ශ්‍රී ලංකාව තුළ වන විනාශය

(ශ්‍රී ලංකාවේ වන විනාශය වෙතින් යළි-යොමු කරන ලදි)

වන විනාශය  යනු  ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

හේතු සහ ප්‍රතිවිපාක

සංස්කරණය
 
වනාන්තර ආවරණය ඉවත් කර ඇති ආකාරය හෙළිදරව් කරන එළවළු ගොවිපලක්

කෘෂිකාර්මික ඉඩම්, වැවිළි, ඉන්ධන සහ දැව සඳහා ශ්‍රී ලංකාවේ වනාන්තර එළි-පෙහෙළි කරනු ලැබේ. දැව විකිණීම යනු ජාතික ආර්ථිකය සතු ආදායම ඉහළ නැංවීම සඳහා දායක වන අංගයකි. මෙරට තේ කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධාන නිශ්පාදකයෙක් වන අතර තේ වගාව සඳහා සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ඇවැසි වේ. වර්ෂ 1980 දී ප්‍රධාන ක්‍රියාවලියක් වූ කුඹුරු බිම් සැකසීම සහ වාරිමාර්ග සම්පාදනය මෙන්ම ජනගහන පීඩනයද වනාන්තර ප්‍රදේශ අඩු කිරීමෙහිලා සැලකිය යුතු සාධක වේ. පාරිසරික බලපෑම් හැරුණු විට ශ්‍රී ලංකාවේ වන විනාශයෙන් නිරාවරනය වන ප්‍රදේශ වල ජල ගැලීම්, නායයෑම් හා පාංශු ඛාදනය වැනි තත්වයන් ඇතිවේ.එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ පැවත්ම සඳහා බලපාන ප්‍රාථමික සාධකයක්ද වේ. ශ්‍රී ලංකාව සතුව දැනට හඳුනා ගත් උභය ජීවීන්, පක්ෂීන්, උරගයින් හා ක්ෂීරපායීන් විශේෂ 751 කට අධික ප්‍රමාණයක් සිටින අතර ඉන් 21.7% ඒක දේශික ජීවීන් වන අතර 3314 කට අධික සනාල ශාඛ විශේෂ අතරින් 26.9% ඒක දේශික වේ.

ප්‍රතිචාර

සංස්කරණය

වර්ෂ 2007 වන විට දිවයිනේ මුළු භූමි ප්‍රදේශයෙන් 15% ක් පමණ ආවරණය කරනු ලබන ජාතික උද්‍යාන, රක්ෂිත සහ අභය භූමි ඉදි කිරීම ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර පරිසර සංවිධාන මගින් වන විනාශය අවම කිරීම සඳහා ගෙන ඇති විසඳුම් කිහිපයක් වේ. වඳවී යන පහත රට නිවර්තන වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා 1978 දී ස්ථාපිත කරන ලද සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය,1988 දී ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.

පාරිසරික නීතිය හා ප්‍රතිපත්ති පිළිබඳ ඉතිහාසය

සංස්කරණය
 
සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය මගින් ශ්‍රී ලංකාවේ පහතරට නිවර්තන වැසි වනාන්තර ආරක්ෂා වීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රතිපත්ති හා නීති පිළිබඳ ඉතිහාසය ඈත අතීතය දක්වා දිව යයි. වර්ෂ 1848 දී, අංක 24 දරණ  දැව ආඥා පනත විශාල වශයෙන් දැව නිශ්පාදනයට වනාන්තර වෙන් කිරීම සඳහා අත්සන් කරන ලදී.වර්ෂ 1873 දී , වර්ග අඩි 5000 ට වඩා වැඩි ස්වාභාවික වනාන්තර දේශගුණික සංචිත ලෙස ආරක්ෂා කිරීමට හූකර් නම් පුද්ගලයා පෙනී සිටි අතර, 1938 දී  වර්ග අඩි 5000 ට වැඩි වනාන්තර ඉවත්කිරීමේ තහනම සම්මත විය.වර්ෂ 1885 දී ඉදිරිපත් කරන ලද අංක 10 දරණ වන සංරක්ෂණ ආඥා පනත  හේතුවෙන් තිරසාර ලී නිශ්පාදනය සඳහා වනාන්තර විනාශය සහ අභය භූමිවල ජීවත් වන වන ජීවීන් විනාශ වී යාමද තරමක් දුරට අඩු විය. මෙය තවදුරටත් වර්ෂ 1907 දී හදුන්වා දුන් අංක 16 දරණ වන ආඥා පනත තුළින් වනාන්තර,රක්ෂිත වනාන්තර,ග්‍රාමීය වනාන්තර වල නිශ්පාදිත දැව ලබා ගැනීම පාලනය කිරීම දක්වා වැඩි දියුණු කරන ලදී.

වර්ෂ 1929 දී පළමු බලාධිකාරී වනාන්තර ප්‍රතිපත්ති ප්‍රකාශය,ශාක හා සතුන්ගේ ආරක්ෂාව පිළිබඳව නිකුත් කල අතර, 1937 දී අංක 02 දරණ පනත සත්ව හා වෘක්ෂලතා ආරක්ෂාව සහ ජාතික වන සංචිත වල වන ජීවී ආරක්ෂාව පිළිබඳව අත්සන් කරන ලදී.කෙසේ වුවද මෙය අභය භූමි වලට පමණක් සීමා වූ අතර රාජ්‍ය ඉඩම් තුල වනාන්තර ආරක්ෂා වුවද, පෞද්ගලික ඉඩම්වල වන විනාශය සඳහා සම්පූර්ණ නිදහස හිමි විය.1964 දී හඳුන්වා දුන් අංක 44 දරණ සංශෝධන පනත යටතේ ස්වාභාවික සංචිත හා කැලෑ ප්‍රදේශ ,ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු ජාතික සංචිත ලෙස හඳුනා ගනු ලැබීය.1970 දී සංශෝධන පනත් අංක 01 යටතේ වන දඩයම් පාලනය සඳහා අතරමැදි කලාප නිර්මාණය කල අතර , 1969 දී යුනෙස්කෝ ජීව විද්‍යාත්මක වැඩසටහන සහ 1975 දී යුනෙස්කෝ මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන් මගින් තවදුරටත් ශ්‍රී ලංකාව තුල ජෛව දේශගුණික කලාප සහ නව සංචිත ඉදිකිරීමටද යෝජනා කරන ලදී.1982 දී මහවැලි පරිසර ව්‍යාපෘතිය යටතේ වන ජීවින් සහ වන විනාශය නිසා සිදුවන බලපෑම් සහ මහවැලි ගඟ ඉහළ පෝෂණ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා වන රක්ෂිත ප්‍රදේශ ජාලයක් ස්ථාපිත කරන ලදී.1988 දී ජාතික වන උරුම භූමි පනත් අංක 03 යටතේ රාජ්‍ය ඉඩම් වල පවතින සුවිශේෂී පරිසර පද්ධති, ජාන සම්පත් හා ප්‍රකට ස්වාභාවික ලක්ෂණ ආරක්ෂාව සඳහා ජාතික උරුම ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කරන ලදී.

 
ශ්‍රී ලංකාවේ තේ වගාවක්

1990 දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් වන ජීවී සංරක්ෂණය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය, පරිසර පද්ධති හා පාරිසරික ක්‍රියාවලි වල තිරසාර පැවැත්ම සහ ජාන විවිධත්වය සංරක්ෂණය කිරීම යන අරමුණු සහිතව අනුමත කරන ලදී.රජය විසින් වන අංශයේ සංවර්ධන වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවේ සියළු වනාන්තර තුල ක්‍රියාත්මක කල යුතු “තහනම් කටයුතු” හදුන්වා දී ඇත. 1993 වර්ෂයේදී සංශෝධන පනත් අංක 49 යටතේ වන ආවරන සහ සාගර සංචිත අවරෝධන කලාපයන් අමතර විධිමත් කාණ්ඩ ලෙස ජාතික සංචිත සඳහා එකතු කරන ලදී.සියළු ප්‍රතිපත්ති හා  නීති සහ විශේෂයෙන් පහත විස්තර කර ඇති වර්ෂ 1995 දී හඳුන්වා දුන් ජාතික වන ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රාථමික ආවරනයේ වන විනාශ සීඝ්‍රතාව 1995 වර්ෂයේ අග භාගය වන විට 35% කින් පමණ අඩු වී ඇත.

තිරසාර දැව වගා

සංස්කරණය

ශ්‍රී ලංකාවේ වනාන්තර වල තිරසාර පැවත්ම සඳහා බලපාන ප්‍රධාන තර්ජන අතර රජය මගින් හඳුන්වා දී ඇති දැව හා ඉන්ධන ප්‍රතිපත්ති සහ  ආදායම් ඉලක්ක වගාවන් නිර්මාණය සඳහා ඇති ඉල්ලුම ප්‍රධාන වේ.රාජ්‍ය ප්‍රතිපත්ති මූලික වශයෙන් දැව නිශ්පාදනය හා වෘක්ෂ වගාව කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකා රජය බහු ජාතික සමාගම් සමග පවත්වන සහයෝගී වැඩපිළිවෙල හමුවේ තිරසාර සංවර්ධනය සඳහා හේතුවන දැව අස්වනු ලබා ගැනීමේ ප්‍රධාන වෙනසක් සිදුව ඇත.ශ්‍රී ලංකාවේ කළමණාකරන පද්ධති යටතේ පවත්වා ගෙන යන වාණිජ වන වගාවන් මගින් ආර්ථික වශයෙන් තිරසාර සහ කාර්යක්ෂම ලෙස දැව නිශ්පාදනය සිදු කිරීම අනුක්‍රමයෙන් ඉදිරියට රැගෙන ගොස් ඇත.රජය සතුව පවතින රාජ්‍ය දැව සංස්ථාවමගින් රාජ්‍ය වනාන්තර වලින් දැව අස්වනු ලබා ගැනීම, සැකසීම, සහ දැව නිශ්පාදන විකිණීම සිදු කරගෙන යනු ලබයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 5 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ "දර වගා කිරීම හා කෘෂි වන වගා සංවර්ධනය" යන  ප්‍රජා වන  ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ලබා දුන් අරමුදල් හමුවේ වර්ෂ 1980 වන විට වන සංරක්ෂණයෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් විය.ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10 කට වඩා ආවරණය කරමින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පවත්වාගෙන යනු ලබන  අතර ප්‍රධාන තිරසාර වනාන්තර ව්‍යාපෘති  සඳහා ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලැබේ.

 
බතලේගල සිට කඩුගන්නාව අතර  පවතින වනාන්තර

වර්ෂ 1995 දී සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි නිශ්චිත අවධනය යොමු කරමින් ශ්‍රී ලංකා රජය ජාතික වන ප්‍රතිපත්තිය අනුමත කරන ලදී.මෙම ජාතික වන ප්‍රතිපත්තිය මගින් ඍජුවම පරිසරය ආරක්ෂා කිරීම හැරුනු විට පරිසර කළමණාකරනය කෙරෙහි වූ ප්‍රජා මැදිහත්වීම හා සමගිය වැඩි දියුණු කිරීම, පෞද්ගලික අංශයට බහු භාවිත වනාන්තර කළමණාකරනය සඳහා කල්බදු ලබා දීමද සිදුවේ. මෙම ප්‍රතිපත්තියේ විෂය පථයට ජෛව-භෞතික විද්‍යාව,පාරිසරික, සමාජ-දේශපාලන සහ ආර්ථික යන සංරචක ඇතුලත් වේ. තවද මෙම ප්‍රතිපත්තිය මගින් ජෛව විවිධත්වය සංරක්ෂණය,පස හා ජල සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර දිවයිනේ පරිසර පද්ධති තුල පාරිසරික තුලිතතාව පවත්වා ගනිමින් වත්මන් ස්වාභාවික වනාන්තර රැක ගැනීමද මූලික වැදගත්කමක් ලෙස අවධාරණය කරයි. මෙම ප්‍රතිපත්තිය යටතේ, ඉතිරිව පවතින ස්වාභාවික වනාන්තර මගින් ජෛව-ශක්ති, දැව හා දැව නොවන වනාන්තර නිශ්පාදන සඳහා පවතින ඉල්ලුම සපුරා ලීමට අවශ්‍ය විධිවිධාන පනවනු ලැබේ.තවද මෙම ප්‍රතිපත්තිය මගින් තිරසාර වනාන්තර කළමණාකරණය යථාර්තයක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර රාජ්‍ය අංශය, ගොවීන්, රාජ්‍ය නොවන සංවිධන සුළු හා සධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයින් හට අවශ්‍ය අමුද්‍රව්‍ය හා ජෛව-ශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ ලබා දෙන අතරතුර වනාන්තර සංරක්ෂණය සඳහා ප්‍රජා සංවිධන වලටද මඟ පෙන්වීම සිදු කරයි.

 
දිවයිනේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ වල පවතින විරල වනාන්තර ප්‍රදේශ පෙන්වන නාසා චන්ද්‍රිකා දර්ශන

බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාව තුල නීති විරෝධි ඇතුළුවීම් ප්‍රධාන ගැටළුවක් නොවේ. වනාන්තර ඉවත් කිරීම නිසා සාමාන්‍යයෙන් දර එකතු කරන කාන්තාවන්ට ඒ සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය කරමින්, ඔවුන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්මටද බලපාන අයුරින් සාපේක්ෂව දිගු දුර ගමන් කිරීමට සිදුව ඇත්තේ වන විනාශය තුලින් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල එදිනෙදා ජීවත්වන ජනතාවගේ ජීවිත පීඩාවට පත් වන නිසාවෙනි.ශ්‍රී ලංකාවේ වනාන්තර සම්පත්වල හායනය ,සෘජුවම වැඩිවෙමින් පවතින දැව හා දර ඉල්ලුම සමග සම්බන්ධ වේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වනාන්තරවල තිරසාර පැවැත්ම , ජනගහන පීඩනය හා ආර්ථික වර්ධන වේගය මත කේන්ද්‍රීය වේ. වැඩිවන ජනගහනය හේතුවෙන් ඉන්ධන සදහා පමණක් නොව ඔවුන්ගේ නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වන දැව අමුද්‍රව්‍ය සඳහාද ඉහළ ඉල්ලුමක් ගොඩ නැගෙනු ඇත. දැව ටොන් එකක් සඳහා ඉල්ලුම වර්ෂ 1995 සිට 2020 වන විට මිලියන 2 සිට 2.7 දක්වා ඇස්තමේන්තු කර ඇති අතර එම කාලය තුල ජෛව ස්කන්ධ බල ශක්ති අවශ්‍යතාව ටොන් එකක් සඳහා මිලියන 9 සිට 9.7 දක්වා වැඩිවනු ඇත. එමගින් සංරක්ෂණ ඉලක්ක සහ නිශ්පාදන ඉල්ලීම් සදහා බලපැම් ගොඩ නැංවෙන පරිදි ගැටුම් ඇති විය හැක. ශ්‍රී ලංකාවේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් මධ්‍යම රජය මගින් ආරක්ෂා කිරීම ප්‍රායෝගික වන අතර, බොහෝ විට රක්ෂිත ප්‍රදේශ තුල ඇති සෑම වර්ග කිලෝ මීටරයක්ම වඩා ඵලදායී සහ විශ්වාසී ලෙස පාලනය කිරීමට රජයට නොහැකි වනු ඇත. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශ වල ගම්වැසියන් විසින් බල ශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා බරපතල අයුරින් නීති විරෝධි ලෙස වනාන්කර කපා දමා ඇති නමුත් 21 වන සියවස ආරම්භයේදී මෙම පාරිසරික ගැටළුවෙන් පීඩාවට ලක්වූ බොහෝ රටවල් හා සසඳන කල සමස්ථ වශයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර තුල සිදුවන නීති විරෝධි කටයුතු ප්‍රමාණය සාපේක්ෂව අඩු මට්ටමක පවතී.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

අඩවියෙන් බැහැර පිටු

සංස්කරණය