සහගත (අනුසය) ධර්මයෝය. මෙසේ ජීවිත පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන, අලුතින් නිර්මාණය කර ගන්නා මේ කෙලෙස් ගති (භව) අලුතින් නොඋපදවා වර්තමාන මොහොත සහමුලින්ම ඒවායින් මිදී නිදහස් වීම කළ හැක්කේ – භව උදුරා දැමීමෙනි. මේ ආකාරයට භව උදුරා දැමීම යන අර්ථයෙන් බොජ්ඣඞග නම් විය.


භව උදුරා දැමීම පිණිස ක්‍රියාකිරීම. (සංවත්තන්ති)

භව උදුරා දැමීම ප්‍රායෝගිකව දිගටම කරගෙන යාම.

අලුතින් උපත ලබන (අනුසය) භව උදුරා දැමීම.

භව උදුරා දැමීම නිසා බැමි (සසර බැමි) කැපීම.

යලි මතුවට භව නොඉපදවීම. (බැමි සකස් නොකිරීම) “රාග අනුසයං න අනුසේති

පටිඝ අනුසයං න අනුසේති

අවිජ්ජා අනුසයං න අනුසේති” යන අර්ථයෙන් බොජ්ජංග විය. බුද්ධ අංග නම් විය.

සත්ත බොජ්ජංග ලෙස ධර්මයේ පෙන්වා දෙනු ලබන,

සංස්කරණය
සති සංබොජ්ජංග
සංස්කරණය

ධම්ම විචය සම්බොජ්ජංග

විරිය සම්බොජ්ජංග

පීති සම්බොජ්ජංග

පස්සදි සම්බොජ්ජංග

සමාධි සම්බොජ්ජංග

උපේක්‍ඛා සංබොජ්ජංග යනුවෙන් අංග හතකි.


මේ අංග හතම සම්පූර්ණ කර ගැනීමෙන් රාග බව, ද්වේෂ බව, මෝහ බව සහමුලින්ම උදුරා ඉවත් කර දැමීම කළ හැකිය. එය කෙලෙස් යලි නොඋදවන්නටමත් හේතු වෙයි.මෙසේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාර වන ප්‍රතිපදාවක් නිසාම බොජ්ජංග නමින් නම් කළ බව ඉතාම පැහැදිලිය. මේ බව පටිසම්භිදා මග්ගප්‍රකරණ විග්‍රහයේ තව දුරටත් විග්‍රහ වෙයි.


පච්චයටෙඨන බොජ්ජංගා (කර්ම හේතු උදුරා දමන්නට උපස්ථම්බක වන බැවින් බොජ්ජංග නම්වේ.

විශුද්ධටෙඨන බොජ්ජංගා (සප්ත විශුද්ධිය පරිපූර්ණ වන්නට උපකාර වන නිසා බොජ්ජංග විය.)

අනවජ්ජටෙඨන බොජ්ජංග (වැරදි දේ, කෙලෙස් ගති, ඉවත් කර දමන්නට උපකාරවන නිසා බොජ්ජංග විය.

නෙක්ඛම්මටෙඨන බොජ්ජංගා (කය රමනය කිරීමේ ක්‍රියාවලියෙන් නිදහස්වන හෙයින් බොජ්ජංග නම් විය.

විමුක්තටෙඨන බොජ්ජංගා (කෙලෙස් වෙන්කර කලෙස්වලින් මිදී නිදහස් වන අර්ථයෙන් බොජ්ජංග විය.)

අනාසවටෙඨ්න බොජ්ජංගා (ආසය අනුසය නැතිකරන, ප්‍රහාණය කරන, නොඋපදවන අර්ථයෙන් බොජ්ජංග ණම් විය.

විවේකටේඨන බොජ්ජංගා (කාය (ක්‍රියාව) වේදනාවන්ගෙන් වෙන්වන ස්වභාවයක් ඇතිවන නිසා බොජ්ජංග නම් විය.

වොස්සග්ගටේඨන බොජ්ජංගා (උපාදානය කරගත් සියලු උපධීන් මුලින් ගලවා නැවත නොඋපදින ලෙස හැරපීම් කරන අර්ථයෙන් බොජ්ජංග නම් විය.

මේ හැම අවස්ථාවකදීම විග්‍රහ කර පෙන්වුයේ රාග, ද්වේෂ, මෝහ බව (යලි යලිත් මේ ගති අලුතින් සිතක උපත ලැබීම.)නවතා දමන්නට උපකාර වන අර්ථයෙන් මේ සියලු ක්‍රියාකාරකම් කිරීම බොජ්ජංග නම් වූ බවයි. බොජ්ජංග, බුද්ධ අංග, බෝධි අංග යන මේ පදවලින් අර්ථ ගැන්වුයේ භව උදුරා දමන්නට උපකාර වන දේ යන අර්ථයෙනි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=සප්ත_බොජ්ඣංග&oldid=568289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි