දෙලොවටම අවැසි නිධාන සතර

මේ ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවශ්‍ය නිධාන තුනකුත් පරලොව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවශ්‍ය එක්‌ නිධානයකුත් තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

ලෞකික ජීවිතය හෙවත් මේ ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවශ්‍ය පළමු නිධානය නම් ථාවර නිධානයයි. ථාවර යනු සෙලවිය නොහැකි වස්‌තුවයි. එනම් කුඹුරු, වතුපිටි, ඉඩකඩම් සහ ගේදොරය. මේවා පූර්වකෘත පූණ්‍යබල අනුව ඇතැමුන්ට උපතින්ම ලැබී ඇත. ඇතැමුන් තම වෙර වීර්යයෙන් මේවා ලබාගෙන ඇත. ඇතැම්හු කොතෙකුත් වීර්යය කළත් ථාවර නිධානය නොලබති.

කෙසේ වෙතත් මිනිස්‌ ලොව සැපවත් ජීවිතයක්‌ ගෙවීම සඳහා ඉඩමක්‌, ගෙයක්‌, දොරක්‌ අව්‍යය වේ. තථාගතයන් වහන්සේ එය ථාවර නිධානය යනුවෙන් දහමෙහි දක්‌වා ඇත.

අපි කවුරු කවුරුත් ලබා ඇති මේ ජීවිතය සැපවත් අර්ථවත් දිවිපෙවෙතක්‌ සඳහා අවශ්‍ය දෙවැනි නිධානය නම් ජංගම නිධානයයි. එනම් සෙලවිය හැකි එහා මෙහා ගෙන යා හැකි වස්‌තුවයි. ගේදොර, බඩුමට්‌ටු, කැම්-බීම්, ඇඳුම්-පැළඳුම්, යාන-වාහන, රන්-රිදී, මුතු-මැණික්‌ ආදී උපභෝග පරිභෝග සම්පත් සියල්ල ජංගම නිධානයට අයත්ය. සංසාරික පිංබල අනුව ඇතැම්හු මේ සියල්ල උපතින්ම ලබා ඇත. ඇතැම් දැඩි උත්සාහයෙන් මේවා ලබාගනිති. ඇතැම්හු වෙරවීරය දරුවත් නැතත් නොලබති.

තෙවැනි නිධාන නම් අංගසමය නිධානයයි. එනම් තම ශිල්පීය දැනුමයි. මේ මිනිස්‌ලොව අර්ථවත් සැපවත් ජීවිතයක්‌ සඳහා කාට කාටක්‌ කුමන හෝ වෘත්තියක්‌ අවශ්‍යය වේ. කුමන හෝ රැකියාවක්‌ නැතතොත් කෙසේ නම් සැපවත් විය හැකිද? එසේ නම් තම කුසලතා අනුව කුමන හෝ රැකියාවක්‌ තිබිය යුතුය. තෝරා ගත යුතුය. එය අංගසම නිධානයයි. යථෝක්‌ත නිධාන තුන එනම් ථාවර, ජංගම හා අංගසම යන නිධානත්‍රය ලෞකික ජීවිතයක්‌ සැපවත් කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් හැටියට දහමෙහි දැක්‌වේ.

සිව්වැන්න අනුගාමික නිධානයයි. එය පරලොව සැප පිණිස පවත්නා නිධානයයි. තම ජීවිත කාල පරාසය තුළ සිත, කය, වචනය යන තිදොරින් රැස්‌කරගන්නා පින් සහ කුසලධර්මයෝය. දන්දීම්, සිල් රැකීම්, බණ භාවනා කිරීම්, අනුනට උදව් උපකාර කිරීම්, යුතුකම් ඉටුකිරීම් ආදී මේ සියල්ලම අනුගාමික නිධානයට අයත්ය. කෙටියෙන් කියතොත් ගුණ දහමින් ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීමයි.

දොඩන්දූව කුමාර මහ විහාරාධිපති, පූජ්‍ය ගන්තලාවේ ශ්‍රී ගුණානන්ද නාහිමි

"https://si.wikipedia.org/w/index.php?title=සතර_මහා_නිධාන&oldid=474515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි