රසල්ගේ තේ පෝච්චිය යනු බර්ට්‍රන්ඩ් රසල් (1872–1970) නම් දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද සාදෘශ්‍යය කි. ආනුභවිකව අසත්‍යේක්ෂණය කළ නොහැකි ප්‍රකාශයක් සත්‍ය යැයි ඔප්පු කිරීමේ (සාධනය කිරීමේ) වගකීම හෙවත් සාධන භාරය ඇත්තේ එම ප්‍රකාශය ඉදිරිපත් කරන තැනැත්තාට මිසක්, එය විසාධනය කිරීමේ වගකීම අනෙක් අයට පැටවීම කළ නොහැකි බව මෙහිදී නිදර්ශනය කෙරේ.

රසල්ගේ සාදෘශ්‍යය මෙසේය. ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොකරමින්, දුරේක්ෂ වලට නොපෙනෙන තරම් කුඩා තේ පෝච්චියක්, පෘථිවිය සහ අඟහරු අතර අවකාශයේ හිරු වටා කක්ෂගත වී ඇති බව කිසිවෙක් පවසයි. එම ප්‍රකාශය බොරු යැයි ඔප්පු කළ නොහැකි නිසාම එය පිළිගත යුතු නැති බව රසල් පවසයි.

රසල්ගේ තේ පෝච්චිය තර්කය වර්තමානයේද දෙවියන්ගෙ පැවැත්ම පිළිබඳ සංවාද වලදී ඉදිරිපත් කෙරේ.

විස්තරය සංස්කරණය

Illustrated නම් සඟරාවට රසල් 1952 දී ලියූ (එහෙත් පළ නොවූ) "දෙවි කෙනෙකු ඇත්ද?" යනුවෙන් මාතෘකාව යෙදු ලිපියක් පහත දැක්වේ:

යම් කිසි ලබ්ධියක් නිවැරදි යැයි ඔප්පු කිරීම එම ලබ්ධිකයාගේ කාර්‍යයක් නොවන බවත්, එය වැරදි යැයි ඔප්පු කිරීම සංශයවාදීන්ගේ කාර්‍යයක් බවත් ඇතැම් සාම්ප්‍රදායික මිනිසුන් පවසයි. මෙය ඇත්තෙන්ම වැරදිය. අප සතු බලගතුම දුරේක්ෂයට වුවද දැකිය නොහැකි තරම් කුඩා වූ, චීන තේ පෝච්චියක් හිරු වටා ඉලිප්සාකාර කක්ෂයක පරිභ්‍රමණය වන බව මා පැවසුවහොත්, කිසිවෙකුට එය බොරු යැයි ඔප්පු කළ නොහැකි වනු ඇත. එහෙත් එය බොරු යැයි ඔප්පු කළ නොහැකි නිසාම, ඒ ගැන සැක කිරීම වැරදි යැයි මා පැවසුවහොත්, මා විකාර පවසන බවට ඔබ සිතීම සාධාරණ ය. එහෙත්, එම තේ පොච්චිය සත්‍යයක් යැයි පෞරාණික පොත් වල පවසා තිබුනේ නම්, ඒවා ඉරිදා පාසල්වල ශුද්ධ වූ සත්‍යය ලෙස උගන්වූයේනම්, පාසල්වලදී දරුවන්ගේ මනස් තුල ස්ථාපිත කරවූයේ නම්, එය පිළි නොගන්නා තැනැත්තා අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සළකනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රසල්ගේ_තේ_පෝච්චිය&oldid=508897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි