රඹුක්වැල්ලේ විපස්සි හිමි

රඹුක්වැල්ල ශ්‍රී විපස්සී මහානාහිමි (1989-2004)


1917 ඔක්‌තෝබර් 30 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ගම්පහ නැගෙනහිර කෝරළයේ දිගල්ල ගංගොඩ වලව්වේදි උපන් සමරකෝන් බණ්ඩාර උන්වහන්සේගේ පැවිදි නාමය විය. දීගල්ල ගංගොඩ වලව්වේ වේරගම ගම්මුලාදෑනිතුමන් සහ නිස්සව අලගුවන්න ඒකනායක රාජගුරු පණ්ඩිත වාසල මුදියන්සේලාගෙ ගෝනිගොඩ රඹුක්වැල්ලේ විල්අමුන වලව්වෙ මද්දුම කුමාරිහාමිගේ මවුපියෝ වූහ. ගම්පහ උඩදුම්බර මැදිවක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ 1946 මල්වතු පාර්ශ්වයේ මහානාහිමි පදවිය දැරූ තම ගිහිකල ඥාතිවරයෙක් වූ රඹුක්වැල්ල ශ්‍රී සෝභිත මහානාහිමි යටතේ 1930 මැයි 12 දින පැවිදි බිමට පත්වූ අතර මූලික පැවිදි අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය ලැබූහ. කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යාපනය ලබා පහමුණේ සුමංගල මහානාහිමියන්ගේ ගුරුහරුකම් යටතේ 1938 මැයි 13 වැනිදා මල්වතු මහාවිහාරයේදී උපසම්පදාව ලැබීය. 1946 ජූනි 03 වැනි දින ශ්‍රී දළඳා මාලිගාවේ තේවා තනතුරට පත් වූ උන්වහන්සේ 1950 ජනවාරි 19 වැනි දින කාරක සභාවට ද තේරී පත් විය. උන්වහන්සේගේ පැවිදි ආචාර්ය වූ රඹුක්වැල්ල ශ්‍රී සෝභිත මහානාහිමියන්ගේ අපවත්වීමෙන් පසු කුණ්ඩසාලේ ශ්‍රී නරේන්ද්‍රසිංහ රජමහා විහාරයේ අධිපති වී එය දියුණු කලේය. මේ අතර 1970 පෙබරවාරි 27 වැනි දින මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි මහානාහිමියන් විසින් විපස්සී මහානාහිමියන් ජ්‍යෙෂ්ඨ කාරක සභික ධූරයටත්, එම වසරේම අගෝස්තු මස ලේවැල්ල ගංගාරාම විහාරාධිපති තනතුරටත් පත් කරන ලදී. මේ අතර 1989 දී එවකට මල්වතු පාර්ශ්වයේ මහානාහිමි වූ සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහානාහිමියන් අපවත් වූ අතර, එම වසරේ නොවැම්බර් 15 වැනිදා රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමියෝ මහානාහිමි බවට පත්වූහ. දශක එකහමාරකට ආසන්න කාලයක් මහානාහිමි පදවිය හෙබවූ රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී මහානාහිමියන් වහන්සේ 2004 ජුනි මස 07 වැනි දින අපවත් වූහ.