ශාක්‍ය වංශය ඉන්දියාවේ රාජකීය ගෝත්‍රයක් විය.සිදුහත් බෝසතුන් උපත ලද ශාක්‍ය වංශයේ ආරම්භය, ශාක්‍යයන්ගේ වංශ කතාව බෞද්ධ සූත්‍ර සාහිත්‍යයේ කිහිප තැනකම විස්‍තර වශයෙන් සඳහන් වේ.ශාක්‍යයන්ගේ උපත පිළිබඳව රසවත් වූ දීර්ඝ වෘතාන්තය දීඝනිකායේ අම්බට්ඨ සූත්‍ර අටුවාවේ පැහැදිලිව විස්තර වේ. එහි දැක්වෙන පරිදි ශාක්‍යයන්ගේ ආදී පුරුෂයා සූර්යය වංශික "ඔක්කාඛ" නම් රජතුමාය. ඔහු මහා සම්මත රජ පරපුරේ පසුකාලීනයෙකු විය. හෙතෙම ඔක්කාඛ පරපුරේ තෙවැන්නා විය.ඔහුට ප්‍රධාන බිසෝවරු පස්දෙනෙකු වූහ. ඉන් ප්‍රමුඛ තැනැත්තියට 1.ඔක්කාමුඛ 2.කරකණ්ඩු 3.හත්ථිනී 4.කාසිනීපුර යැයි පුතුන් සතර දෙනෙක්ද, 1.ප්‍රියා 2.සුප්‍රියා 3.ආනන්දා 4.විජිතා 5.විජිතසේනා යැයි දියණියන් පස්දෙනෙක් ද වූහ. දරුවන් නවදෙනකු වැදූ ඇය කලකට පසු මියගියාය. පසුව වෙනත් බිසවක් ප්‍රධාන බිසෝ තනතුරට පත් වූ අතර ඇයට උපන් පුතු "ජන්තු" නම්විය. පුතු උපන් පස්වැනි දින ඇය පුතු සරසා රජු වෙත දක්වන ලදින් සතුටට පත් වූ රජු ඇයට වරයක් ලබාදුනි. අවස්ථාව ලද ඇය අනාගතයේ තම පුතුට රජකම දෙන්නැයි ඉල්ලා සිටියාය. වැඩිමහල් කුමාරවරුන් සිටියදී එය කළ නොහැකි යැයි රජු පැහැදිලි කළ නමුත් ඇය ඒ පිළිබඳව රජුට බලපෑම් කළ අතර උපායෙන් රජතුමාව සතුටු කර ගැනීමට සමත් වූවාය. ඇයට වරයක් දීමෙන් තමා කළ වරද ගැන මෙනෙහි කළ රජතුමා තම වැඩිමහල් දූ පුතුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට කැමති දෙයක් ගෙන වනගත වන්නැයි නියම කළේය. ඔවුහු මංගල හස්තියාද, මංගල අසු හා රථයද රැගෙන තමන් සමඟ යාමට කැමති වූ පිරිස ද සමඟින් වනගත වූහ. ඔවුන්ට වනයේ දී ආශ්‍රමයක වාසය කළ "කපිල" නම් ඍෂිවරයා මුණගැසිණි.ඔහුගේ අනුශාසනා මත ජය භූමියක් ලෙස ප්‍රකට වූ ආශ්‍රමයක් පිහිටි ස්ථානයක නගරයක් ඉදිකොට එහි සතුටින් වාසය කළහ. කපිල ඍෂිවරයාගේ අනුශාසනයෙන් ඉදිකළ බැවින් එය "කපිලවත්ථු" යැයි නම් කළහ. කුමාරවරුන්ට විවාහ වීමට ක්ෂත්‍රීය කාන්තාවන් නොවූ හෙයින් ඔවුහු වැඩිමහල් සොයුරියක මව් තනතුරෙහි තබා සෙසු සොයුරියන් සමඟ විවාහ ගිවිස දරුවන් ලබා සතුටින් වාසය කළහ. ඒ අතර වැඩිමහල් කුමරියගේ ශරීරය පුරා චර්ම රෝගයක් හට ගත්තෙන් එය අන් අයටත් බෝ වන ඇතැයි බියෙන් ඔවුහු කුමරිය වනයේ සුරක්ෂිත බිංගෙයක නවතා ආහාර පාන යැවිය. එම කාලයේදීම බරණැස රාම රජුගේ ශරීරයේ ද චර්ම රෝගයක් හටගත් අතර ඒ හේතුවෙන් රජුව සියල්ලන් අප්‍රිය කරන්නට වූයෙන් රාජ්‍යය පුතුන්ට භාර දී වනගත විය.එහි දී වන මුල්, පළා ආදියෙන් සැකසු බෙහෙත්ජලය ස්නානය කොට පළා ආදියෙන් කළ බෙහෙත් වර්ග අනුභව කොට සුවපත් විය. යළි නගරයට නොගොස් විවේකය පිණිස වනයෙහි සිත් අලවා සුවිසල් ගසෙක වූ බෙනයක කුටියක් තනාගෙන එහි සුවසේ ජීවත් විය. එක් අලුයම් කාලයක රාම රජුට වනයෙහි තැතිගත් ගැහැනු කටහඬක් ශ්‍රවණය වී සොයා බලනුයේ වනය තුළ වූ එක් බිංගෙයක විසූ එක් කාන්තාවක් දැක තොරතුරු විචාළේය. අලුයම එක් ව්‍යාඝ්‍රයකු පැමිණ දොරටුව හාරහාරන්නට වූයෙන් තමා බියපත් ව කෑගැසු බවත් තමා ඔක්කාඛ රජුගේ දියණියක බවත් චර්ම රෝගය නිසා සොයුරන් විසින් මෙහි නතර කරවූ බවත් ඇය විස්තර කළාය. තමා ද ක්ෂත්‍රීය වංශික බරණැස රාම රජු බව පැහැදිලි කළ හෙතෙම ඇය හා එක්ව දරුවන් ලැබ සතුටින් වාසය කළේය. මේ අතර මහලු වියට පත් ඔක්කාඛ රජ තෙමේ තමන්ගේ වැඩිමහල් දරුවන් කොහි වෙසෙති දැයි විමසා බලනුයේ වනයෙහි කපිලවත්ථු නම් නගරය ඉදිකොටගෙන ප්‍රදේශය සමෘද්ධිමත් කරමින් ජීවත් වන්නේ යැයි අසා "ඔවුහු දක්ෂයෝය","ඔවුහු භාග්‍යවන්තයෝ යැ" යි සතුටු විය. කුමාරවරුන්ගේ ශක්තිමත් භාවය හා දක්ෂතාවය නිසා ඔවුන්ට "ශාක්‍යයයෝ" යි ඔක්කාඛ රජු තෙමේ නම් තැබූ බවත්,ඔවුන්ගෙන් ශාක්‍යය පරිවාරය ආරම්භ වූ බවත් කියැවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශාක්‍ය&oldid=496121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි