ලංකාරාම ස්තූපය
උත්තරීතර සෙනෙහසේ සදානුස්මරණීය
෴ මණිසෝමාරාමය ෴
සොලී ආක්‍රමණිකයන් හා යුධ වැදී පරාජය වූ වළගම්බා රජු පලා යමින් සිටි රථය පසුපස සොලීන් පන්නා එන විටත් රථයට වේගයෙන් යාමට ඉඩදීම සඳහා රථයේ බර හෑල්ලු කළ යුතු යැයි සිතූ වළගම්බා රජුගේ අග මෙහෙසිය වූ සෝමා දේවිය රථයෙන් පැන රථයට වේගයෙන් යාමට සළස්වා වළගම්බා රජුගේ ජීවිතය බේරී ය. එම ලාංකීය වීර කතගේ පරිත්‍යාගය නොවන්නට අප මාතෘ භූමිය ආරක්ෂා කරන්නට ශ්‍රෙෂ්ඨ රජෙකු ඉතිරි වන්නේ නැත. සෝමා දේවියගේ ආත්ම පරිත්‍යාගයේ උත්තරීතර සෙනෙහසට ගෞරවයක් වශයෙන් වළගම්බා රජු ( ක්‍රිස්තු පූර්ව 89 - 76 ) සෑදූ සිහිවටනය මණිසෝමාරාමය නොහොත් ලංකාරාමය යි.
අඩි 10 ක් පමණ උස් පීඨිකාවක් මත ඉදිකර ඇති දාගැබ අඩි 44.2 ක පමණ පාදමකින් යුතු ඝණ්ඨාකාර ස්තූපය කි. සර්වඥ ධාතු සමග සෝමා දේවියට අයත්ව තිබූ විශාල මාණික්‍යයක් ද නිධන් කර තැනූ බැවින් මණිසෝමාරාමය යන නමින් හැඳින්වූ බව මහාවංසය හා බෝධිවංස ගැටපදයේ සඳහන් වේ. ස්තූප මළුවේ විෂ්කම්භය අඩි 132.2 ක් වන අතර කණිෂ්ඨ තිස්ස රජු චෛත්‍ය උදෙසා වටදාගෙයක් ඉදිකර ඇත. අභයගිරියේ භික්ෂුණී ආරාමය වූ ලංකාරාමය ආරාම සංකීර්ණයක්ව පැවතී ඇති බවත් ගෝඨාභය රජු පොහොය ගෙයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කළ බවත් අතීත සාක්ෂි දක්වයි.
එස්. පරණවිතානයන්ගේ ලංකාවේ ස්තූපය හා ටී. ජී. කුලතුංගයන්ගේ අනුරාධපුර අටමස්ථාන යන කෘති ලංකාරාමය පිළිබඳ අධ්‍යනයේ දී වැදගත් වේ. පසු කාලීන ප්‍රතිසංස්කරණ වලදී මූලික හැඩය අවලක්ෂණ ආකාරයෙන් ලංකාරාම දාගැබ අඩි 38 ක විෂ්කම්භයකින් නිමවා ඇති අතර ශේෂ වී ඇති වටදාගෙය දරා සිටි ශෛලමය කුළුණු 34 ලංකාවට ආවේණික විශේෂ නිර්මාණ කලාවක් විදහා දක්වයි.
අවුරුදු 19ක විවාහ ජීවිතයේ 14වෙනි දරු උපත වෙනුවෙන් මියගිය මුම්ටාස් වෙනුවෙන්, බිසෝවරු 7ක් සමඟ 2000ක අන්තඃපුරයක් තබාගෙන සිටි සාජහන් ඉදිකළ ටජ්මහලට වඩා, විශාල ආදර ගෞරවයක් තම ජීවිතය සහ රට උදෙසා දිවි පුජා කළ අග මෙහෙසිය සෝමා දේවිය වෙනුවෙන් වට්ටගාමිණී අභය නිරිඳුන් සතුව පැවති බව ලංකාරාම ස්මාරකය මනාවට පසක් කරයි. බුදු රජාණන්වහන්සේගේ ගුණ සිහිකරමින් ලංකාරාමය වදින සියලු දන සිත් තුළ සෝමා දේවිය නම් උත්තරීතර කන්තාව උදෙසා පහන් සිතුවිල්ලක් ඇති වන හැම මොහොතක දීම ආත්ම පරිත්‍යාගයේ සෙනෙහස සදානුස්මරණීය වෙනවා ඇත.