සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය

   අදෘශ්‍යමාන දියබුං හඬ ඇසෙන මානයේ

       ෴ අස්වාන දිව්‍ය අඩවිය ෴

   අටවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමල් පුත්‍රයෙකු වන සකලකලා වල්ලභ රජු කෝට්ටේ රාජධානියේ උප රාජධානියක් වන උඩුගම්පොළ රාජධානිය පාලනය කරන සමයේ එම ප්‍රදේශය බත බුලතින් බොහෝ සාරවත්ව තිබී ඇත. මනරම් රාජධානියක් මාළිගාගොඩැල්ල නම් ස්ථානයේ තමා වෙනුවෙන් ඉදිකර ගත් රජතුමා මාළිගය ආසන්නයේ රජුගේ මෙන්ම බිසෝවරුන්ගේ භාවිතය උදෙසා පොකුණක් ද නඩු කටයුතු හා ආගමික වතාවත් සඳහා දිවුරුම් බෝධියක් ද ස්ථාපනය කර ඇත.

   ජනතා සුබසිද්ධිය උදෙසා වැව්, අම්බලම් හා රාජ්‍ය අනුග්‍රහය ලැබූ කෙත්වතු ද රජුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් සශ්‍රීක උඩුගම්පොළ රාජධානියේ වැසියන් හට තම රජු දිව්‍ය රාජයෙක් වන් විය. සකලකලා වල්ලභ රජු පිළිබඳ ජනප්‍රවාද නම් බොහෝමයක් පවතින අතර ඉන් සමහරක් සත්‍ය බව සනාථ කරන සාධක අද දවසේ ද දැකිය හැක.

   රජුගේ මාළිගය පිහිටි මාළිගාගොඩැල්ල නම් ස්ථානය අද දවසේ බස්නාහිර පළාතේ උඩුගම්පොළ උත්තරාරාම පූරාණ විහාරය යි. විහාර භූමියේ දැක ගත හැකි පවුරු බැමි, ශිලා ස්ථම්භ, ගල් උළුවහු, වැසිකිළි පාදම් ගල්, කබොක් ගල්, උළු කැබලි වැනි බොහෝ නටඹුන් කියාපාන්නේ සකලකලා වල්ලභ මාළිගයේ ඉතිහාසය 1485 වසර පමණ දක්වා අතීතයට දිව යන බවයි. දිවුරුම් බෝධිය මෙන්ම රාජකීය පොකුණ ද තවමත් විරාජමානව පවතින්නේ ඓතිහාසික යුගයක් වැළලී යාමට ඉඩ නොදිය හැකි නිසාය.

   පතහ පොකුණ නමින් හදුන්වන වර්ග අඩි 25805 ක වපසරියක ඉංග්‍රීසි හෝඩියේ L අකුරේ හැඩයට නිර්මාණය කර ඇති රාජකීය පොකුණ වටා මනාව සකස් කළ ගල් බැම්ම මෙන්ම රජු වතුරට පැනීම සඳහා භාවිතා කළ ගල් පුවරුව ද තවමත් නිරුපද්‍රිතව පවතියි. සකලකලා වල්ලභ රජු ඉදිකළ අස්වාන වැවෙන් උමඟක් ඔස්සේ පතහ පොකුණට ජලය ගෙන ආවා යැයි පැවසුව ද තවමත් එවන් උමඟක් සම්බන්ධ වන ස්ථානයක් සොයාගෙන නැති අතර අස්වාන වැවේ ද වැව් බැම්ම පමණක් අද නෂ්ටාවශේෂව ඇත.

   ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා රජු ඉදිකළ අස්වාන වැවේ වැව් බැම්ම නිතර කැඩී යාම හේතුවෙන් එම තත්ත්වය වළක්වා ගැනීමට රජු මනා ලෙස සරසන ලද කන්‍යාවින් හත් දෙනෙක් වැවට බිළි දුන් බව ඇතැම් ජනප්‍රවාදයක දැක්වෙන අතර තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රජු තමා විවාහ කරගෙන සිටි රජක කුල බිසව බිලි දුන් බවයි. මෙසේ බිළි දුන් අයගේ ශරීර කොටස් ගසාගෙන ගොස් හමුවූ තැන් අද ද ඒ ඒ නම් වලින් හදුන්වනු දැකගත හැකිය.

   පැළඳ සිටි ආභරණ ගසා ගෙන ගොස් නැවතුණ තැන මිණි රුවන් ගොඩ ලෙස හදුන්වා මිනුවන්ගොඩ වූ බවත් ඔළුව ගොඩගැසූ ගල්තලාව ගල්ඔළුව වූ බවත් කලවා ගසාගෙන ගොස් නැවතුණ තැන කලවාන ලෙස හදුන්වන ප්‍රදේශය බවත් ජනශ්‍රැතිය යි.

   සකලකලා වල්ලභ රජුගේ රාජ්‍ය කාලය බොහෝ සෙයින් දීර්ඝ වූ නිසා මීළඟ රජකම ලබාගැනීමට බලා සිට උරන වූ කුමාරවරු පිරිසක් රාජකීය පොකුණ තුළ උල් සිටුවා රජු මරන්නට උපක්‍රම යොදා ඇත. එදා දියට පැනීමට පෙර දිය මතුපිට බඹරෙකු වසා සිටිනවා දැක ඒ පිළිබඳ සොයා බැලීමේදී දැවමය උල් සොයා ගත් රජතුමා කුමාරවරුන් රාජ්‍යයෙන් පිටුවහල් කළ බව ජනප්‍රවාද කතාවකි. එය සනාථ කරන දැව උලක් අද ද මිනුවන්ගොඩ ප්‍රදේශය සභා භූමියේ ප්‍රදර්ශනයට තබා ඇත.

   ජන හිතකාමී රජෙකු වූ සකලකලා වල්ලභ රජු වර්තමානයේ ද අස්වාන දෙවියන් නමින් ප්‍රදේශයේ පූජෝපහාරයට ලක්වේ. ගොම්මන් පාළු වෙලාවට පතහ පොකුණේ බිසෝවරුන් දිය නෑ ඉසව්වෙන් දියබුං හඬ ඇසෙන බව ගැමියන් පවසයි. ජනාකීර්ණ පරිසරයක වුවත් නිල්වන් කෙත්වතු තුරුලතා ගොමු මැද පිහිටන අස්වාන දිව්‍ය අඩවියේ උත්තරාරාම පූරාණ විහාරය වෙත උඩුගම්පොළ - වීදියවත්ත මාර්ගයේ උඩුගම්පොළ වටරවුම අසල මාර්ගයේ මීටර් 500ක් පමණ පැමිණ පිවිසිය හැකි ය.