විශේෂයෙන්ම ශ්‍රමය ලබාගැනීම පිණිස පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු සිය දේපලක් ලෙස තබාගැනීම වහල් භාවය හෝ දාස භාවය ලෙස හැඳින්වේ.[1] මෙසේ වහල් භාවයට පත් කෙරෙන පුද්ගලයා වහලෙකු හෝ දාසයෙකු යනුවෙන් හැඳින්වේ. වහල් හිමිකරුවා විසින් වහලා ජීවත්වන ස්ථානය සහ වැඩ කරන ස්ථානය තීරණය කෙරෙන අතර, වහලා ලවා බර වැඩ ඇතුලු නොයෙක් කාර්යයන් කරවා ගැනීම සාමාන්‍යයෙන් සිදුවේ.

ගෝඩන් නමැති එක්සත් ජනපදයේ ලුයීසියානා ප්‍රාන්තයෙහි වහලෙක්, 1863 වර්ෂයේදී. ඔහුගේ පිටෙහි ඇති කැළැල් වහල්හිමියා විසින් කසයෙන් තැලීමෙහි ප්‍රතිඵලයකි.

නීතිය කඩ කෙරූවන්, ණයක් නැවත ගෙවීමට නොහැකි වූවන් සහ යුද්ධයකින් පරාජය වූවන් හට දඬුවම් කිරීමක් ලෙසද, අඩු මිලට හෝ නොමිලේ ශ්‍රමය සූරා ගැනීම පිණිස ද මිනිසුන් වහල් භාවයට පත් කෙරුනු අවස්ථාවන් ඉතිහාසය පුරාවටම දක්නට ලැබේ. මීට අමතරව ජනවර්ගය හෝ ලිංගිකත්වය මත පදනම්වද මිනිසුන් වහල් භාවයට පත් කිරීම සිදු විය. වහලුන් ඇතැම් විට ජීවිතාන්තය දක්වාම වහල් මෙහෙයෙහි යෙදෙන අතර, ඇතැම් විටක යම් නිශ්චිත කාලයකට පසු නිදහස ලබාදෙනු ලැබේ.[2] සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වහල් භාවයට පත් වන්නේ අනිච්ඡානුගව වුවද, ඇතැම් විට අයෙකු ණයක් ගෙවීම සඳහා හෝ දුගීභාවය නිසා ස්වේච්ඡාවේන් වහල් මෙහෙයට ඇතුලු වූ අවස්ථා ද තිබේ. වහල් භාවය මනුෂ්‍ය ඉතිහාසය පුරාවටම සෑම ශිෂ්ටාචාරයකම පාහේ දැකිය හැකි ලක්ෂණයකි. අතීතයේ සෑම සමාජයකම පාහේ වහල් භාවය නීත්‍යනුකූල වූ නමුත්, වර්තමානයේදී සෑම රටකම පාහේ (අපරාධයකට දඬුවමක් ලෙස මිස) වහල් භාවය නීති විරෝධී වේ.[3][4]

වහල් මෙහෙය නීතියෙන් තහනම් කළ අවසාන රට ලෙස මොරිටේනියාව 1981 දී වහල් මෙහෙය තහනම් කළ අතර,[5] වහල් හිමිකරුවන්ට දඬුවම් කිරීම පිණිස නීති සම්පාදනය කිරීම 2007 දී සිදුවිය.[6] වහල් මෙහෙය ලොව පුරා නිති විරෝධී වුවත්, 2019 වර්ෂය වන විට ආසන්න වශයෙන් මිනිසුන් මිලියන 40 ක් (එයින් 26% කුඩා දරුවන්) තවදුරටත් වහල් භාවයට ලක් ව සිටී. නූතන ලෝකයේ වහලුන්ගෙන් 50% කට වඩා ප්‍රමානයක් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා යනාදිය සඳහා බලහත්කාරී ශ්‍රමය ලබාදෙයි.[7] කාර්මීකරණය වූ රටවල දක්නට හැකි වහල් ක්‍රමයෙහි එක් නූතන ප්‍රභේදයක් වන්නේ මිනිස් ජාවාරමයි. ණය ගෙවීමක් වශයෙන් වහල් මෙහෙයෙහි යෙදීම, බලහත්කාරී ග්‍රහ සේවය, බලහත්කාරී විවාහයන් සහ ළමා සොල්දාදුවන් යනු කාර්මීකරණය නොවූ රටවල දක්නට හැකි වහල් භාවයෙහි ප්‍රභේදයි.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Allain, Jean (2012). "The Legal Definition of Slavery into the Twenty-First Century". In Allain, Jean (ed.). The Legal Understanding of Slavery: From the Historical to the Contemporary. Oxford: Oxford University Press. pp. 199–219. ISBN 978-0-19-164535-8.
  2. ^ Baker-Kimmons, Leslie C. (2008). "Slavery". In Schaefer, Richard T. (ed.). Encyclopedia of Race, Ethnicity, and Society. Vol. 3. SAGE Publishing. p. 1234. ISBN 9781412926942.
  3. ^ Bales 2004, පිටු අංකය: 4.
  4. ^ White, Shelley K.; White, Jonathan M.; Korgen, Kathleen Odell (2014). Sociologists in Action on Inequalities: Race, Class, Gender, and Sexuality. SAGE Publishing. p. 43. ISBN 978-1-4833-1147-0.
  5. ^ Okeowo, Alexis (September 8, 2014). "Freedom Fighter: A slaving society and an abolitionist's crusade". The New Yorker. January 6, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 16, 2014.
  6. ^ Corrigan, Terence (September 6, 2007). "Mauritania: Country Made Slavery Illegal Last Month". The East African Standard. August 4, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 21, 2008.
  7. ^ Hodal, Kate (May 31, 2016). "One in 200 people is a slave. Why?". The Guardian. April 30, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=වහල්_භාවය&oldid=703753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි