වීදි ආහාර
වීදි ආහාර යනු වෙළඳසැලක හෝ පොළක වැනි ස්ථානයක, වීථියක හෝ වෙනත් පොදු ස්ථානයක සංචාරක වෙළෙන්දෙකු හෝ විකුණුම්කරුවෙකු විසින් විකුණනු ලබන, එම අවස්ථාවේදී ම ආහාරයට ගැනීම වෙනුවෙන් සැකසූ කෑම හෝ බීම වර්ග වේ. බොහෝවිට ඒවා ජංගම කුටියක, කරත්තයක හෝ ට්‍රක් රථයක සිට විකුණනු ලබන අතර ක්ෂණික පරිභෝජනය සඳහා සකස් කෙරේ. ඇතැම් වීදි ආහාර පළාත්වලට ආවේණික වන නමුත් බොහෝ ආහාර ඒවායේ උත්පත්තිය සිදු වූ කලාපයෙන් ඔබ්බට විහිදී පවතී. බොහෝ වීදි ආහාර එවේලෙහි අනුභවය පිණිස සකසන ලද ආහාර සහ ගෙන යාම අඳහා සකසන ලද ආහාර වශයෙන් වර්ග කර ඇති අතර, අවන්හල් ආහාර වේලකට වඩා සාමාන්‍යයෙන් ලාභදායී වේ. 2007 ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යයනයකට අනුව බිලියන 2.5ක ජනතාවක් දිනපතා වීදි ආහාර අනුභව කරති. අද වන විට පහසුව පිණිස, සමාජීය පසුබිමක රසවත් ආහාර සාධාරණ මිලකට ලබා ගැනීම පිණිස, විවිධ සංස්කෘතීන්ට අයත් ආහාරවල රස බැලීම පිණිස හෝ කාංසාව මඟහරවා ගැනීම පිණිස යනාදී හේතූන් ගණනාවක් නිසා මිනිසුන් වීදි ආහාර මිලදී ගනු ලබති.
වීදි ආහාරවල ඉතිහාසය
බැදපු කුඩා මාළු පුරාණ ග්‍රීසියේ වීදි ආහාරයක් ලෙස සැලකිණි; කෙසේ වුවත් තියෝෆ්‍රාස්ටස්(Theophrastus) නම් ග්‍රීක ජාතික ශාක විද්‍යාඥයා වීදි ආහාර භාවිතාව පිළිබඳ දැක්වූයේ අඩු සැලකිල්ලකි. පොම්පෙයි නගරයෙහි සිදු කළ කැණීම් අතරතුර වීදි ආහාර වෙළෙන්දන් විශාල පිරිසකගේ සාක්ෂි සොයා ගනු ලැබිණි. පුරාණ රෝමයේ කුලී නිවාසවල උදුන් හෝ ලිප් නොමැති ව විසූ දුප්පත් නාගරික වැසියන් විසින් වීදි ආහාර පරිභෝජනය කෙරිණි. මෙහිදී කඩල සුප්, පාන් සහ ධාන්‍ය තලප මොවුන්ගේ පොදු ආහාරය විය. පුරාණ චීනයේ වීදි ආහාර සාමාන්‍යයෙන් දුප්පතුන් වෙනුවෙන් සපයනු ලැබුවද, ධනවත් පදිංචිකරුවන් සේවකයින් යවා වීදි ආහාර ගෙන්වා ගෙන තම නිවෙස්වලදී ආහාරයට ගැනීමට කටයුතු කර ඇත. 14 වන ශතවර්ෂයේ අගභාගයේ දී ෆ්ලොරෙන්ටයින් නම් සංචාරකයා වාර්තා කළේ කයිරෝ නගරයේ මිනිසුන් කෙටි විනෝද ගමන් සඳහා භාවිතා කෙරෙන සත්ත්ව සමින් නිමැවූ ඇතිරිලි වීදිවල අතුරා වාඩි වී හිඳ වීදි වෙළඳුන්ගෙන් මිලදීගත් පුළුස්සන ලද බැටළු මස්, බත් සහ තෙලෙන් බදින ලද කෑම වර්ග ආහාරයට ගත් බවයි. පුනරුද සමයේ තුර්කියේ බොහෝ හරස් මාර්ගවල තුඩක ගසා රෝස්ට් කරන ලද කුකුළු මස් සහ බැටළු මස් ඇතුළු ව "සුවඳවත් උණුසුම් මස්" විකුණන වෙළෙන්දෝ වූහ. 1502දී ඔටෝමෝන් තුර්කිය වීදි ආහාර නීතිගත කිරීම සහ ප්‍රමිතිකරණය කිරීම සිදු කළ පළමු රට බවට පත් විය. ඇස්ටෙක් වෙළඳාම් ප්‍රදේශයන් හි ඇටොලි ආදී බීම වර්ග (අඹරාගත් බඩඉරිඟු පිටි ගුලියකින් සාදන ලද කැඳ වර්ගයක්) සහ ටැමල් වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් (කළුකුම්, හාවන්, ගෙම්බන් යන සත්ත්වයින්ගේ මාංශ සහ මාළු යනා දී ආහාරවල පටන් පලතුරු, බිත්තර, බඩඉරිඟු දක්වා වූ අමුද්‍රව්‍ය රාශියකින් සමන්විත වූ බීම වර්ගයක්), මෙන් ම කෘමීන් සහ ඉස්ටු වර්ග අලෙවි කළ වෙළෙන්දෝ බොහොමයක් සිටිය හ. ස්පාඤ්ඤ යටත්විජිතකරණය මඟින් තිරිඟු, උක්, සහ පශු ආහාර වැනි යුරෝපීය ආහාර වර්ග තොග වශයෙන් පේරු වෙත රැගෙන ආ නමුත් සාමාන්‍ය ජනයා අතරින් බොහොමයක් දෙනා තම සාම්ප්‍රදායික ආහාර අනුභව කළහ. ඔවුන් තම ආහාර නිෂ්පාදනයේ අන්තය කරා ළඟා වූ විට පමණක් ආනයන පිළිගත් අතර ඊට නිදසුනක් වශයෙන් වෙළෙන්දන් විසින් අලෙවි කරන ලද ග්‍රිල් කළ හරක් මස් දැක්විය හැකි ය. ලීමා හි 19 වන සියවසේ විසූ වීදි වෙළෙන්දන් කිහිප දෙනෙකු වූ "ඉරැස්මෝ, නෙග්‍රෝ සැන්ගො වෙළෙන්දා සහ නා ඇගුඩිටා ආදී පුද්ගලයින් අදටත් සිහිපත් කෙරෙති. ඇමරිකානු යටත් විජිත සමයේ දී වීදි වෙළෙන්දෝ බෙල්ලන්, බැදපු බඩඉරිඟු, පලතුරු සහ රසකැවිලි අඩු මිලට සියලු පාන්තිකයන්ට අලෙවි කළහ. බෙල්ලන්, වාශේෂයෙන් ම ලාභදායී සහ ජනප්‍රිය වීදි ආහාරයක් වූ අතර, 1910 පමණ වන විට අධික ලෙස මසුන් ඇල්ලීම සහ පරිසර දූෂණය හේතුවෙන් ඒවායේ මිල ඉහළ නැංවිණි. ඒත් සමඟ ම නිව්යෝර්ක් නගරයේ වෙළෙන්දන් හට විශාල විරෝධයක් එල්ල විය. පෙර යොදන ලද සීමාවන් හේතුවෙන් ඔවුන් ව්‍යාපාර කටයුතුවල නිරත වූ කාලය සීමා වීමෙන් අනතුරු ව, 1707 වන විට නිව්යෝර්ක් නගරය වීදි ආහාර වෙළඳුන් සඳහා සම්පූර්ණයෙන් තහනම් විය. අප්‍රිකානු සම්භවයක් ඇති බොහෝ කාන්තාවන් 18 සහ 19 සියවස්වලදී සැවානා හි නිෂ්පාදනය කළ පලතුරු, කේක් සහ ධාන්‍ය වර්ග ආදියෙහි සිට නිව් ඕර්ලියන්ස් හි කෝපි, බිස්කට්, සීනි තැවරූ රස කැවිලි සහ වෙනත් රස කැවිලි වර්ග දක්වා වූ නිෂ්පාදන ගණනාවක් වීදි ආහාර වශයෙන් අලෙවි කළ හ. කොළොම්බියානු ප්‍රදර්ශනයන් හි පැවැත්වුණු බොහෝ වීදි ආහාර ප්‍රදර්ශනවලින් එකක් ලෙස ක්‍රැකර් ජැක්(Cracker Jack) සන්නාමයෙන් ඉදිරිපත් වූ වීදි ආහාර ප්‍රදර්ශනය ආරම්භ විය. දහනව වන ශතවර්ෂයේ දී ට්‍රාන්සල්වේනියාවේ වීදි ආහාර වෙළෙන්දෝ ඉඟුරු පාන් විස්කෝතු, ඉරිඟු මිශ්‍ර කළ ක්‍රීම් මෙන් ම ලුණු දමා වියලූ ඌරු මස් සහ උණුසුම් ගල් අඟුරු බහාලූ සෙරමික් බඳුන් මත බදින ලද මස් වර්ග අලෙවි කළ හ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්(French Fries) ලෙස හැඳින්වෙන බැදපු අර්තාපල් තීරු බොහෝවිට 1840 වර්ෂවල පැරීසියේ වීදි ආහාරයක් ලෙස බිහි වී ඇත. වික්ටෝරියා ලන්ඩන් නගරයෙහි වීදි ආහාර අතරට මස් තීරු, මුං ඇට සුප්, බටර්වල දැමූ මුං කරල්, කුඩා බෙල්ලන්, ඉස්සන් සහ ජෙලි ආඳන් ඇතුළත් විය. චීනයේ වීදි ආහාර සංස්කෘතිය ප්‍රථම වරට ටැන්ග් රාජවංශයේ දී වර්ධනය වූ අතර එය සහස්‍ර ගණනාවක් පුරා විකාශනය විය. චීන ආහාර පිසීමේදී වීදි ආහාර අඛණ්ඩව විශාල කාර්යභාරයක් ඉටු කරන අතර කලාපීය වීදි ආහාර සූපශාස්ත්‍ර සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් ජනනය කරයි. චීන ඩයස්පෝරාව හේතුවෙන්, චීන වීදි ආහාර ආසියාව පුරා අනෙකුත් ආහාර සඳහා විශාල බලපෑමක් එල්ල කර ඇති අතර වීදි ආහාර සංස්කෘතිය පිළිබඳ සංකල්පය වෙනත් රටවලට හඳුන්වා දී ඇත. අග්නිදිග ආසියාවේ වීදි ආහාර සංස්කෘතිය 19 වන සියවස අගභාගයේ දී චීනයෙන් ගෙන්වන ලද කම්කරුවන් විසින් ස්ථාපනය කරන ලදී. මීට වසර 100කට පමණ පෙර චීන සංක්‍රමණිකයන් විසින් ජපානයට ගෙන එන ලද රාමෙන්(Ramen), කම්කරුවන් සහ සිසුන් සඳහා වූ වීදි ආහාරයක් ලෙස බිහි විය. කෙසේ වුවත් එය ඉතා ඉක්මනින් "ජාතික ආහාරයක්" බවට පත් වූ අතර කලාපීය වෙනස්කම් පවා අත්පත් කර ගත්තේ ය. තායිලන්තයේ වීදි ආහාර බහුලව අලෙවි කරනු ලැබුවේ තායිලන්තයේ විසූ ජනවාර්ගික චීන ජනතාව විසිනි. නමුත්, 1960 දශකයේ මුල් භාගය වන තුරු ම එය ස්වදේශික තායි ජනතාව අතර ජනප්‍රිය නොවී ය. සීඝ්‍ර නාගරික ජනගහන වර්ධනය හේතුවෙන් 1970 දශකය වන විට එය "විස්ථාපනය වූ ගෘහස්ත ඉවුම් පිහුම් ක්‍රමය" බවට පත්විය. රටේ සංචාරක කර්මාන්තයේ දියුණුව ද තායි වීදි ආහාරවල ජනප්‍රියතාවට දායක වී ඇත. ඉන්දුනීසියාවේ - විශේෂයෙන් ජාවා හි සංචාරක ආහාර සහ බීම වෙළෙන්දන්ට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒවා 9 වන සියවසේ සිට විහාරස්ථානවල පේකඩ නෙළීම්වල මෙන්ම 14 වන සියවසේ සෙල්ලිපියේ සඳහන් කර ඇත. 19 වන සියවසේ පමණ යටත් විජිත ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් කාලය තුළ දී සතේ සහ දාවෙත්(ඉන්දුනීසියානු ආහාර වර්ගයක්) ඇතුළු ව වීදි ආහාර කිහිපයක් සංවර්ධනය කර ලේඛනගත කරන ලදී. ආහාර සේවා අංශවල බොහෝ අවස්ථා විවෘත වීමට හේතු වූ දැවැන්ත නාගරීකරණය ඉන්දුනීසියාවේ සවිමත් වීදි ආහාර සංස්කෘතියේ වර්තමාන ප්‍රගුණනයට දායක වී ඇත. රටේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නාගරික සමූහකරණයේ, විශේෂයෙන් මහා ජකර්තා, බන්දුං, සුර්බායා වැනි නගරවල මෙෙලස සිදුවිය.
ලොව වටා වීදි ආහාරවල ව්‍යාප්තිය
වීදි ආහාර විකිණම ලොව පුරා දක්නට ලැබෙන නමුත් කලාප සහ සංස්කෘතීන් අතර බොහෝ සෙයින් වෙනස් වේ. නිදසුනක් වශයෙන් ඩෝර්ලීන් කින්ඩර්ස්ලි වියට්නාමයේ වීදි ආහාර විස්තර කරනු ලබන්නේ "ප්‍රදේශයේ බොහෝ ආහාරපානවලට වඩා නැවුම් සහ සැහැල්ලු" සහ "ඖෂධීය පැළෑටි, මිරිස් ගම්මිරිස් සහ දෙහි මත දැඩි ලෙස ඇද ගන්නා" ආහාර වශයෙනි.එමෙන් ම තායිලන්තයේ වීදි ආහාර "ඉස්සන් තලප සහ මාළු සෝස් සමඟ සැර" සහ "කඨෝර" රසයක් පවතී. නිව්යෝර්ක් නගරයේ සංකේතාත්මක වීදි ආහාරය හොට් ඩෝග් (Hot Dog) වන අතර, කෙසේ වෙතත් "මැදපෙරදිග රටවල සැර රසැති ෆලාෆිල් හෝ ජැමෙයිකානු ජර්ක් චිකන්(jerk chicken) සිට බෙල්ජියම් වොෆල් (waffle) දක්වා සියල්ල ඇතුළත් වේ. ෆලාෆිල්, මැද පෙරදිග රටවල ක්ෂණික ආහාරයක් ලෙස ඉතා ජනප්‍රිය වේ. ඊශ්‍රායලය, ඊජිප්තුව සහ සිරියාව වැනි රටවල වෙළෙන්දන් විසින් මංමාවත්වල එවැනි ආහාර විකිණීම වඩාත් ජනප්‍රිය ය. ෆලාෆිල් යනු ඊශ්‍රායලයේ ජාතික ආහාරයයි. ෆලාෆිල් යනු කඩල හෝ ෆාවා නමැති බෝංචි වර්ගයකින් සහ කුළුබඩුවලින් සාදන ලද, ගැඹුරු තෙලෙන් බැදගත් බෝලයක් හෝ පැටිස් හැඩැති ආහාරයකි. එය නිර්මාංශකයින් අතර බෙහෙවින් ප්‍රිය ය. ජැමෙයිකානු ජර්ක් චිකන් යනු කැරිබියානු දූපත්වල දී පිළිගැන්වෙන සාම්ප්‍රදායික ආහාරයකි. මූලික දියර මිශ්‍රණය සඳහා ස්කොච් පොනට් ගම්මිරිස්, රසකාරක බෙරි වැනි ස්වභාවික අමුද්‍රව්‍ය මෙන් ම ඇතැම්විට ලෝරල් ගස් හි ලී කොටස ද අවශ්‍ය වේ. ඉන්දියානු වීදි ආහාර ඉන්දියානු ආහාර මෙන් ම විවිධාකාර වේ. සෑම ස්ථානයක ම ඊට ම ආවේණික වූ විශේෂතා පවතී. වඩා පාව්, මිසාල් පාව්, චෝලෙ බටූර්, පරාටා, බෙල් පූරි, සෙව් පූරි, ගොල් ගප්පා, ආලූ ටික්කි, කෙබාබ්, තන්දූරි චිකන්, සමෝසා, කචෝරි, රෝල්ස්, ඉඩ්ලි, පෝහේ, පාන් ඔම්ලට්, බිත්තර බුර්ජි, පාව් බාජි, පුලාව්, කච්චි දබේලි, පකෝරා, භූතා, බාර්ෆ් ගෝලා, සීසිල් කෝපි, ලස්සි, බදම් ෂේක්, කුල්ෆි සහ ෆලූඩා ආදිය වඩාත් ජනප්‍රිය වීදි ආහාර අතරින් සමහරකි. ඉන්දියාවේ හින්දි භාෂාව කතා කරන ප්‍රදේශවල වීදි ආහාර ජනප්‍රිය වන්නේ නුක්කඩ්වාලා ආහාර (“කොනේ” ආහාර) ලෙසය. ඇතැම් වෙළෙන්දන් ජනප්‍රිය කෑම වර්ග වට්ටෝරු වීථියේ විකිණීම විධිමත් ව සිදු කරන අතර අවන්හල් කිහිපයක් ඉන්දියාවේ වීදි ආහාර මඟින් අභිප්‍රේරණයක් ලබා ගෙන ඇත. හවායි හි දේශීය වීදි ආහාර සම්ප්‍රදාය වන "දිවා ආහාර පිඟාන" (සහල්, මැකරෝනි සලාද සහ මස් කැබැල්ලක්), වතු කම්කරුවන් ලෙස හවායි වෙත ගෙන එන ලද ජපන් ජාතිකයින්ගේ බෙන්ටෝ (කෑම පෙට්ටිය) වෙතින් ආභාෂය ලැබී ය.ඩෙන්මාර්කයේ සොසේජස් කරත්ත මඟින් පදිකයන් හට සොසේජස් සහ හොට් ඩෝග් මිලදී ගැනීමට අවස්ථාව ලැබී ඇත. සෙමෙන් පිසින ලද ෆාවා බෝංචි ආහාරය, ඊජිප්තු වීථිවල බහුල ව අලෙවි වන ආහාරයක් ලෙස දැක්වේ. ටාකෝස් අල් පාස්ටර්(Tacos al pastor), හුවාරාච්(Huaraches) සහ බඩ ඉරිඟු පදනම් කරගත් අනෙකුත් ආහාර ආදී විවිධාකාරයේ ටාකෝස් වර්ග ගණනාවක් ඇතුළත් වූ මෙක්සිකානු වීදි ආහාර "ඇන්ටොජිටෝස්" ("කුඩා පරිමාණයේ ආශාව" ලෙස පරිවර්තනය වන) ලෙස හැඳින්වේ.