සංසාරය (සංස්කෘත හා පාලි:සංසාර) යනු යම් ප්‍රාණියෙකුගේ නැවත නැවත ඉපදීම සහ මරණය සිදුවීමයි. නොනැවතී ගමන හෝ චලනයට යෙදෙන පදයයි. මෙය බොහෝ ඉන්දියානු ආගම් දර්ශන තුළ සඳහන් වන මූලික විශ්වාසයකි.

හින්දු දහමසංස්කරණය

හින්දු ධර්මයට අනුව සංසාරය යනු ආත්මයේ ගමනකි.[1] සෑම දෙයක්ම සහ සියලු පැවැත්ම සම්බන්ධ වී, චක්‍රීය වන අතර, ආත්ම හෝ ආත්මය සහ ශරීරය හෝ පදාර්ථය යන කරුණු දෙකකින් සමන්විත වේ.[2] ආත්මන් නම් වූ මෙම සදාකාලික ආත්මය කිසි විටෙකත් පුනරුත්පත්තිය නොලබයි,[2] එය වෙනස් නොවන අතර හින්දු විශ්වාසය තුළ වෙනස් විය නොහැක. ඊට වෙනස්ව, ශරීරය සහ පෞරුෂය වෙනස් විය හැකිය, නිරන්තරයෙන් වෙනස් වේ, යළි ඉපදෙමින් යළි මිය යයි.[2] වර්තමාන කර්මය මේ ජීවිතයේ අනාගත තත්වයන්ට මෙන්ම අනාගත ස්වරූප සහ ජීවිත ක්ෂේත්‍ර කෙරෙහි බලපායි.[3][4] හින්දු දැක්මට අනුව යහපත් චේතනාවන් සහ කර්මයන් යහපත් අනාගතයකට මඟ පාදන අතර අයපත් කර්මයන් යහපත් අනාගතයකට මඟ පාදයි.

යහපත් ජීවිතයක්, ධර්කූමානුකූල ක්‍රියාවන්, මේ ජීවිතයේ හෝ අනාගත ජීවිතයේදී යහපත් අනාගතයකට දායක වනු ඇතැයි හින්දු භක්තිකයන් විශ්වාස කරති.[5] භක්ති, කර්ම, ඥාන හෝ රාජ යන සෑම මාර්ගයකම ගමනාන්තය සංසාරයෙන් මුක්තිය ලැබීමයි.[5][6] හින්දු සම්ප්‍රදායේ ශුද්ධ ලියවිලි වල කොටසක් වන උපනිෂද් තුළ මූලික වශයෙන් සංසාරයෙන් ස්වයං මුක්තිය ලැබීම පිළිබඳව අවධානය යොමු කරයි.[7][8][9] භගවද් ගීතාව තුළ මුක්තිය කරා පවතින විවිධ මාර්ගයන් විස්තර කරනු ලබයි.[1]

බුදු දහමසංස්කරණය

බුදු දහමේ උපත (ජාති), ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද, නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි වූද චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැත. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය.

ඛන්ධානං පටිපාටි ධාතු ආයතනා ච අබෙභා ඡින්නං වත්තමානං සංසාරොති පවුව්චති.

පඤ්චස්බන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙළ නොසිඳී භවයෙන් භවය ගලපමින් පවත්නා ආකාරය සංසාර යැයි කියනු ලැබේ. රූප රාශිය, වේදනා චෛතසික රාශිය, සංඥා චෛතසික රාශිය, කුසලාකුසල චේතනා රාශිය විඤ්ඤාණ හෙවත් සිත් රාශිය යනාදී රාශි කිහිපයකින් යුක්ත වූ රූපා රූප සමූහ පඤ්චස්කන්ධය යනුවෙන් හැඳින්වේ.

එසේම එහි පෘථිවි ධාතු ආදී ධාතු සමූහයක්ද ඇත. එසේම චක්කායතනාදී ආයතන සමූහයක් ද ඇත. ඒ ඒ ජාතියෙහි උපන්නා වූ ඒ ඒ පඤ්චස්කන්ධ ආයතනාදිය දිරා මැරී ගිය පසු එපමණකින් නොනැවතී කර්ම ශක්තිය අනුව නැවත හටගන්නා ස්කන්ධ ධාතු, ආයතන නිසා අනෙක් භවයක උත්පතිත්ය දැයි යනාදී වශයෙන් චුති ප්‍රතිසන්ධි පරම්පරාව හෙවත් මරණය උත්පත්තිය, උප්පත්තිය මරණය යන වශයෙන්, පවත්නා පිළිවෙළ නොකැඩී නොසිඳී පැවැත්ම, සසර නම් වෙයි. මනුෂ්‍ය, දේව, මාර, නරකාදීසත්වයන් වශයෙන් හැම දෙනාම වරින් වර සසර උපත ලබති.

සත්වයා යනු පඤ්චස්කන්ධය සත්වයා රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන රාශි පහෙන් යුක්තය. සත්වයා කවරෙක්ද යන්න විස්තර කැර බැලුවහොත්, පෘථිවි ධාතුව ආදී සතර මහා

භූත කොටස් හා ඒවා නිසා හටගත් රාශියක්ද එසේම සුවදුක් විඳීම් ආදී වේදනා රාශියක් සහ නිල්, සුදු, රතු, මිටි, මහත් යනාදිය හැඳිනීම යැයි කියන ලද සංඥා රාශියක්ද එසේම පිරිසුදු අපිරිසුදු චේතනා රාශියක්ද යනාදී රාශි පහක් හැර, වෙනත් දෙයක් නැති බව පෙනේ. එම නිසා සත්වයා කීවද පඤ්චස්කන්ධය කීවද දෙකම එකකි.

පඤ්චස්කන්ධය හෝ සත්වයාට සංසාර යැයි කියන්නේ, නැවත නැවත ඒ ජාතියෙහි ඉපදීමේ පිළිවෙළක් ඇති නිසා ය.

පරමාර්ථ වශයෙන් හෙවත් හරි තේරුම ලෙස ගත් කල සත්වයා පඤ්චස්කන්ධය යනු නාම රූප අටළොස් ධාතු සමූහය, සලායතනය දුක්ඛ සත්‍යය, යනාදියෙන් හඳුන්වන දේමය. රාශි පහෙන් යුක්ත නිසා පඤ්චස්කන්ධ යැයිද , චුති උප්පත්ති පරම් පරාවක් ඇති නිසා සංසාර යැයි ද, සිත, කය, දෙක, නිසා නාම රූප යැයි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදී ස්වභාව ධර්ම නිසා ධාතු යැයි ද ඇස, කණ, නාසාදී ආයතන නිසා සලායතන යැයි ද, ඒ සියල්ලම දුක් සමූහයක් දුක් ගොඩක්, දුක් පිඬක් නිසා දුක්ඛ සත්‍යය යැයි ද, ඉපිද නැසෙන නිසා අනිත්‍ය යැයි ද, පීඩා වන දැවෙන, තැවෙන හිරිහැරවන නිසා දුක යැයි ද බැලූ බැලූ අතින් අසාර වූ නිසා අනාත්ම යැයි ද කියනු ලැබේ.

ජාති දුක හෙවත් මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් මවුකුසින් ප්‍රසූත වන තෙක් විඳිනට ලැබෙන අප්‍රමාණ දුක් සමූහයද එතැන් සිට ළදරු කාලයෙහි විඳින්නට වන අනන්ත දුක් සමූහයද, එසේම මහලු වියට පත්වීමෙන් හට ගන්නා ජරා දුක ද නොයෙක් රෝග පීඩා නිසා හටගන්නා ව්‍යාධි දුකද, සියලු හිත කැමැති, අඹු දරු ඤාති මිත්‍රාදීන් සහ තෘෂ්ණාවෙන් රැස් කළ ධනයද හැර දමා නොකැමැති සේ යන අනන්ත රෞද්‍ර දුකක් වූ මරණයද ආහාර සැපයීමේ දුක ද පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද, ධන හානි දුක ද, නින්දා, පරිභව දුක ද ආදී බොහෝ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදු වේ. නමුත් අඥානකම සහ තෘෂ්ණාව නිසා මේ දුක් සමූහය භය වශයෙන්, දුක් වශයෙන් නොදකින අතර එහි කළකිරීමක් සිදු නොවෙයි.

මේ හැර අට මහා නිරයාදී එකසිය සතිස් නිරයෙහි ඉපදී කල්ප ගණන් ලක්‍ෂ ගණන් කෝටි ගණන් අවුරුදු දුක් විඳීමට සිද්ධ වීම ද බලු කපුටු, එළු, බැටළු, ගව මහීෂා දී තිරිසන් අපාය වල ඉපිද කල්ප ගණන් අනන්ත දුක් විඳින්නට ලැබීම ද සසර දුකට අයත් වේ.

එක් සත්වයකු විසින් අතීත සංසාරයේ දී විඳින ලද දුක් අනන්තය. මතු භවවල විඳින්නට ලැබෙන දුක ද, අනන්ත ය. අප්‍රමාණ ය.

නමුත් මෙම දෙකොටසටම නොපෙනෙන නිසා බොහෝ දෙනා ඒ ගැන අල්පමාත්‍ර වූ භයක් තැති ගැනීමක් නැතිව, මනුෂ්‍ය ආත්මය සැපසේ පරිහරණය කිරීම පමණක් උසස් කොට සළකා තෘෂ්ණාවෙන් යුක්තව අනන්ත දුශ්චරිත වල ද යෙදෙමින් සසර දුක් වර්ධනය කර ගනිමින් අන්ධව කටයුතු කරති. නමුත් ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ සසර දුකින් මිදීමේ කටයුතු වල වැදගත්කම දැක ඒවා නොපිරිහෙළා ඉටු කරති.

සංසාරය අතිශයින්ම චංචල වෙයි. සතර අපාය සෑම කාලයට දුකින් පිරී පවතී. බුදු කෙනෙකුගේ පහළ වීම ද අතිශය දුර්ලභය ය. මෙම මිනිස් භවයද දුක සේ ලබාගත් දෙයකි. නමුත් නොයෙක් රෝග වලින්ද ජරාවෙන්ද උපද්‍රව වලින්ද මෙය යුක්ත ය. විදුලියක් මෙන් ජීවිතය ද බිඳී යනු ඇත.

හිස ගිනිගත් අයකු එම ගින්න නිවීමට උත්සාහ කරන සේ නොපමාව සසර දුක් නැති කරන නිවන් මඟ සෙවීමට උත්සාහ කළ යුතු ය.

ආශ්‍රේයයන්සංස්කරණය

බාහිර සබැදුම්සංස්කරණය

  1. 1.0 1.1 Mark Juergensmeyer & Wade Clark Roof 2011, පිටු අංකය: 272.
  2. 2.0 2.1 2.2 Jeaneane D. Fowler 1997, පිටු අංකය: 10.
  3. Mukul Goel (2008). Devotional Hinduism: Creating Impressions for God. iUniverse. p. 6. ISBN 978-0-595-50524-1.
  4. Christopher Chapple (1986), Karma and creativity, State University of New York Press, ISBN 0-88706-251-2, pp. 60–64
  5. 5.0 5.1 Flood, Gavin (2009-08-24). "Hindu concepts". BBC Online. BBC. Archived from the original on 2014-04-11. Retrieved 2015-07-31.
  6. George D. Chryssides; Benjamin E. Zeller (2014). The Bloomsbury Companion to New Religious Movements. Bloomsbury Academic. p. 333. ISBN 978-1-4411-9829-7.
  7. Jeaneane D. Fowler 1997, පිටු අංක: 111–12.
  8. Yong Choon Kim; David H. Freeman (1981). Oriental Thought: An Introduction to the Philosophical and Religious Thought of Asia. Rowman & Littlefield. pp. 15–17. ISBN 978-0-8226-0365-8.
  9. Jack Sikora (2002). Religions of India: A User Friendly and Brief Introduction to Hinduism, Buddhism, Sikhism, and the Jains. iUniverse. pp. 17–19. ISBN 978-1-4697-1731-9.
"https://si.wikipedia.org/w/index.php?title=සංසාරය&oldid=492502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි