ශ්‍රී ලංකා යෝනකවරු
ක්‍රි.ව. 2005 ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය වූ 20,263,723 න් 8% ක් මුස්ලිම් ජනගහනය වන අතර එයින් 93% ක් ශ්‍රී ලංකා යෝනකවරු වෙති. සංඛ්‍යාවෙන් වැඩි මෙම බලවත් පිරිස ෂාෆි මස්හබයට අයත් සුන්නි මුස්ලිම්වරුන් වේ. ශ්‍රී ලංකා යෝනකවරු අනුගමනය කරන්නේ 8 වැනි සහ 15 වැනි සියවස අතර කාලයේ වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූ අරාබි මුතුන්මිත්තන්ගේ ජීවන පිළිවෙතයි. මුල් කාලයේ අරාබි වෙළෙන්දන් භාවිතා කළ අරාබි භාෂාව පසු කාලීනව භාවිතයෙන් ඉවත් වූ නමුත් සමහර අරාබි වචන සහ වාක්‍ය කණ්ඩ අදත් එදිනෙදා ව්‍යවහාර කරන භාෂාව භාවිතයේ පවතී. මෑත අතීතය දක්වාම යෝනකවරු තම මව් භාෂාව ලෙස භාවිතා කළ අර්වි භාෂාව ද භාවිතයෙන් ඉවත් වී කථාවට පමණක් සීමා විය. වර්තමාන ශ්‍රී ලංකා යෝනකවරු තම මූලික භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිතා කළ ද එහි අරාබි භාෂාවෙන් උපුටාගත් වචන බොහෝමයක් ගැබ් වී ඇත. යෝනකවරුන්ට සිංහල භාෂාව පිළබඳව මනා නිපුණත්වයක් ඇති අතර ශ්‍රී ලාංකීය බහුතරයක් සිංහල කථා කරන්නන් ඉන්දු යුරෝපීය ආභාෂයට අනුවය. ඒ නිසා යෝනකවරුන් සිංහල හා දෙමළ යන භාෂා දෙකටම අදාළ සංස්කෘතීන් අතර නිවැරදි භාෂාමය භාවිතය ඌණ වූ තත්ත්වයක පසුවෙති. මුල් අවධියේ ශ්‍රී ලංකා යෝනකවරු මුහුදු බඩ ප්‍රදේශවල වෙළෙඳ කටයුතුවල නිරත වී සිටි අතර ඔවුන්ගෙන් සමහර අය කෘෂිකාර්මික කටයුතුවල ද නිරත වුහ. ඔවුන් තම මුතුන් මිත්තන් අනුගමනය කළ ඉස්ලාමීය ජීවන පිළිවෙත අනුගමනය කළද සමහර අවස්ථාවල දී දකුණු ආසියාතික සංස්කෘතික පිළිවෙත් ද අනුගමනය කළහ. පෘතුගීසින් මෙරට ආක්‍රමණය කර මුහුදු බඩ ප්‍රදේශවල පදිංචිවීමෙන් පසු මුස්ලිම්වරුන්ගේ එදිනෙදා ජීවන කටයුතුවලට බාධා එල්ල වන්නට විය. මෙනිසා බොහෝ දෙනා තම මුතුන් මිත්තන් ජීවත්ව සිටි කඳුකර ප්‍රදේශවලට සංක්‍රමණය වුහ. නැඟෙනහිර යෝනකවරු (ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළබඩ වෙසෙන යෝනකවරු) මුල සිටම ගොවිතැනින්, මාළු ඇල්ලීමෙන් සහ වෙළෙඳාම් කිරීමෙන් තම ජීවන මඟ සකසා ගත්හ. නිරිත දිග ඉන්දියාවේ රාජ්‍ය ප්‍රාන්තය වන කේරල ආභාසය නිසා ස්ත්‍රීයගේ මූලිකත්වයෙන් පවුල් ජීවිතය සකස් කරගෙන කටයුතු කළත් ඔවුන් තමන්ගේ එදිනෙදා කටයුතු සියල්ලම ඉටු කර ගන්නා ලද්දේ ඉස්ලාමීය නීති රීතිවලට අනුකූලවය.