ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල

අප්‍රේල් කැරැල්ලේ 16 වැනි සමරුව නිමිත්තෙන් වසර 1987 අප්‍රේල් 5 රෝහණ විජේවීරගේ හඬ පටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇතිවී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අප එළඹ සිටින්නේ අරගලයේ එකළොස්වන පැයට බවය.

ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ආරම්භ වූව ද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජුලි 28 කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයත් සමඟය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර 1987 අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් ජුනි 4 ගුවනින් පරිප්පු හෙළන ලදී. 1987 ජුනි 7 ජවිපෙ මගින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් 1987 ජුනි 22 සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගතකර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි.

මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සඳහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමිණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු - ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජුලි 9 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජ.වි.පෙ.ට අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයයි. එහි නායකයින් වූයේ හැඩිගල්ලේ පක්‍ඳ්ඤාතිස්ස මහනාහිමියන්, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ ආරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.

සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් මව්බිම සුරැකීමේ සංවිධානය ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28 විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ කොළඹ ටවුන්හෝල්හි විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරැකීමේ ව්‍යපාරය එදින විරෝධතාව පැවැත්වීමට තීරණය කර තිබුණේ කොටුව බෝගහ අසලදීය. සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සිරිමා බණ්ඩාරනායක කොළඹ රොස්මීඞ් නිවසට ගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කර ගැනීමට එක්වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රීලනිපයේ මව්බිම සුරැකීමේ සංවිධානයට එම තීරණයට අනුගත වන්නට සිදුවීම හැර විකල්පයක් නොවීය.

කොටුව බෝගහ අසල විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00 ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසල් සිසුන්ද කොළඹ නගරයට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයා ද විරෝධතාවට එක්කර ගැනීමට හැකි සුදුසුම ස්ථානය බැවිනි. පෙරවරු 6.30 ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරියන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්. බී. හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරකවරුන් බවට පත්වි තිබිණි. අප සමඟ ගිය ඡායාරූප ශිල්පියා වූයේ ගාමීණි අක්මීමනය. එදින එළිවන විට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ ආණ්ඩුවට, එරෙහිව මුළු කොළඹ සහ ප්‍රධාන නගරයන් රක්ත වර්ණ පෝස්ටර් සහ වැකි වලින්ද ලයිට් කණු වැනිදෑ කළු කොඩි වලින්ද සරසා තිබිණි.




ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමැතිවරුන් වන ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී ජයසුරියගේ සහායක් නොමැති බවට පුවත්පත් හි ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200 ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක් ද පැමිණ තිබිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬ නගනවා ඇසිණි. උදෑසන 9.00 පමණ වන විට කොටුව බෝගහ අසලට 3,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රීලනිප නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඞ් පතිරණ ඇතුළු ශ්‍රීලනිප නායකයෝ කිහිප දෙනෙක්ද එහි සිටියහ.

ගිවිසුමට එරෙහිව කොටුවේ දී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනකට වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජුලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයින් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජුලි 11 කැඳවා තිබිණි. ඩී. එම්. ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකිතාක් පිරිස් කොළඹ කොටුව විරෝධයට එක්කර ගතයුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්. බී. හේරත් ද ජුලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂූන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුනට වගකීම් පැවරුවේය. සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසල්වල සිසු කණ්ඩායම්ද රටපුරා ප්‍රධාන නගරවලට කැඳවාගෙන ඒමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැඳවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට ඒ අනුව සැලසුම් සකස් කෙරිණි.

වසර 1987 ජුලි 28 පෙරවරු 11.30 පමණ වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක්වූ අතර කොටුවට එන සියලු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැගි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයෙකු වූ එච්. බී. හේරත්ය. මේවාට විසඳුම් ගැනීමට රටේ පාලකයා සොයා රජ ගෙදරට යාමට සූදානම් වන්නැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ල වූයේ ඉන් පසුවය. වේලාව මධ්‍යහ්නය වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමා බණ්ඩාරනායක වටකරගත් ආරක්ෂක නිලධාරිහු ඇය බෝගහ අසල විහාරගෙට පළමුව ද දෙවනුව වාහනයකට ද නංවා ගත්හ. බේබි හාමු කොහේදැයි කලබලයෙන් ඇසූ ශ්‍රීලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. පිරිස කඳුළු ගෑස්වලින් නැහැවී තිබිණි. වෙඩි ප්‍රහාර සහ බැටන් ප්‍රහාර මධ්‍යයේ තත්ත්වය ඉතා උණුසුම් විය. පසු බසින පිරිස් ප්‍රකෝපකාරි විය.

මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් බොහෝ වේලා කඳුළු ගෑස්වලට නොබියව මුහුණ දෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයන් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් කෑගල්ලේ විමල සාමණේර හිමිය. උන්වහන්සේ පිටුවල ධම්මකීර්ති හිමි හෙවත් ලෙනින් හාමුදුරුවන්ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ ලෙනින් හාමුදුරුවෝ ජවිපෙය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි. පසු කාලයේ ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22 පැහැරගෙන ගොස් තිරස්චින ලෙස ඝාතනයට ලක්කර තිබිණි.

වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටු අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිස්සු හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වශයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම් කළ සටන් පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන් පාඨ හඬ නැගිණි. ලේක්හවුසිය රජයේ අමාත්‍යංශ ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ලවිය. සතර අතට පෙළපාළි 10 ක් පමණ විසිර ගිය අතර ඒ සෑම පෙළපාළියකම දහසකට අධික පිරිසක් වූහ. භික්ෂූන් සහ සරසවි සිසුහූ එහි පෙරමුණ ගත්හ.

ගිවිසුම් විරෝධී එම අරගලයේ දී කොටුව බෝගහ අසල වෙඩි තැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆඞ් පෙරේරාය. සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල බිම ඇද වැටුණු ක්ලිෆඞ් ඔසවා ගත්තේය. මාතුපාලගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනෙකුගේ සිරුරු සවස්වන විට කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් තිබිණි. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆඞ්ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙනයෑමට ද ලේඛකයා සහාය විය. ක්ලිෆඞ් ලේඛකයාගේ පාසල් සමකාලිනයෙකු ද විය. ක්ලිෆඞ්ගේ අවසන් කටයුතු ජාඇල දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ක්‍රි.ව. 1987-89 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුන විසින් දියත්ගල සිවිල් අරගලයයි.