ආකාශ යාන්ත්‍ර විද්‍යාවේ දී, කිසියම් ආකාශ වස්තුවක රොෂ් සීමාව නැතහොත් රොෂ් අරය යනුවෙන් හැඳින්වෙන්නේ, වෙනත් ආකාශ වස්තුවක් හට විනාශ නොවී එම පළමු වස්තුව කරා ළඟා විය හැකි උපරිම දුරයි. මෙම සීමාව පසු කළ විට දෙවන වස්තුවෙහි ස්වයං-ගුරුත්වයට වඩා පළමු වස්තුවේ උදම් බල ඉහල යාම නිසා දෙවන වස්තුව අසමෝධානයට ලක්වී විනාශ වේ.[1] යම් වස්තුවක රොෂ් සීමාව ඇතුලත කක්ෂගත වී ඇති පදාර්ථයන් සමාන්‍යයෙන් විසිරී ගොස් එම වස්තුව වටා වළලු නිර්මාණය කරන අතර, රොෂ් සීමාවෙන් පිටත ඇති පදාර්ථයන් ගුරුත්වය යටතේ එකට එක්වී තනි වස්තූන් බවට පත්වීමට නැඹුරු වේ. රෝෂ් සීමාවෙහි අගය රඳා පවතින්නේ පළමු වස්තුවේ අරය සහ වස්තු දෙකේ ඝනත්ව අනුපාතය මතයි.

යම් කිසි ආකාශ වස්තුවක් (කහ) වටා කක්ෂගත වී ඇති තරල ස්කන්ධයක් (නිල්) කක්ෂීය තලයට ඉහලින් පෙනෙන අයුරු රූපයේ නිරූපනය කෙරේ. රොෂ් සිමාවෙන් (සුදු රේඛාව) ඉතා ඈත ඇති විට ස්කන්ධය සෑහෙන දුරට ගෝලාකාර වේ.
රොෂ් සීමාවට ආසන්න වත්ම උදම් බල නිසා වස්තුව විරූපණය වේ.
රොෂ් සීමාව ඇතුලත දී, ස්කන්ධයේ ස්වයං-ගුරුත්ව බලයට උදම් බල දරාගත නොහැකි වන අතර, වස්තුව අසමෝධානයට ලක්වේ.
රතු ඊතල වලින් නිරූපනය කෙරෙන පරිදි කහ වස්තුවට වඩා ආසන්නයෙන් ඇති අංශූන් වේගයෙන් ගමන් කරන අතර, කහ වස්තුවෙන් සාපේක්ෂව ඈතින් පිහිටි අංශූන් වඩා සෙමින් ගමන් කරයි.
පදාර්ථයෙහි කක්ෂීය වේගවල වෙනස්කම් හේතුවෙන් අවසානයේ වළල්ලක් නිර්මාණය වේ.

මෙම යෙදුම නම් කර ඇත්තේ 1848 වර්ෂයේදී මුලින්ම මෙම සීමාව ගණනය කළ ප්‍රංශ තාරකා විද්‍යාඥ එඩුවාර්ඩ් රොෂ් (ප්‍රංශ: [ʁɔʃ], ඉංග්‍රීසි/rɒʃ/) ගේ නමිනුයි.[2]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Eric W. Weisstein (2007). "Eric Weisstein's World of Physics – Roche Limit". scienceworld.wolfram.com. සම්ප්‍රවේශය September 5, 2007.
  2. ^ NASA. "What is the Roche limit?". NASA – JPL. April 23, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 5, 2007.
"https://si.wikipedia.org/w/index.php?title=රොෂ්_සීමාව&oldid=698922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි