වල්පොල පියනන්ද හිමි

වල්පොල පියනන්ද හිමි

අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමියන්, දකුණු ලක ගාල්ලේ වල්පොල ග්‍රාමයේ ජන්මලාභය ලැබූ ශ්‍රේෂ්ඨ සංඝපීතෘවරයන් වහන්සේ නමකි. ථේරවාද බුදුදහම ලෝකය පුරා ව්‍යාප්ත කිරීමේ මාහැඟි කාර්යභාරය ඉටු කරමින් වර්තමානයේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවන උන්වහන්සේ ශාසනික, සමාජයීය සහ ධර්ම ප්‍රචාරක ආදී කටයුතුවල නිරතවෙමින්, ලෝකයේ බොහෝ රටවල්වල ජනතාවගේ ගෞරව බහුමානයට ලක්වෙමින් සිය ආදර්ශමත් ජීවන චරිතය ප්‍රකට කරමින් සිටිති.

ජීවන චරිතය

මුල් යුගය

දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ වල්පොල නම් සුන්දර ග්‍රාමයේ දී, 1943 ඔක්තෝබර් මස 2 වන දින පියනන්ද හිමියන් උපත ලබයි. පියා බුලේගොඩ ආරච්චි‍ගේ දොන් අන්දේරිස් බුලේගොඩ වූ අතර මව දොඹගොඩ ලියනගේ ලෝරා හාමිනේ විය. බුලේගොඩ ආරච්චිගේ ගුණවතී, සුමනාවතී, පුණ්‍යසේකර, චුල්ලවතී, රණවීර, පේමලතා, උර්දිසේන යන සහෝදර සහෝදරියන්ගෙන් පවුල සමන්විත වූ අතර උන්වහන්සේගේ ගිහිකල නාමය පියසේන බුලේගොඩ ආරච්චිගේ විය. කුඩාකල සිටම ස්වභාව සෞන්දර්යය සහ ගැමි ජීවිතය සමග ඉතාම සමීපව ගනුදෙනු කළ උන්වහන්සේ පාසල් ජීවිතය ආරම්භ කරන්නේ ගමේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. පියනන්ද හිමියන් ළමා අවධියේ පටන් ම පැවිදිවීමේ ආශාවෙන් පෙලුණේ ය. අත්තනගල්ලේ බෝපගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ, වල්පොල ඤාණරතන හිමියන්ගේ ආරාධනයෙන් පැවිදි වීම සඳහා 1955 ‍ජූනි මස සිය නිවසෙන් පිටත්වන විට පියනන්ද හිමියන්ට වයස අවුරුදු 12 සම්පූර්ණ වී නොතිබිණි.

පැවිදි දිවිය සහ අධ්‍යාපනය

භික්ෂූත්වය ලබාගැනීමට පෙර පන්සලේදී ලබාගත යුතු පුහුණුව සහ හැදෑරීම, අඳුගොඩ ධම්මරතන සහ වල්පොල ඤාණරතන යන ගුරු ස්වාමීන්වහන්සේලා යටතේ සිදුවිණි. පන්සලේ පුහුණුව ලබන අතරතුර පැවති උත්සවයක දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ විශේෂ ඇගයීමකට ලක්වීම උන්වහන්සේ ලැබූ සුවිශේෂී අත්දැකීමකි. අනතුරුව 1955 ඔක්තෝබර් 26 වන දින එළැඹුණු සුබ නැකතින් වල්පොළ පියනන්ද නමින් උන්වහන්සේ ප්‍රවෘජා භුමියට ඇතුළත් වූහ. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළේ බෝපැතේ සිරිසඟබෝ පිරිවෙනෙනි. එහිදී පියනන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූයේ පරිවෙනාධිපති උඩුනුවර ධම්මරතන හිමියන් ය. අනතුරුව උන්වහන්සේ, අස්වානේ ධර්මරත්නෝදය පිරිවෙනට ඇතුලත් විය. වටිනාපහ පියරතන, මාගම්මන රතනසාර වැනි ස්වාමීන්වහන්සේලා එහිදී ගුරුහිමිවරු ලෙස කටයුතු කළෝය. 1956 බණ්ඩාරනායක මහතා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට යන අවස්ථාවේ රත්මලාන ගුවන්තොටුපොළේ පිරිත් කීමට සහභාගීවීම සාමණේර පියනන්ද හිමියන්‍ ලැබූ විශේෂ අත්දැකීමකි. 1957 දී උන්වහන්සේට පිරිවෙන් ජීවිතය අතහැර නැවතත් වල්පොල සිය ගමේ පන්සලට පැමිණීමට සිදුවෙයි. අනතුරුව නැවතත් හෑගොඩ යසස්සි හිමියන්ගේ ආචාර්යත්වයෙන් මහමෝදර පිරිවෙනේ අධ්‍යාපන කටයුතු අරඹයි. ඉන්පසු කළුකොඳයාවේ පඤ්ඤාසේකර, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර, වැලිවිටියේ සෝරත, රදැල්ලේ පඤ්ඤාලෝක, පනංගල ජිනරතන, තලල්ලේ ධම්මානන්ද වැනි ස්වාමීන්වහන්සේලා සහ ඒ. ටී. ආරියරත්න මහතා ගුරුවරුන් ලෙස කටයුතු කළ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් කළේ පියනන්ද හිමියන්ගේ ඥාතිවරයෙකු වූ මහාචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර හිමියන් විසිනි. අනතුරුව උන්වහන්සේ ස්ටැෆර්ඩ් කොලීජියට ඇතුළත් ව එස්.එස්.සී විභාගය සමත් වී ය.  

ඉන්පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනට ඇතුලත් වූ අතර, යක්කඩුවේ පඤ්ඤාරාම මා හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති, වැලමිටියාවේ ධම්මරක්ඛිත, කාක්කපල්ලියේ අනුරුද්ධ, නිවන්දම ධම්මකිත්ති හා තලකිරියාගම ධම්මකිත්ති යන හිමිවරු යටතේ අධ්‍යාපනය හදාළහ. එහිදී මාදුළුවාවේ සෝභිත හිමි පියනන්ද හිමියන්ගේ පන්තියේ ඉගෙනුම කළ කල්‍යාණ මිත්‍රයා විය. 1963 වර්ෂයේ දී පියනන්ද හිමියන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව විද්‍යාලංකාර සරසවියට (වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලය) ඇතුළත් වූ අතර කුඹුරුගමුවේ වජිර, බෙල්ලන්විල විමලරතන වැනි හිමිවරුන්, අනගාරික ධර්මසේකර, හඩ්සන් සමරසිංහ වැන්නන් එවක උන්වහන්සේගේ සමකාලීන සරසවි මිතුරන් විය. පියනන්ද හිමියන් සරසවි‍යේ කථික සංගමයේ මෙන්ම දේශපාලන කටයුතුවල ද ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. 1967 දී දෙ‍වෙනි පෙළ ඉහළ පංති සාමාර්ථයක් සහිතව සිය උපාධිය සමත්වන්නට උන්වහන්සේට හැකි විය‍. අනතුරුව ‘රෝහණයේ බෞද්ධ ප්‍රබෝධය’ තේමාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුව ද උන්වහන්සේට එම උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වූහ.

මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ හා මහාචාර්ය කොටගම වාචිස්සර හිමියන්ගේ මගපෙන්වීමෙන් පියනන්ද හිමියන් වයස විසිපහේ දී කෝට්ටේ පාර්ශ්වයට අයත් පාමංකඩ ශ්‍රී මහා විහාරීය භික්ෂුවක් ‍ලෙස උපසම්පදාව ලබා ගත්තේ ය.

පසුකාලීනව පියනන්ද හිමියන් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට පිටත් විය. ජාත්‍යන්තර ධර්මදූත සේවාව සඳහා උන්වහන්සේට දොරටු විවරවන්නේ ඉන්දියාවේදී ය.

වල්පොළ රාහුල හිමියන්ගේ මැදිහත් වීමෙන් උන්වහන්සේගේ මිතුරෙකු වූ නෝර්ත් වෙස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එඩ්නන් පේරි හරහා පියනන්ද හිමියන්ට එම සරසවියේ ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබිණි. එහිදී තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. A comparative study of Kingdom of Heaven and Concept of Nibbana මාතෘකාව යටතේ කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA) ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි වී සියලු අධ්‍යයන කටයුතු අවසන් කළ ද, නිබන්ධනය ලිවීමේදී එහි කටයුතු කළ ආචාර්ය කේ. සී. බෝලාගේ අවශ්‍යතාවය වූයේ පියනන්ද හිමියන් ලවා නිර්වාණය හා Kingdom of Heaven  යන්න එකක් බව ලියවා ගැනීමට ය. එසේ වුව ද ඒ පිළිබඳව ඇතිවූ මතවාදී ගැටලු හේතුවෙන් උපාධිය අත් හැරීමට උන්වහන්සේ ට සිදු විය. පසුකාලීනව University of Oriental Study මෙන් ම ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයෙන් ද උන්වහන්සේ ට සම්මාන ආචාර්ය උපාධි පිරිනමනු ලැබී ය.

නියැළුණු වෘත්තීන්

පියනන්ද හිමියන් ගේ පළමු රැකියාව වන්නේ ශ්‍රී ලංකා විද්‍යාලයේ බාහිර උපාධි පංතියේ සිංහල ගුරුවරයෙකු ලෙස ලද පත්වීමයි. 1969 දී උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස පත් විය. එසේම උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ද ඉ‍ගැන්වීමේ නිරත විය. එහිදී ඒ හිමියන්ගෙන් අධ්‍යාපනය ලැබූ දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වර්තමා‍නයේ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් ලෙස කටයුතු කරයි.

ශාස්ත්‍රීය සේවාවන්

පියනන්ද හිමියන්ට පාසල් අවධියේ පටන් ම ලේඛන හැකියාව පිහිටා තිබිණි. සරසවි‍ අධ්‍යාපනයෙන් ලද පන්නරයෙන් පසු විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සඟරා, ලේක්හවුස් සඟරා ඇතුළු විවිධ දේශපාලන සහ ශාස්ත්‍රීය ප්‍රකාශන වෙනුවෙන් ලිපි සම්පාදනය කිරීම ද සිදු‍ කළේ ය. ‘දවස’‍ , ‘බුදුසරණ’ වැනි පුවත්පත් වලට ලිපි රචනා කිරීම ද එ කල සිදුකෙරිණි.  ‘සංගායනා හා නිකාය භේදය’ ග්‍රන්ථය රචනා කළේ උන්වහන්සේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිටියදී ය. ‘ඇමරිකාවේ  බෞද්ධ ‍ප්‍රබෝධය’, ‘ඇමරිකානු ජාතිකයින් බුදුන් වඳිනවාද?’ වැනි ලිපි ඇමරිකාවේදී රචනා කළේ ය. ‍’දෙමළ ත්‍රස්තවාදය සහ ජනවාර්ගික ගැටලුව’ යන මැයෙන් රජිව් ගාන්ධිට ලියූ රචනාව, ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලනයට විශාල බලපෑමක් සිදු කළේ ය. මන් මෝහන් සිං මහතාට ලියූ ‘දකුණු ඉන්දීය දේශපාලකයන් ජාතිවාදය වර්ධනය කිරීමට මිථ්‍යා සංකල්ප ගොඩනගමින් කරන අපරාධ’ නම් ලිපිය ද බොහෝ අයගේ සැළකිල්ල ට භාජනය වූ රචනාවකි. ඇමරිකන් ජාතිකයන්ගේ ගැටලු අළලා, ඔවුන් උදෙසා ‘Saffron Days in LA’ නම් ග්‍රන්ථය රචනා විණි. මෙය භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඇමරිකාවේ බුදුසසුන පිළිබඳ විස්තර කෙරෙන ‘The Bodhi Tree Grows in LA’ ද උන්වහන්සේගේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. Away from L.A. , Sharing Buddhism in the Western World, Love in Buddhism වැනි ග්‍රන්ථ සේම බුද්ධ චරිතය ඇසුරෙන් උන්වහන්සේ Dr. Stephen Long සමග රචනා කළ ‘Thus We Heard’ ග්‍රන්ථය ද වැදගත් වෙයි. මීට අමතරව පියනන්ද හිමියන් දේශීය මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල සහ විවිධ ආයතනවල දේශකවරයෙකු ලෙස කටයුතු කොට විශාල ශාස්ත්‍රීය සේවාවක් ඉටුකර තිබේ.

ධර්මදූත සේවය

පියනන්ද හිමියන්ගේ ධර්මදූත සේවය ඇරඹෙන්නේ ඉන්දියානු ගමනත් සමග ය. එහිදී අධ්‍යාපනය ලබන අතර මහාබෝධි සමාගමේ විවිධ වගකීම් දරමින්, දලයි ලාමාතුමා ඇතුළු විවිධ රටවල ස්වාමීන්වහන්සේලා සහ බෞද්ධ නියෝජිතයින් සමග සමීපව කටයුතු කරමින් නොයෙක් ශාසනික කටයුතු වල නිරත විය.

ඇමරිකාවේ City of Ten Thousand Buddha සංවිධානයෙන් මහාබෝධි සමාගමට ලැබුණු ආරාධනාවක් අනුව තුන් මසක භාවනා පුහුණු වැඩසටහනකට පියනන්ද හිමියන් තෝරාගනු ලැබිණි. ඒ අනුව 1976 ජූලි මස 04 වෙනිදා පළමු වරට උන්වහන්සේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට සැපත්වීය. අනතුරුව ලොස් ඇන්ජලීස් නුවර තිත්තියන් නාන් හිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ විසීමට පැමිණෙන උන්වහන්සේට ඇමරිකානුවන් සහ වෙනත් රටවල බෞද්ධ හිමිවරුන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.

ඉන් අනතුරුව චිකා‍ගෝහි North Western සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා වර්ෂ 1979 දී නැවත කැලිෆෝනියාවට පැමිණෙන උන්වහන්සේ, ලොස් ඇන්ජලීස් හි ශ්‍රී  ලංකා බෞද්ධ පිරිස් එකතුවී නිර්මාණය කර ගත් ‘ඇමරිකානු-ශ්‍රී ලංකා බුද්ධ ධර්ම සංගමයේ’ සහයෝගය ද, දික්වෙල පියනන්ද, නෙළුවේ ජිනරතන, ඌරුවල ධම්මරතන වැනි ස්වාමීන්වහන්සේලාගේ ආධාරය හා ආශිර්වාදය ද ඇතිව පන්නිල ආනන්ද හිමි සමග බීච් වුඩ් හි පළමුවරට ථෙරවාද විහාරයක් ආරම්භ කළේ ය‍. එය ‘ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය’ ලෙස නම් කෙරිණි.

මෙම විහාරයෙන් ස්වදේශික ඇමරිකානුවන්, ලාඕස්, කාම්බෝජ, වියට්නාම්, තායි ආදී විවිධ ජාතීන් වෙනුවෙන් ආගමික වැඩසටහන් මෙහෙයවිණි. එසේම පියනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් විවිධ ජාතීන්ට අයත් වන පන්සල් විස්සකටත් වඩා ප්‍රමාණයක් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආරම්භ කරන ලදි. ඒ සඳහා හැවැන්පොල රතනසාර, මඩවල සීලවිමල, ලෙනගල සුමේධානන්ද, පන්නිල ආනන්ද යන හිමිවරුන් ගේ මහත් සහයෝගයක් ලැබුණි.

අනතුරුව උන්වහන්සේ, හැවැන්පොල රතනසාර නාහිමි සහ පන්නිල ආනන්ද හිමියන් සමග එක්ව ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරය ආරම්භ කළ සේක. එම විහාරය මගින් එරට වෙසෙන සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව සෙසු ජාතිකයන්ගේ ද ආගමික, අධ්‍යාත්මික සහ අධ්‍යාපනික අවශ්‍යතාවයන් ඉටු කරනු ලබයි. මෙහිදී ස්වදේශික ඇමරිකානුවන් අතර බුදුදහම ප්‍රචලිත කිරීමට උන්වහන්සේ මහඟු මෙහෙයක නිරත වී සිටියි. ඇමරිකානුවන් වෙතට බුදුදහම ගෙනයෑම සඳහා උන්වහන්සේ විවිධ උපක්‍රම භාවිතා කළේය. ඇමරිකානුවන්ට භික්ෂූත්වය ලබාදීම, ඔවුන්ගේ ගැටලුවලට බුදු දහමෙන් පිළිතුරු සෙවීම, භාවනා වැඩසටහන් සහ දහම් පාසල ඇරඹීම වැනි කාර්යයභාරයන් ඒ අතර වී ය. මීට අමතරව ධර්මචාරී, බෝධිචාරී වැනි තනතුරු පිහිටුවා ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල ධර්මය ප්‍රචාරය කිරීම සඳහා පුද්ගලයන් පුහුණු කරනු ලබයි. ධර්මවිජය විහාරය සඳහා නිර්මාණය කළ ව්‍යවස්ථාව මගින් ගිහි සමාජය සහ පැවිදි සමාජය අතර ගැටුම් අවම කරගනිමින් සාර්ථක ලෙස පන්සල පරිපාලනය කිරීමට හැකිවී තිබෙන අතර එම ව්‍යවස්ථාව ඇමරිකාවේ බො‍හෝ පන්සල්වල වර්තමානයේ ක්‍රියාත්මක වේ. මෙම ව්‍යවස්ථාව වෛද්‍ය ගාමිණී ජයසිංහ මහතා විසින් සකස් කරන ලදි.

අනතුරුව උන්වහන්සේගේ අවධානය යොමුවන්නේ ඇමරිකාවේ ථේරවාද භික්ෂුණී ශාසනය පිහිටුවීම කෙරෙහි ය. මේ අනුව 1988 මැයි 23 දින තායි ජාතික චූතිමා චරත චන්ද්‍ර පළමු සාමණේරිය ලෙස ධර්මවිජය විහාරයේ දී මහණ විය. මෙසේ පියනන්ද හිමියන් ඇති කළ ප්‍රබෝධය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල කාන්තාවන්, උපසම්පදා භික්ෂුණීන් ලෙස බුදුසසුනට සහ සමාජයට විශාල සේවාවක් කරමින් ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල වැඩ වසති.

අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ධර්මවිජය විහාරයේ සත් වසරක් වැඩ විසීම වල්පොල පියනන්ද හිමියන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු සහ ‍අනෙකුත් ශාසනික වැඩ වලට මහත් පිටුබලයක් විය. එමෙන්ම ලෙනගල සුමේධානන්ද, මඩවල පුණ්ණජි, ආචාර්ය පල්ලාවල නන්දිස්සර, බෙංගාලි ජාතික බුද්ධරක්ඛිත යන හිමිවරු ද ධර්මවිජය විහාරස්ථානයේ කාලයක් වැඩවසමින් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත විය.

එසේම ධර්ම ප්‍රචාරක කටයුතු ‍සඳහා ලංකාවේ සිට පැමිණෙන භික්ෂූන්වහන්සේලාට භාෂා පුහුණුව ලබාදී ඇමරිකා එක්සත් ජනපදය පුරා වෙහෙර විහාර නිර්මාණය කිරීමට පියනන්ද හිමියන් දායකත්වය ලබාදුන්නේ ය. එපමණක් නොවේ. ලොව සෑම බෞද්ධ රටකින්ම ඇමරිකාවට පැමිණෙන භික්ෂූන්ට සහ බෞද්ධයන්ට ද උන්වහන්සේ උදවු උපකාර කළ අතර වෙහෙර විහාර ගොඩනැගීම, ධර්ම ප්‍රචාරය ආදී සෑම ශාසනික කටයුත්තකදීම අවශ්‍ය සහාය ලබා දුන්නේය.

පන්සල මූලික කරගනිමින් වෙසක් සහ පෝය වැඩසටහන්, සිංහල අවුරුදු, නිදහස් දින උත්සවය, කඨින පිංකම් ආදී විවිධ උත්සව සංවිධානය කරමින් බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීමටත්, ප්‍රචලිත කිරීමටත් පියනන්ද හිමියන් මූලිකත්වය ගනිමින් සිටී‍.

ජාත්‍යන්තර අන්තර් ආගමික සම්මේලනයේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින් උන්වහන්සේ විවිධ අවස්ථාවල බෞද්ධයන් මෙන්ම නොයෙක් ආගමික කණ්ඩායම් අතර පැන නැගුණු ප්‍රශ්නකාරි අවස්ථා විසඳාලූ සේක.

සමාජ සේවා

පියනන්ද ස්වාමීන්වහන්සේ ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ ම දෙලොව හිතසුව පිණිස කටයුතු කරන මහ තෙරනමකි. උන්වහන්සේගේ සමාජ සේවය කුඩා කල සිටම සිදුකරගෙන ආවකි. ඉන්දියාවේ වසන සමයේ දී තෙරේසා මවුතුමිය සමග වීදි දරුවන් වෙනුවෙන් සමාජ සේවා කටයුතු සිදු කළේය.

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී  ලාංකිකයන්ට උන්වහන්සේගෙන් ලැබුණු උපකාර අති මහත් ය‍. ඇමරිකාවට එන ශ්‍රී ලාංකිකයන්ගේ වීසා ගැටළු, නවාතැන්, රැකියා සොයාගැනීම්, ආහාරපාන, නෛතික ප්‍රශ්න, මූල්‍ය අපහසුතා, ශිෂ්‍යත්ව පිරිනැමීම් ආදියේ දී උන්වහන්සේ මෙන්ම ශිෂ්‍ය  භික්ෂූන් වහන්සේලා ද මැදිහත්ව ඔවුන්ට පිහිට වූ අවස්ථා රාශියකි. එසේම ලංකාවේ විහාරස්ථානවලට, භික්ෂූන්වහන්සේලාට, ශිෂ්‍යයන්ට, උදවු අවැසි පුද්ගලයන්ට හා ආයතන වලට කළ උපකාර ගිණිය නොහැකි තරම් ය.

ඇමරිකානු සමාජයට බෞද්ධ විවාහ ක්‍රමය හඳුන්වාදීම උන්වහන්සේගේ මැදිහත්වීමෙන් සිදුවූ තවත් සමාජ සේවයකි. එතෙක් කිතුණු පල්ලිය තුළ සිදුවූ විවාහය වෙනුවට පන්සල මුල්කරගත් බෞද්ධ සම්ප්‍රදායානුකූල විවාහ ක්‍රමය, ඇමරිකානු ජාතික යුවලකගෙන් ඇරඹි අතර වර්තමානය වනවිට එය ඇමරිකානු සමාජය තුළ බොහෝ ප්‍රචලිතව පවතී.

එමෙන්ම ශ්‍රී ලංකාව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අභියෝගවලට මුහුණදුන් සෑම අවස්ථාවකදීම පාහේ සක්‍රීයව ම දායක වී ඒ අභියෝග ජයගැනීම වෙනුවෙන් උන්වහන්සේ සටන් කළහ. 1983 කෝලහාලය, ත්‍රස්තවාදී යුද්ධය, 1987 ඉන්දු ලංකා ගිවිසුම, සුනාමි ඛේදවාචකය සහ විවිධ රාජ්‍ය තාන්ත්‍රික ගැටළු ආදීයේ දී උන්වහන්සේ දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කළ මැදිහත්වීම විශාල ය.

පිළිගැනීම සහ ලැබූ සම්මාන

වර්තමානයේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවන පියනන්ද හිමියන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඇමරිකාව සහ බෞද්ධ රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් වල ගෞරව බහුමානය ට පාත්‍ර වූ හිමිනමකි. උන්වහන්සේ ජාත්‍යන්තර ආගමික සංගමයේ නිත්‍ය සාමාජිකයෙකු ද වේ. ශ්‍රී  ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාත්‍යන්තර ආගමික කටයුතු උපදේශක ලෙස කටයුතු කරන්නේ ද උන්වහන්සේ ය.

වල්පොළ පියනන්ද හිමියන් ලැබූ පදවි සහ සම්මාන.

  • 1965 - ශ්‍රී ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාලයීය කථික තරගයෙන් දෙවැනියා වීම.
  • 1966 - ශ්‍රී ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාලයීය කථික තරගයෙන් පළමු වැනියා වීම.
  • 1969 - 1972 සහකාර කථිකාචාර්ය - බෞද්ධ අධ්‍යයන අංශය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය හා කොළඹ විශ්ව විද්‍යාලය
  • 1972 - පොදුරාජ්‍ය මණ්ඩලයීය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය - කල්කටාව
  • 1979 - ආරම්භක විහාරාධිපති - ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය, කැලිෆෝනියාව
  • 1980 - ආරම්භක සභාපති හා විහාරාධිපති - ධර්මවිජය බෞද්ධ විහාරය, ලොස් ඇන්ජලීස්.
  • 1984-92 - බෞද්ධ නියෝජිත - දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, ලොස් ඇන්ජලීස්
  • 1984 - බෞද්ධ නියෝජිත - ඔලිම්පික් ක්‍රීඩා උලෙළ, එක්සත් ජනපදය.
  • 1987 - ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක - සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වය.
  • 1995 - ආරම්භක සාමාජික - බෞද්ධ හා ක්‍රිස්තියානි සංවාද පර්ෂදය, ලොස් ඇන්ජලිස්.
  • 1995 - ආරම්භක සාමාජික - අන්තර් ආගමික සභාව, දකුණු කැලිෆෝනියාව.
  • 1997 - සම්මාන ආචාර්ය උපාධිය - බෞද්ධ අධ්‍යයන අංශය, University of Oriental Studies, ලොස් ඇන්ජලීස්.
  • 2000 - 2010 සභාපති - බෞද්ධ සංඝසභාව, දකුණු කැලිෆෝනියාව.
  • 2002 - විශිෂ්ට ආගමික නායකත්වය - නගර සභාව, ලොස් ඇන්ජලීස්‍.
  • 2003 - ත්‍රිපිටක වාගීශ්වර - සියම් මහා නිකායේ රෝහණ සංඝ සභාව.
  • 2004 - සභාපති ශ්‍රී ලංකා සංඝ සභාව, ඇමරිකාව හා කැනඩාව
  • 2006 - ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති උපදේශක - ජාත්‍යන්තර ආගමික කටයුතු පිළිබඳ
  • 2009 - ශ්‍රී සද්ධර්ම සේනාධිපති - සියම් මහා නිකායේ දඹුළු පාර්ශ්වය.
  • 2011 - ශ්‍රී සද්ධර්ම ශිරෝමණී - විද්‍යාලංකාර පිරිවෙන.
  • 2010 - උපදේශක - ඉන්දියානු මහාබෝධි සමාගම, ඉන්දියාව.
  • 2011 - ත්‍රිපිටක ධර්ම විශාරද කීර්ති ශ්‍රී -රුහුණු විශ්ව විද්‍යාලය.
  • 2013 - අග්ග මහා පණ්ඩිත - මියන්මාරය
  • 2019 - ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති උපදේශක - ජාත්‍යන්තර ආගමික කටයුතු පිළිබඳ

වාසය

වල්පොළ පියනන්ද ස්වාමීන්වහන්සේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ, පාමංකඩ ශ්‍රී මහා විහාරය සහ ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් හි ධර්මවිජය යන උභය විහාරයන් හි විහාරාධිපති ධූරයන් දරති. අවස්ථානුකූලව මෙම විහාරස්ථාන දෙකෙහිම වැඩ වසමින් ලෝක සත්වයා ට සිය අනූපමේය සේවය ඉටු කරති.

අමිත් ලියනගේ

"https://si.wikipedia.org/w/index.php?title=වල්පොල_පියනන්ද_හිමි&oldid=567348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි