ශ්‍රද්ධා (රූපවාහිනී කතාමාලාව)

ශ්‍රද්ධා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය උජ්ජයින් කේන්ද්‍ර කරගත් ජයිස්වාල් පවුල පිළිබඳ කියැවෙන කථාවකි.[1]

ශ්‍රද්ධා
"ශ්‍රද්ධා"හි ප්‍රවර්ධන තේමා පාඨය.
රඟපෑමනේහා ජන්පණ්ඩිත්
පහළ බලන්න
ඇරඹුම් තේමාව"ශ්‍රද්ධා" - අල්කා යාග්නික් විසිනි.
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාංග ගණන80
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)මනිෂ් ගෝස්වාමි
ධාවන කාලයආසන්න. මිනිත්තු 24
නිෂ්පාදන සමාගමසිද්ධාන්ත් සිනෙවිෂන්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය576i (SDTV)
මුල් ධාවනය28 සැප්තැම්බර් 2009 – 15 ජනවාරි 2010

කථාපුවත සංස්කරණය

ශ්‍රද්ධා යනු උජ්ජයින් ප්‍රදේශයේ සිය පවුලේ සාමාජිකයන් සමග දිවි ගෙවන ශ්‍රද්ධා (නේහා ජන්පණ්ඩිත්) නම් යුවතියගේ කථා පුවතයි. ඇය සිය දෙමාපියන්, චාචා-චාචි, වැඩිමහල් සොහොයුරන් දෙදෙනා සහ නෑනාවරුන් දෙපළ සමග දිවි ගෙවයි. ඇයට පූනේහි අධ්‍යාපනය ලබන තවත් සොහොයුරකු ද වේ. ශ්‍රද්ධාගේ දෙමාපියන් විසින් ඇයව අමිත් (ගෞරව් වදේහ්රා) නම් අයකුට විවාහ කරදීමට සූදානම් කොට ඇත. ඔවුන් දෙදෙනා ද එකිනෙකාට ප්‍රිය කරති. ශ්‍රද්ධාගේ සැබෑ අපේක්ෂාව වන්නේ චාර් ධාම්ස් වෙත යාමට ඇගේ දෙමාපියන්ට වූ සිහිනය ඉටුකර දී, සිය පවුලේ මුතුන් මිත්තන් විසින් සිදුකළ චාරිත්‍රය ඉදිරියට ගෙන යාමයි. මේ කාලයේ ශ්‍රද්ධාගේ තෙවන සොහොයුරා ද නිවස වෙත පැමිණෙයි.‍ ශ්‍රද්ධාට සෑමදෙනාම සතුටින් සිටිනු පෙනුණ ද, සැබැවින්ම ඇගේ නෑනාවරුන් දෙපළ සහ මැදි සොයුරා ඔවුනට එරෙහිව කුමන්ත්‍රණ කරන බව ඇය නොදනී. ඔවුනට අවශ්‍ය වූයේ එම වන්දනා ගමන වළක්වා එහි මුදල ඉතිරි කරගැනීමටයි.

මේ අතර, ඇගේ චාචා-චාචි අශෝක් (තෙවන සොයුරා, නිරූපණය කරන්නේ සිද්ධාර්ත් සේති විසිනි) හට මුදල් ලබාසෙන්නේ ඔහුගේම ව්‍යාපාරයක් ඇරඹීමට සිතායි. ඔවුන් ඔහුට මුදල් ලබා දී එය යළි සොරකම් කරන්නේ එම මුදල යළි ඉතිරි කරගන්නටයි. අවසානයේ ශ්‍රද්‍ධාගේ දෙමාපියන් ඔහුට සිය වන්දනා ගමන යාමට ඉතිරි කරගත් මුදල ලබාදෙයි. මේ නිසා ශ්‍රද්ධා කලකිරීමට පත්වන නමුත්, ඇයට එම අපේක්ෂාව ඉටු කිරීමට අවැසි ය. මේ නිසා ඇය අමිත්ගෙන් ඉල්ලා සිටින්නේ සිය විවාහ මංගල්‍යය සරලව පවත්වන ලෙසයි. අමිත් සහ ඔහුගේ දෙමාපියන් එයට එකඟවන අතර, එමගින් ඇයට වන්දනා ගමන වෙනුවෙන් මුදල් ඉතිරි කරගත හැකි වේ. ශ්‍රද්ධාගේ විවාහයට වෙන් කළ මුදල් එවිට අශෝක්ට ලබාදිය හැක. නමුත් වන්දනා ගමනට වෙන්කළ මුදල් හදිසියේම අතුරුදන් වේ. සැබැවින්ම මෙය ඇගේ නෑනාවරුන් දෙපළ සහ මැදි සොයුරා විසින් සිදුකළ කුමන්ත්‍රණයකි. ශ්‍රද්ධා ව්‍යාපාරයට වෙන්කළ මුදල් ලබාදෙන මෙන් අශෝක්ගෙන් ඉල්ලා සිටිය ද, අශෝක් නිවසින් පැන යයි.

මේ නිසා වගකීම් සහගත දියණියක ලෙස තම යුතුකම ඉටු කිරීමට දැඩි තීරණයක් ගන්නා ශ්‍රද්ධා විවාහය මඳකට කල්දමන මෙන් අමිත්ගෙන් ඉල්ලා සිටියි. අමිත්ව රිදවීම පිළිබඳ ශ්‍රද්ධාට වරදකාරී හැඟීමක් දැනේ. සිය නෑනාවරුන් සහ මැදි සොයුරා‍ගේ අඩන්තේට්ටම් මධ්‍යයේ සිය දිවිය ගෙනයාමට ඇය තීරණය කරයි. මඳ කලක් යත්ම, ඇයට හෙළිව්නනේ ඇගේ චාචා-චාචි ද මසුරු තැනැත්තියක බවත්, ඇයට අවශ්‍ය සිය නිවස පැහැර ගැනීමට බවත් ය. ඇයට සිය ගැටලු පැවසිය හැකි වූයේ ඇගේ දෙමාපියන්ට සහ වැඩිමහල්ම සොයුරා වන සන්තෝෂ් (කාෂිෆ් ඛාන්) හට පමණකි. නමුත් දෛවයේ සරදමකට මෙන් ඇයට ඡායාරූප ශිල්පියකු යැයි පවසන ස්වයම් (බරුන් සොබ්ති) මුණගැසේ. නමුත් ඔහුගේ සැබෑ අරමුණ වන්නේ ඇගේ නිවස අත්පත් කරගෙන එහි වෙළඳ සංකීර්ණයක් තැනීමටයි. ඔහු ඇගේ චාචා-චාචි‍ගේ සගයකු වන සත්‍ය සර්කාර්ගේ සොහොයුරායි. මුදල් ලබාගැනීම පිණිස ශ්‍රද්ධා ඔහු සමග සේවය කිරීමට එකඟ වෙයි. ඔවුන් හොඳ මිතුරන් බවට පත්වුවත්, ඇය සත්‍යය පිළිබඳ නොදනියි. ඇය මුදල් ලබාගැනීමෙන් අනතුරුව සතයය හෙළි වේ. ඇය ඔහු සමග සම්බන්ධයක් ඇතැයි චෝදනාවට ලක්වේ. ඇගේ පවුල ඇයව පලවා හරින අතර, සන්තෝෂ් තුළ ඇය කෙරෙහි පැවති විශ්වාසය ද නැතව යයි. ශ්‍රද්ධ වික්ෂිප්තයට පත්වේ. මෙම සිදුවීම් හේතුවෙන් ඇගේ දෙමාපියන් බලවත් කම්පාවට පත්වන අතර, ඔවුහු නිවස හැර යති. දේවාලයේ දී ශ්‍රද්ධා මුණගැසෙන ඔවුහු ඇයව විශ්වාස කරති. ඔවුහු ශ්‍රද්ධා සමග ඇගේ මිතුරියක වූ ප්‍රතිමාගේ නිවසේ නවාතැන් ගනිති.

දැන් කථාව ගලායන්නේ ප්‍රතිමාගේ දිවිය සහ ඇගේ ගැටලු මධ්‍යයේ ය. ප්‍රතිමාට ගැබ් ගත නොහැකි වන්නේ, ඇගේ සැමියා ඇයට භාර්යාවකට මෙන් නොසලකන නිසායි. ඔවුන් තවත් විස්මයට පත්වන්නේ ඇය සත්‍යා සර්කාර්ගේ භාර්යාව බව ඇසීමෙනි. මේ නිසා ශ්‍රද්ධා නවාතැන් ගෙන සිටියේ ස්වයම්ගේ නිවසේ ය! ප්‍රතිමාගේ ශෝකාලාපය අසා සිටින ශ්‍රද්ධා ඇයට උපකාර කරන්නේ හැඟීම්බර අයුරිනි. මුදල් වෙනුවෙන් ශ්‍රද්ධාගේ නෑනාවරියන්, මැදි සොහොයුරා , චාචා-චාචි, අශෝක් සහ ඔහුගේ පෙම්වතිය එකතු වෙති. මේ වනවිට සන්තෝෂ් සියලු සත්‍ය දැනසිටින අතර, ඔහු ඔවුනට බැණ වදියි. සන්තෝෂ්ට හට වරදකාරී හැඟීමක් ඇතිවන අතර, ඔහු දෙමාපියන් සොය යයි. සෙස්සන් ඔවුන්ව සොයා යන්නේ දේපළ ඔප්පුවකට අත්සන් ලබාගැනීමටයි. මේ අතර ප්‍රතිමා සත්‍යා සහ ස්වයම් ශ්‍රද්ධාව සොයන බව දැනගනියි. ඔවුනට ශ්‍රද්ධාගේ අත්සන අවශ්‍යව තිබුණේ ඇය එම ඉඩමේ තනි හිමිකාරිණිය හෙයිනි. නමුත් ආරක්ෂාව පතා ප්‍රතිමා ශ්‍රද්ධාව වෙනත් ස්ථානයක් වෙත පිටත් කර හරියි.

මේ අතර ස්වයම් තීරණය කරන්නේ ශ්‍රද්ධාව විවාහ කොගෙන ඇගේ අත්සන කැමැත්තෙන් ලබා ගැනීමටයි. නමුත් මේ පිළිබඳ දැනගන්නා ප්‍රතිමා ශ්‍රද්ධාගේ පවුලට අනතුරු හඟවයි. මේ අතර ප්‍රතිමා තමන්ට විරුද්ධව ක්‍රියාකරන බව දැනගන්නා සත්‍යා ඇයව නිවසෙන් පිටුවහල් කරයි. නමුත් පසුව ඇයව යළි ගෙන්වා ගනියි. අනෙක් අතින් ශ්‍රද්ධාව සොයාගන්නා ස්වයම් ඇගෙන් සමාව ඉල්ලා සිටියි. ඇ‍ගේ දෙමාපියන් එයට එකඟ වුව ද, ඔහුට සමාව දීම ශ්‍රද්ධා ප්‍රතික්ෂේප කරයි. අනතුරුව ස්වයම් අන්ධව සිටි ශ්‍රද්ධාගේ මවගේ ඇස් සනීප කරගැනීමට උපකාර කරයි. මේ නිසා ශ්‍රද්ධා ඔහුට සමා දෙයි. පසුව ස්වයම් ශ්‍රද්ධාට විවාහ යෝජනාවක් ගෙන එයි. නමුත් ස්වයම් හට කෙමෙන් වරදකාරී හැඟීමක් ඇතිවන්නේ තමන් ශ්‍රද්ධාට පෙම් කරන බව වටහා ගැනීමෙනි. මේ නිසා සත්‍යය හෙළි කරන ඔහු නිවසෙන් පිටව යයි. ශ්‍රද්ධා සිත් තැවුලට පත්ව සිටියි. මේ අතර මනෝජ් (මැදි සොහොයුරා; නිරූපණය කරන්නේ සිද්ධාර්ත් ධවාන් විසිනි) ශ්‍රද්ධා‍ගේ දෙමාපියන්ව සොයාගන්නා අතර, ඇගෙන් සමාව ඉල්ලා නිවසට කැඳවාගෙන එයි. ශ්‍රද්ධා රාජා (විනීත් කුමාර්) සමග විවාහ වීමට එකඟ වේ. නමුත් සැබැවින්ම ඔහු අඥාන පුද්ගලයෙකි. සන්තෝෂ්ට ‍මෙයට එකඟ නොවූවත්, ඔහුගේ භාර්යාව වන නම්රාතා (නිරූපණය කරන්නේ කරුණා පාණ්ඩේ විසිනි) පවසන්නේ අනෙක් අතට ඇයට ස්වයම්ව විවාහ කරදුනහොත් ඇය ජීවිත කාලයම පසුතැවෙනු ඇති බවයි. මේ බව දැනගන්නා ස්වම් ශ්‍රද්ධා වෙත දිව එන්නේ ශ්‍රද්ධාගේ දිවිය ආරක්ෂා කරගැනීමටයි. රාජාව සිරගත කෙරෙයි. ශ්‍රද්ධා ස්වයම්හට සමාව ලබා දෙයි. පවුල පසුතැවිලි වන අතර, අවසානයේ ශ්‍රද්ධා සහ ස්වයම් ප්‍රීතියෙන් යුතුව විවාහ වෙති. එපමණක් නොව ප්‍රතිමාගේ දිවියට ද සතුට ළඟාවන්නේ තමන්ට දරුවකු පිළිසිඳගත නොහැකි වූයේ තමන්ගේ වරදක් නිසා නොව සිය සැමියා බෙලහීන අයකු නිසා බැව් දැනගැනීමත් සමගයි. ඇයව සිය භාර්යාව ලෙස පිළිගන්නා සත්‍යා ඇගෙන් සමාව ඉල්ලා සිටියි.

චරිත නිරූපණය සංස්කරණය

පිළිගැනීම සංස්කරණය

ශ්‍රද්ධා විකාශය ආරම්භ වූයේ 2009 සැප්තැම්බර් 28, එනම් දුස්සේහ්රා දිනයේ ය. එය ස්ටාර් ප්ලස් නාළිකාවේ දිනපතා සෝප් ඔපෙරාවක් ලෙසින් විකාශය විය. සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 7 කාල අවකාශය එයට වෙන් විය.[2] මෙම කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන බරුන් සොබ්ති[3] කතාමාලාවට පිවිසියේ එය ඇරඹී මාස දෙකක් ඇතුළත ය.[4]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Neha Janpandit's Shraddha". StarPlus. 2009-10-29. සම්ප්‍රවේශය 2010-10-25.
  2. "Shraddha on Star plus Mon to Fri 7 pm". TELLYONE. 2009-09-27. සම්ප්‍රවේශය 2010-10-25.
  3. "360 degree turn in life of Shraddha". FilmyFriday. 2009-11-21. සම්ප්‍රවේශය 2010-10-25.
  4. "Shraddha to launch on 28th September." TELLYCHAKKAR.com. 2009-07-14. සම්ප්‍රවේශය 2010-10-25.