රූකාන්ත ගුණතිලක ජනප්‍රිය කලාකරුවෙකි. ඔහු සිංහල ගායකයකි, ගීත රචකයෙකි, සංගීතඥයෙකි. රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.

රූකාන්ත ගුණතිලක
උපතසැප්තැම්බර් 5, 1959(1959-09-05)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල මහනුවර ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය
රැකියාවගායනය, ගීත රචනය, සංගීත රචනය
සක්‍රීය වසර1976-වර්තමානය
කලත්‍රයා(යන්)චන්ද්‍රලේඛා පෙරේරා
දරුවන්වින්ඩි, චාරුකා

ජීවිතය හා වෘත්තිය සංස්කරණය

මුල් අවධිය සංස්කරණය

රූකාන්ත ගුණතිලක කෑගල්ල ප්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබීය. කුඩා කල සිටම ඔහු සංගීතයට දැඩි ලෙස ප්‍රිය කළේය . එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ දෙමාපියන් විසින් ඔහුව ප්‍රදේශයේ සංගීත ගුරුවරයකු වෙත යොමු කරන ලද්දේ ඕගනය වාදනය ඉගනීම පිණිසය. එම ගුරුවරයා එතරම් මිත්‍රශීලි පුද්ගලයෙකු නොවූ බවත්, වාදනය පිණිස තම ඇඟිලි හරි හැටි භාවිතා නොකිරීම නිසා ඔහුට කිහිප වරක් දඬුවම් කල බවත් රූකාන්ත වරක් සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේය. තවද, ගුරුවරයාට ඉගැන්වීමට අවශ්‍ය වූ රාමුව තුළ කොටු වීමට ද ඔහුට සිදුවූ බව ඔහුට අවබෝධ විය. ඔහුගේ පාසල වූ මහනුවර ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේදී ස්ටැන්ලි පීරිස්, සිරිල් බ්‍රවුන් වැනි ප්‍රවීන සංගීතවේදීන්ගෙන් සංගීතය හැදෑරීමේ අවස්ථාවද ඔහුට උදා විය. වැඩි කල් නොගොස්ම රූකාන්ත ඔහුගේ සංගීත පාඩම් අතහැර දමා තමන්ගේම ශෛලියකට තමාගේම ගීත වාදනය කිරීම ඇරඹීය. එසේ කිරීමෙන් නව ගීත සමග අත්හද බැලීම් සිදු කිරීමේ අවස්ථාව ඔහුට උදා විය.

සංගීත ජීවිතය සංස්කරණය

1976 වර්ෂයේ සිට රූකාන්ත ගීත රචකයකු ලෙස තම වෘත්තීය කරගෙන ගියේය. 1985 වර්ෂයේදී ඔහුගේ නිර්මාණයක් වූ "බඹර පහස" නම් වූ ගීතය ගායනා කෙරීම සඳහා ගායකයකු සොයා ගැනීමට ඔහුට නොහැකි විය. නියමිත කාලය තුළ ගායකයකු සොයා ගැනීමට නොහැකි වූ බැවින් එම ගීතයට තමන්ගේම කටහඬ මුසු කරමින් ඔහු ගායකයකු ලෙස තම වෘත්තීය ආරම්භ කළේය. 1990 දශකයේ අග භාගයේදී ඔහුගේ "දිගන්තයේ" ගීතය "රේඩියෝ එක්ස්ප්‍රස්" (Radio Express) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද "වර්ල්ඩ් චර්ට් ෂෝ" (World Chart Show) ගීත දර්ශකයටද ඇතුලත් විය. රූකාන්ත 1994 වර්ෂයේ තිරගත වූ "සප්ත කන්‍යා" චිත්‍රපටයේ "සුවඳ දැනී" ගීතයට සහ 1995 වර්ෂයේ තිරගත වූ "චිට්ටි" චිත්‍රපටයේ "සියුමැලි රෝස මලේ" ගීතයට වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වූ සම්මාන දිනා ගත්තේය. ඔහු මෑත කාලයේදී පවත්වන ලද "සිරස සුපර් ස්ටාර්" තරගාවලියේ ප්‍රධාන විනිශ්චයකරුවකු ලෙසද කටයුතු කළේය. රූකාන්තගේ නවතම ඇල්බමය "මායිමේ ඉඳන්" ලෙස නම් කරන ලද අතර, 2005 අගෝස්තු මස 21 වැනි දින කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලද ඔවුන්ගේ "රූ සඳ රෑ " සංගීත ප්‍රසංගයේදී එය නිකුත් කරන ලද්දේ ඔහුගේ බිරිඳ වන චන්ද්‍රලේකාගේ "මගේ ආදරේ" ඇල්බමය හා සමගාමීව ය. රූකාන්ත විසින් මේ වන විට ගීත ඇල්බම 5ක් නිකුත් කරනු ලැබ ඇත. ඔහුගේ ප්‍රථම ඇල්බමය වූ "ආදර රේඛා" 1983 වර්ෂයේදී නිකුත් කරන ලදී. 1988 වර්ෂයේදී නිකුත් කරන ලද ඔහුගේ දෙවන ඇල්බමය වූ "බඹර පහස" ඇල්බමය පිටපත් 150,000 ඉක්මවා අලෙවි විය. 1992 වර්ෂයේදී නිකුත් කරනු ලැබූ ඔහුගේ තෙවන ඇල්බමය වූ "දිගන්තයේ" ඇල්බමය පිටපත් 100,000 ඉක්මවා අලෙවි විය. ඔහුගේ තෙවන ඇල්බමය වූ "චාරුක" 1997 වර්ෂයේදී නිකුත් කරන ලදී.

විවාහ ජීවිතය සංස්කරණය

රූකාන්ත විවාහ වී සිටින්නේ ප්‍රකට ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක්ද වන චන්ද්‍රලේකා පෙරේරා සමගය. ඔවුන්ගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය රයිනි චාරුකා ගුණතිලක වන අතර බාල දියණියගේ නම වින්ඩි ය.

ඔහුගේ ආසන්නතම රූ සඳ රෑ ප්‍රසංග පවත්වන ලද්දේ 2005 හා 2006 වර්ෂවල දී ය. ඔහු විසින් පවත්වන ලද මහා සංගීත ප්‍රසංගයක් වන "රූකාන්ත චන්ද්‍රලේකා ලයිව් @ ස්ටේඩියම්" ප්‍රසංගය 2006 අගෝස්තු මස 14 වන දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. මෙය S3 සංවිධානය මගින් සංවිධානය කරන ලද ප්‍රථම සංගීත ප්‍රසංගයයි. S3 යනු ප්‍රවීන නිලියක් හා නිරූපිකාවක් වන සංගීතා වීරරත්න, එම සංවිධානයේ ඉදිරි දැක්ම හා ප්‍රචාරණ කටයුතු බාර ප්‍රවීණ ව්‍යාපාරිකා සුධර්මා නෙතිකුමාර, සහ ලාංකීය විනෝදාත්මක ක්ෂේත්‍රයේ හොඳින් දන්නා නමක් වන ෂෙරීන් කුමාරතුංග යන අයගේ සුසංයෝගයෙන් ආරම්භ කරන ලද සංවිධානයකි.

"https://si.wikipedia.org/w/index.php?title=රූකාන්ත_ගුණතිලක&oldid=338650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි