යටවත්තේ ධම්මරතන මහනායක හිමි

1879 ජූනි මස 13 දා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ යටිවාවල ගම්මානයේ උපත ලැබූ මුන්වහන්සේගේ පියා වූයේ දොඩම්වල දේවාලේ බස්නායක නිළමේ වූ යටවත්තේ වලව්වේ ටිකිරි බණ්ඩාර නිළමේතුමාය.මව වරකාගොඩ වලව්වේ ටිකිරි කුමාරිහාමි වූවාය . යටිවාවල උපත ලැබුවද පැවිදිවීමෙදි සිය පියාගේ උපන් ගම් ප්‍රදේශයේ නාමය භාවිතාකළේය.

එවක නිත්තවෙල රජමහා විහාරාධිපති වූ තලගුණේ සරණංකර හා ගුන්නෑපාන ශ්‍රී ‍රතනපාල යන හිමිවරුන් යටතේ 1893 දී පැවිදිබිමට පත්වූ උන්වහන්සේ 1899 දී උපසම්පදාව ලැබීය . ඉහත කී තලගුණේ සරණංකර හා ගුන්නෑපාන ශ්‍රී ‍රතනපාල හිමිවරුන් යනු අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි ධුරය දැරූ වත්තේගම ශ්‍රී සුමංගල මහානාහිමියන්ගේ ශිෂ්‍යහිමිවරුන්ය.

1907 වසරේදී දළඳා තේවාමුරයට පත්වූ මුන්වහන්සේ 1910 වසරේදී අස්ගිරියේ විංසත්ද්වාර්ගික කාරක සභාවට පත්වූහ . 1947 දී එවක අස්ගිරියේ මහානාහිමි වූ මුල්ලේගම ශ්‍රී ගුණරතන මහානාහිමියන් අපවත්වූ පසු මහානාහිමි ධුරයට උන්වහන්සේ පත්විය .අස්ගිරි පාර්ශ්වයේ දෙවෙනි මහානාහිමියන් වූ ඉඳවලුගොඩ ධම්මපාල මහානාහිමියන්ගේ සඟ පරම්පරාව නියෝජනය කළ යටවත්තේ ධම්මරතන මහානාහිමියෝ එම ඉඳවලුගොඩ සඟ පරම්පරාවෙන් පත්වූ සිව්වන මහානාහිමියන් විය.

1956 දී මහියංගනය රජමහා විහාරාධිපති ධුරයට පත්වූ මහානාහිමියන් අස්ගිරි මහාවිහාරයේ පෝයගෙය නවීකරණය කිරීමටද මැදිහත්විය. එමෙන්ම අස්ගිරි මහාවිහාරයේ විජයසුන්දරාරාම විහාරයද නවීකරණය කිරීමටද මැදිහත්විය.

1956 වසරේම බුරුමයේ පැවති සංගායනාවට වැඩම කළ උන්වහන්සේ අග්ගමහාපණ්ඩිත උපාධි නාමයෙන් පිදුම් ලැබිය. විද්‍යෝදය හා විද්‍යාලංකාර සරසවිවල අනුශාසක ධුරයන්ද උන්වහන්සේ දැරීය. මුන්වහන්සේගේ මහානාහිමි ධුරකාලය තුල වර්තමාන අස්ගිරි මහාවිහාර පිරිවෙනද ආරම්භ විය.

73 වසරක භික්ෂු දිවියේ අවසානය සනිටුහන් කරමින් 87 වන වියේදී එනම් 1966 ජූලි 25 දා මුන්වහන්සේ අපවත්වූහ.