ලොව විශාලතම පෞරාණික තටාකය

   ලොව විශාලම පෞරාණික තටාකය

      ෴ මාස්පොත පොකුණ

   පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉදි වූ අභය වැව ලංකාවේ වාරි තාක්ෂණයේ ආරම්භය ලෙස සැළකුවත් විජය කුවේණි පුවත සාක්ෂි දරන්නේ ඊට බොහෝ කලකට පෙර සිටම නගර සැලසුම් අනුව පොකුණු නිර්මාණ තාක්ෂණයක් අප රටට හිමිව තිබූ බවයි. මහාවංසයේ හත්වෙනි පරිච්ඡේදයේ සඳහන් පරිදි කුවේණිය විජය රජුගේ පිරිස සඟවා තබන්නේ ද පොකුණකට ජලය ගෙන ඒමට සකස් කළ උමගක් තුළයි.

   ස්වාභාවික පොකුණු අනූන මව් දෙරණේ ගල් තලාවක් මත ස්වාභාවිකව ජලය එක්රැස් වී නිර්මාණය වූ පොකුණු දුටු පුරාණ හෙළයා තමාට අවශ්‍ය ස්ථානයේ පොකුණක් තනා ගැනීමට යම් අදහසක් ඇති කරගත්තා වන්නට පුලුවන. වර්ථමානයේ අලංකාරය උදෙසා පමණක් පොකුණු නිර්මාණය කළත් අතීතයේ අලංකාරය සඳහා මෙන්ම ජල අවශ්‍යතා සඳහා ද, පරිසරයේ උෂ්ණත්වය සමතුලිත කිරීම සඳහා ද පොකුණු නිර්මාණය නගර සැලැස්මක විශේෂ අංගයක් ලෙස භාවිතා විය.

   ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවර රාජ වංශ ආරම්භයටත් පෙර සිටම ජනාවාස භූමියක් බව පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සාක්ෂි දරයි. අක්කර 500ක අභයගිරි පුදබිම තුළ 5000ක් භික්ෂූන් වහන්සේලා වැඩවුන් බවත් එම පරිසරයේ වාතය, ජලය යන දෙඅංශයම සුවදායි වීම පිණිස පොකුණු 65ක් ඉදිකර පැවති බවද පාහියන් හිමියන්ගේ වාර්තා තුළ සඳහන් වේ. සෑම පොකුණකටම එයටම අනන්‍ය වූ හැඩයක් පැවති බවත්, පිටතින් ජලය ලබාගැනීම, පොකුණේ ජලය පිට කිරීමේ හැකියාව, පොකුණ තුළට පහසුවෙන් බැසිය හැකි වීම හා කලාත්මක අංග ලක්ෂණයන් හී අඩුවක් නොවීම හෙළ ජල සැලසුම් ශිල්පියාගේ තාක්ෂණික ඥානය විදහා දක්වයි.

   උමං නල මාර්ග ඔස්සේ ජලය ගෙන ඒම පිණිස පාෂාණමය නල තැනීම, ඒවා කාන්දු ඇති නොවන සේ එකිනෙක සම්බන්ධ කිරීම, ජලය ගලා ඒම අවශ්‍ය ප්‍රමාණයට පාලනය කිරීම හා පරිසර අලංකාරයට හානියක් නොවන සේ ඉදිකිරීම යන කාරණා සමඟ සම්බන්ධ කර බලන විට ලෝකයේ දියුණුම ජල පීඩනය පිළිබඳ න්‍යායේ තාක්ෂණය භාවිතා කළ රට ලංකාව ය.

   ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේ පමණ ඉදිකරන්නන්ට ඇතැයි සැළකෙන අභයගිරියේ විශාලම පොකුණ වන ඇත් පොකුණ විශාලත්වය නිසාම එම නමින් හැඳින්වුව ද පුරාණ පොතපතෙහි සඳහන් වන්නේ මාස්පොත පොකුණ කියාය. සිව් දෙසින් ම ගල් අතුරා නිම කර ඇතත් මනාව නිරීක්ෂණය කරන්නේ නම් මෙය පිහිටි ගලේම නිර්මාණය කරන ලද්දක් බව දැකගත හැකිය. ජුරාසික් යුගයේ සිටම මේ ස්ථානයේ ස්වාභාවික පොකුණක් පැවති බවත් පසුව එයට හෙළ තාක්ෂණය එක්කරමින් සංරක්ෂණය කිරීමක් සිදුකොට මේසා විශාල පොකුණක් නිර්මාණය කළ බවත් ඇතැම් තැනක සඳහන් අතර ඇත් පොකුණ බටහිර ඉවුර දෙස බැලීමේදී එම සඳහන සත්‍ය බවත් පැහැදිලි වේ.

   අඩි 500ක් දිග, අඩි 50ක් පළල හා අඩි දහයක් ගැඹුරු ඇත් පොකුණ ලොව විශාලතම සහ පැරැණිම පිහිනුම් තටාකය ලෙස සැළකේ. පොකුණට ජලය ගෙන ඒම සඳහා උතුරින් නළ මාර්ග දෙකක් ද දකුණින් එක් නල මාර්ගයක් ද ඇති අතර එ් සියල්ල භූගත නල පද්ධතිය. උතුරින් ඇති එක් නලයක් තවමත් ක්‍රියාත්මක අතර පෙරියන්කුලම වැවෙන් එයට ජලය ලැබේ. අනික් උතුරු නල මාර්ගය මහ බුලංකුලම වැවෙන් ජලය ලබාගැනීමට සම්බන්ධ කර ඇත. පොකුණේ ජලය ජල පෙරණයක් ඔස්සේ පිට කරන්නට සකසා තිබීමෙන් පුරාණ මිනිසුන් තමන් ගැන මෙන්ම පරිසරය ගැන ද අප්‍රමාදව සිතූ බව පැහැදිලිය.

   කිලෝමීටරයක් පමණ දුර ඇති කුට්ටම් පොකුණට ද ජලය ගෙන යන්නේ ඇත් පොකුණෙනි. ලොවම මවිත කරන බිසෝ කොටු තාක්ෂණය හා සළපනාව මේ පොකුණු සඳහා ද භාවිතා කර තිබීමෙන් නිර්මාණකරුවා තම කාර්ය ඇති සාර්ථකව චිරාත් කාලයක් පවත්වා ගැනීම සඳහා දැක් වූ උනන්දුව කැපී පෙනේ. ජලය ආශ්‍රිත අභිචාර කලා නිර්මාණ අප සාංස්කෘතියේ පරිපූරණත්වය පසක් කරයි. ඇත් පොකුණේ සවි කර තිබූ ඇතුන් දිය කෙළින ශෛලමය කැටයම් පුවරුව අභයගිරි කෞතුකාගාරයේ දී දැකගත හැකිය.