ලංකාව ස්වාධීන රාජ්‍යයක් වීම

(ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම වෙතින් යළි-යොමු කරන ලදි)

වසර 133ක් පරාධීනත්වයෙන් ගතකොට එයින් මිදී ස්වෛරී අදීන දේශයක් ලෙස යළි නැගී සිටීමේ උතුම් අවස්ථාව වර්ෂ එක්දහස් නවසිය හතලිස් අටක් වු පෙබරවාරි මස හතර වැනිදා උදාවිය. 1815 වසරේ මාර්තු 2 දින දක්වා පැවති සිංහලේ නම් රාජධානිය, ලංකා රාජධානිය (Dominion of Ceylon) යන නමින් නැවත පිහිටුවන ලදී.

ලංකා රාජධානියේ ධජය ලෙස 1948දී තෝරාගත් 1815 දක්වා පැවති සිංහල රාජධානියේ ධජය

එදා පැවති විවිධ හා විචිත්‍ර උත්සව හා පිංකම් මාලාව මුළු මහත් ලක් දෙරණතම සතුටු වගුරුවන විලාශයක් මවා පෑවේය.එදා පැවති ඒ අසිරිමත් පළමු නිදහස් උළෙල ජාතියේ උතුම් සැමරුමක්ම විය.පෙබරවාරි හතරවැනිදාට ඉකුත් මධ්‍යම රාත්‍රියේ ලංකාව යටත් විජිතභාවයෙන් මිදී අනෙකුත් නිදහස් ජාතීන් අතරට එක්වීය. නැවත පිහිටවූ ලංකා (සිලෝන්) රාජ්‍යයේ (ශ්‍රී වික්‍රම රාජසිංහ රජගෙන් පසු අහෝසිව පැවති ) රජතනතුර නැවත ඇතිකරනලදී. ලංකා රාජධානියේ රජ ලෙස ලංකාවේ VIවන ජෝජ් රජතුමා අභිශේක ලද අතර එය නාම මාත්‍රික රජ තනතුරකි. අග්‍රාමාත්‍යවරයා වුයේ ඩී.එස්.සේනානායක මැතිතුමන්ය. රජතුමන්ගේ පදිංචිය වෙනත් රටක බැවින් උන් වහන්සේ නියෝජනය පිණිස අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් දිව්රැම් දුන්නේ ය.

ලංකාව ස්වාධීනත්වයට පත් වු මේ ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් වශෙයන් ප්‍රකාශකරන ලදි.ප්‍රථමවරට ලංකා පාර්ලිමේන්තු මන්දිරයේ කොඩි ගසෙහි සිංහ කොඩිය හා ඉංග්‍රීසි කොඩිය එකට එකක් නොපරදින‍ සේ එදින ළෙල දුනි.බොහෝ විහාරස්ථාන හා දේවස්ථානවල ආගමික පුදපූජා පවත්වන ලදි.එක්දහස් නවසිය හතලිස් අටේ පෙබරවාරි හතරවැනිදා ඇරඹී දහහත්වන දින අවසන් වීමට නියමිත වු උත්සව මාලාවේ අතිඋත්කර්ෂවත් දිනය පෙබරවාරි දහවැනිදා උදාවිය.

එදින ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ඉදිකරනලද නව රැස්වීම් ශාලාවේ පැවැත්විය.එම ගොඩනැගිල්ල මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ගොඩනගා තිබුණි.මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ලංකාවේ VIවන ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර් ආදිපාදවරයා ය. එදින උත්සවයෙන් පසු දහතුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා පත්තිරිප්පුවේ සිට සිංහ ධජය ඹසවා ලංකාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කළේය.ඒ ප්‍රකාශයෙන් අදට වසර හෑට නවයක් ගෙවීඇත.

මේ අඩවියත් බලන්න සංස්කරණය