කතා පුවත ඇරඹෙන්නේ ශයර ගම් පෙදෙසේ වෙසෙන ෆ්‍රෝඩෝ බැගින්ස් හට ඔහුගේ ඥාති සහෝදරයා සහ භාරකරු වන බිල්බෝ බැගින්ස් විසින් මුදුව උරුම වීමෙනි. දෙදෙනාගෙන් කිසිවෙකුත් මුදුවේ සැබෑ ස්වභාවය පිලිබඳ නොදන්නා අතර, බිල්බෝගේ පැරණි මිතුරෙක් වන අළු ලෝගුධාරී ගැන්ඩල්ෆ් නම් මායාකරුවා එය සව්රොන්ගේ මුදුව බවට සැක කරයි.  වසර දහහතකට පසුව එය සැක හැර දැනගන්නා ඔහු ෆ්‍රෝඩෝ හට මුදුවේ ඉතිහාසය කියා දී එය ශයරයෙන් පිටතට ගෙනියන ලෙස අවවාද කරයි. තම ගෙවතුපාලක සහ අත් උදව්කරු වන සැම්වයිස් "සෑම්" ගැම්ජී සහ ඥාති සහෝදරයන් වන මෙරියාඩොක් "මෙරී" බ්‍රැන්ඩිබක් සහ පෙරිග්‍රින් "පිපින්" ටුක් සමඟ ෆ්‍රෝඩෝ නිවෙස හැරදා පිටත් වෙයි.  මෝඩෝරයේ කළු අසරුවන්ට හසු වීමට ඔවුන් ඉතා ආසන්නයට පැමිණෙන අතර, ඔවුන් ගෙන් බේරීමට මිතුරන් සතර දෙනා ශයර සීමාවේ ඇති පැරණි වනාන්තරය හරහා යති. වනාන්තරයේ ජීවත් වන ටොම් බොම්බඩිල් යන සුවිශේෂී චරිතයක සහ ඔහුගේ  බිරිඳ වන ගෝල්ඩ්බෙරිගේ සහය එහිදී ඔවුන්ට ලැබෙයි.

මුදුවේ සන්ධානය
පළමු සංස්කරණය
කර්තෘජේ. ආර්. ආර්. ටොල්කීන්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
මාලාවමුදුවේ අධිපති
විෂයයටොල්කීන්ගේ පුරාවත
ප්‍රභේදයමනඃප්‍රබන්ධ
සකස් කෙරුණේමධ්‍ය-ලෝකය
ප්‍රකාශකයාජෝර්ජ් ඇලන් සහ අන්වින්
ප්‍රකාශිත දිනය
1954 ජූලි 29
පිටු423 (පළමු සංස්කරණය)
ඕසීඑල්සී12228601
823.912
LC ClassPR6039.032 L67 1954, vol.1
පුර්වගමනය වන්නේහොබිට්ටා
අනුගත වන්නේකුළුණු ද්විත්වය

හොබිට්ටන් සතර දෙනා බ්‍රී නම් ගම්මානයට ලඟා වෙන අතර, එහිදී  ගැන්ඩල්ෆ් විසින් ඔවුන්ට තබා යන ලද ලිපියක උපදෙසට අනුව දිගුචරක නම් වනභටයෙකු ඔවුන්ට හමු වෙයි. ඔවුන්ගේ ආරක්ෂකයා සහ මඟපෙන්වන්නා ලෙස තමුන්ව තෝරා ගන්නා ලෙස දිගුචරක ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. නැවතත් කළු අසරුවන්ගෙන් මිදීමට හැකි වන ඔවුන්, එකතුව බ්‍රී ගම්මානයෙන් පිටත් වෙති. සුළංගිර නම් ගිරි හිසෙහිදී ඔවුන් නැවතත් කළු අසරුවන්ගේ ප්‍රහාරයකට ලක් වන අතර, එහිදී ෆ්‍රෝඩෝ ඔවුන්ගේ ශාපලත් අසිපතකින් තුවාල ලබයි. ඔවුන්ව අනතුරෙන් බේරා ගන්නා දිගුචරක, ඔවුන්ව රිවන්ඩෙල් නම් සුර නිවහන කරා රැගෙන යයි. මරණීය තුවාලයෙන් වේදනා විඳින ෆ්‍රෝඩෝට රිවන්ඩෙල් වෙත ලඟා වීමට පෙර නැවතත් කළු අසරුවන්ගේ පහර දීමක් පැමිණෙන අතර, බෘයිනෙන් ගං තොටේදී රිවන්ඩෙල්හි අධිපතියා වන එල්රොන්ඩ් සුර උතුමන් විසින් නදී ජලය නඟා ඔවුන්ව මැඩ පවත්වයි.

රිවන්ඩෙල්හි එල්රොන්ඩ්ගේ සුව සත්කාර මධ්‍යයේ ෆ්‍රෝඩෝ සුවය ලබයි. එල්රොන්ඩ් විසින් කැඳවූ සභාවක් සව්රොන්ගේ ඉතිහාසය සහ මුදුව සාකච්ඡාවට බඳුන් කරයි. දිගුචරකගේ සැබෑ නම ඇරගෝන් බවත් ඔහු ඉසිල්දූර්ගේ කිරුලෙහි උරුමක්කරු වන බවත් හෙළිවෙයි.  මායාකරුවන්ගේ ප්‍රධානියා වන ධවල ලෝගුධාරී සරුමාන් නම් මායාකරුවා ඔවුන්ට ද්‍රෝහී වී තම ස්වකීය ආධිපත්‍යයක් නංවන බව ගැන්ඩල්ෆ් හෙළි කර සිටී. සභාව තීරණය කරනුයේ මුදුව විනාශ කල යුතු බවත්, එය කල හැක්කේ මුදුව නිමැවුණු මෝඩෝරයේ බිහිසුණු ගිනි කන්දේදී පමණක් වන බවත්ය. මෙම කර්තව්‍යය ෆ්‍රෝඩෝ භාර ගන්නා අතර, ගැන්ඩල්ෆ්ගේ අවවාද අනුව එල්රොන්ඩ් විසින් ඔහු හට සහචරයන් තෝරා පත් කරයි. මෙම මුදුවේ සන්ධානයට නව දෙනෙක් ඇතුලත් වන අතර ඔවුන්: ෆ්‍රෝඩෝ, සෑම්, මෙරී, පිපින්, ඇරගෝන්, ගැන්ඩල්ෆ්, ගිම්ලි නම් අඟුටුමිට්ටා, ලෙගොලාස් නම් සුරයා සහ ගොන්ඩෝරයේ අධිපති සහ භාරකරුගේ පුත්‍ර බොරොමීර් නම් මිනිසා වෙයි.

ඔවුන්ගේ ගමනේදී මීදුම් කඳු පන්තිය තරණය කිරීමේ වෑයම අසාර්ථක වූ පසුව, ඊට වඩා බියකරු මාර්ගයක් වන මෝරියා පතල් හරහා යාමට සන්ධානයට සිදු වෙයි. මෝරියාවේ ප්‍රාකාර ඉදිරියේ ඇති දියේ වෙසෙන මුරකරුවා නම් භයානක සත්ත්වයාගෙන් මිදී ඔවුන් පතල් වලට ඇතුළු වන අතර, එහිදී පෙර කලක පතල් අත්පත් කර ගැනීමට ගිය බාලින් නම් අඟුටුමිට්ටා සහ පිරිසට සිදුවූ දේ ගැන දැන ගනී.  ඔර්ක ප්‍රහාරයකට ලක් වන ඔවුන් ඉන් පසු පුරාණ ලෝකයේ යක්ෂයෙකු වන බැල්රොගයෙකු විසින් හඹා එනු ලැබෙයි. බැල්රොගයා හට මුහුණ පාන ගැන්ඩල්ෆ් ඔහු සමඟම ආගාධයට ඇද වැටෙයි. ඉතිරි පිරිස දිවි ගලවා ගන්නා අතර, ලොත්ලෝරියෙන් නම් සුර වනයේ පිහිට සොයති. එහිදී ඔවුන් හට එහි අධිපතියන් වන ගලාද්‍රියෙල් සහ කෙලෙබෝන් විසින් උපදෙස් සහ නවාතැන් ලැබෙයි.

ලොත්ලෝරියෙන්හිදී ගිමන් නිවාගන්නා සන්ධානය, ගලාද්‍රියෙල් ප්‍රදානය කරන බෝට්ටු මාර්ගයෙන් අන්දුයින් නදිය ඔස්සේ ගමන නැවතත් අරඹති.  අමොන් හෙන් නම් ගිර අසලදී සියල්ලෝ විවේක ගන්නා අතරතුර, ගිර මුදුනේ තනි වන ෆ්‍රෝඩෝගෙන් මුදුව උදුරා ගන්නට බොරොමීර් තැත් කරයි. ඔහු මුදුව පැළඳ බොරොමීර්ගෙන් ගැලවෙන අතර සන්ධානයේ වෙන කිසිවෙකු මුදුවේ බලයට යට නොවීම උදෙසා තනිවම මෝඩෝරයට යා යුතු බවට අධිෂ්ඨාන කර ගනී. ඔහුගේ අභිප්‍රාය අනුමාන කරන සෑම් ඔහුව සොයා ගන්නා අතර, ෆ්‍රෝඩෝ සමඟ මෝඩෝරයට යාමට පිටත් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මුදුවේ_සන්ධානය&oldid=429486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි