ශාකපොතුවට කැපීම, වලයාකාර පොතු ඉවත් කිරීම ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම ක්‍රියාවලියේදී ශාක ක‍ඳේ පොත්තන් කොටසක් කඳ වටේටම වලයාකාරව ඉවත්කරමින් (පොත්ත ද්විතීයික ෆ්ලෝයම පටකය, වල්ක කැම්බියම හා වල්කය ) ශාකය මිය යාමට සලස්වනු ලැබේ. මෙම ශාක පොතු ඉවත් කිරීම , මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ( වන ව්‍යාපෘති විනාශ කිරීම් ) මෙන්ම අහම්බෙන් (ළපටි ශාක ආධාරකවලට බැඳ තබන ලණු හේතුවෙන්) හෝ සමහර ශාක භක්ෂකයන්ගේ ක්‍රියාවන් (තමන්ගේ උස ප්‍රමාණයට සරිලන ප්‍රදේශයේ ගසේ පොත්ත මුළුමණින්ම කා දැමීම) නිසා ද සිදු වේ. නමුත් මෙම උපක්‍රමය වගාවන් සඳහා වනාන්තර එළි කිරීමේදී, පලතුරු වගාකරුවන් විසින් අස්වනු වැඩිකර ගැනීම සඳහා ද බහුලව භාවිතා කෙරේ. (විශාල ඵල)

පොතු වටයක් කපන ලද ගසක්

වනාන්තර පාලනයේදී හා උද්‍යාන වගාවන්වලදී පොතුවට කැපීම සංස්කරණය

සෑම ශාකයක්ම ජලය හා ආහාර පරිවහනය සඳහා සනාල පටක වර්ග 02 ක් භාවිතා කරනු ලැබේ. ඒවා නම් ශෛලම පටකය (දැව කොටස ලෙසද හඳුන්වනු ලැබේ) හා ෆ්ලෝයම පටකයයි. පොතුවට කැපීමේදී ෆ්ලෝයම පටකය පටකය ඉවත් කරනු ලබන අතර පත්‍ර මණ්ඩලවල සිට ශාකයේ මූල පද්ධතියට සීනි (මුලීකව සුක්‍රෝස් ) පරිවහනය ඇනහිටීමෙන් ශාකය මිය යාම සිදුවේ. මෙහිදී ශෛලම පටකයට කිසිදු හානියක් සිදු නොවේ. එබැවින් මූල මණ්ඩලය මිය යන තෙක් තාවකාලිකව මුල්වල සිට ගසේ පත්‍ර මණ්ඩලය වෙතට ජලය හා ඛණිජ ලවණ පරිවහනය සිදු වේ. බොහෝ විට මුල්වල සෛල තුළ තව දුරටත් ATP නිෂ්පාදනය නොවීම හේතුවෙන් හා පෝෂණ ද්‍රව්‍යය ශෛලම තුළින් ඉහළට ගමන් නොකිරීම හේතුවෙන් මූල මණ්ඩලය මිය යාම සිදු වේ.

ශාක කපා දැමීම හා සසඳන විට පොතුවට ඉවත් කිරීම මගින් ශාක ඉවත් කිරීම ඉතාමත් සෙමින් සිදුවන ක්‍රියාවලියක් බැවින් බොහෝ විට එය යොදාගනුයේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණි. එනම්, පාරිසරික සංරක්ෂිත ප්‍රදේශයක අනෙකුත් ශාකවලට හානියක් නොකර තනි ශාකයක් පමණක් ඉවත් කළයුතු අවස්ථාවලදීයි.

අහම්බයකින් ශාකයේ පොත්ත ඉවත් විය හැකි බැවින් ද ශාක කළමනාකරණයේදී ඒ පිළිබඳ සැලකිළිමත් වෙමින් ක්‍රියාකාරීවීම වැදගත් වේ. බොහෝ විට කුඩා පැළෑටි ලණුවලින් ආධාරක කරුවලට බැඳ තැබූ විට පැළෑටිය තව දුරටත් වර්ධනය වීමේදී ලණුව සමග වන ඝර්ෂණය හේතුවෙන් එම ස්ථානයේ ක‍ඳේ පොත්ත ඉවත් වී යා හැක. එමෙන්ම කිසියම් ශාකයක නිතර නිතර සතුන් හෝ බෝට්ටු යනාදිය බැඳ තබන්නේ නම් එවිටද ඝර්ෂණය හේතුවෙන් ලණුව ඇතිල්ලෙන සීමාව තුළ ගසේ පොත්ත ඉවත් වී යා හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ශාක_පොතුවට_කැපීම&oldid=471979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි